පසුගිය සතියේ බ්‍රහස්පතින්දා
සහ සිකුරාදා දවස් දෙක ගෙවුණේ යාපනයේ. අනුරාධපුරේ මිතුරු සමාගම් වල රැස්වීම් වලටත්
සහභාගී වෙලා යාපනයට යනකොට රෑ හතට කිට්ටුයි. මාන්කුලම් පසු කරන කොට මට මතක් වුණේ
ජාතික භෞතික සැලැස්මට අනුව එය උතුරේ අගනගරය සැලසුම් කලේ එහි බව. එහෙත් දැන් ඒ බව කාටත් අමතක වෙලා වගෙයි. භූගෝලීය
වශයෙන් ගත්තහම එය හොඳ තේරීමක් වගේ පෙනුනත්
යාපනයට ගියාම ඒ ගැන දෙපාරක් හිතන්න අවශ්‍ය බව පේනවා. මොකද යාපනය සියළු අංශවල
කේන්ද්‍රස්ථානයක් ලෙස සෑහෙන දුරට ස්ථාපිත වෙලා ඉවරයි. කිලිනොච්චියේ පාර අයිනේ
තියෙන යුද්ධකාලේ කොටි විසින් විනාශ කරපු ජල ටැංකිය යුධ ස්මාරකයක් ලෙස ස්ථාපිත
කරන්න යන එක ගැන ඒ දවස්වල නම් මගේ ඒතරම් මනාපයක් තිබුණේ නැහැ. ඒත් ඒ අසලින් යන කොට
ඒ ගැන ඇතිවුනේ වෙනස් හැගීමක්.
ඒහි තිබුණු වැකියත් ඊට හේතු වෙන්න ඇති - Say no to
destruction. එතන සමරුහලකුත් තිබුණා
ඒත් අපි එතන නැවැත්වුවේ නැති හන්දා ඒකේ මොනවගේ සිහිවටනද තියෙන්නේ කියලා බලන්න
බැරිවුණා. ඒක නම් ටිකක් වැඩි වැඩක් වගේ.
අපි රෑට නැවතුනේ උදයන්
නම්වූ ගෙස්ට් හවුස් එකේ. කළින් ඒක උදයන් පත්තරය අච්චු ගහපු කාර්යාලය. ඒ කාලෙ
පාවිච්චි කරපු බංකරයත් තාම එහි තියනවා. උදයන් ගෙස්ට් හවුස් එක පිරිසිදු වගේම ඉහල
ආගන්තුක සත්කාර සේවාවක් සලසන තැනක්. රාත්‍රියේ යාපනයේ ටවුමේ සහ ඕලන්ද කොටුව වටේ රවුමක් ගහලා නැවත උදයන් වෙත එනකොට
රෑ බෝවෙලා. ඒ එනකොට අපිට කිතුල් රා වඩියක් සූදානම් වෙලා තිබුණා. ඒවත් භුක්ති විදලා
නිදාගන්නකොට මධ්‍යම රාත්‍රිය වෙලා.
යාපනයේ තියෙන පැරණි
පුරාවිද්‍යා ස්ථාන අතර ඉස්සර කරේ කියාගෙන බඩු ගෙනියනකොට මහන්සි වුණාම බර නිදහස්
කරලා ගිමන් අරින වෙලාවට කරේ තියෙන බඩු පහසුවෙන් (දෙකට නැවී බර බිමින තියන්නෙ
නැතිව) සැහැල්ලු කරගන්න යම් උසකින්යුතුව නිම කරපු ගල් නිර්මිත සහ ගවයින්ට පිට කසා
ගන්න ගලින් කරපු නිර්මිතත් ඇති බව පැවසුණා.
පසුවදා උදේට නගරයේ තියෙන
මලයාලම් තෝසේ කඩෙන් කෙහෙල් කොලේට දාලා දෙන රස නහර පිනවන තෝසේ උළුදු වඩේත් එක්ක
කාලා අපි ගියේ කදුරුවෙල විහාරෙට. එයට පාවිච්චි කරන අනෙක් නම කන්දරෝඩෙයි. ඊළගට
දඔකොලපටුනට ගිහින් ආපසු යාපනයට එනකොට දවල් එකොලහටත් ලගයි. අපි ගිය රාජකාරිය තිබුණේ
යාපනයේ කොටුවේ. ඒ එහි සංරක්ෂණ කටයුතු පිළිබදව. කොටු පවුරේ වැඩ නම් බොහොමයක් හොදින්
කෙරී ගෙන යනවා. ඒත් outer defence
area එකේ තව වැඩ ගොඩක් කරන්න
තියෙනවා. ඊට අමතරව යාපනය ගැන තවත් ලියන්න දේ බොහොමයි.