Friday, March 17, 2017

එරන්දතී සුකුමාල ළඳුන්නේ

විරාමයක් නොලබා යම් හැමවෙලාවකම යම් යම් දේ වල යෙදී ඉදලා වරුවක් හමාරක් නිකම්ම ඉන්න සිදු උනාම හරිම කම්මැලියි. ඒවගේ වෙලාවක අතට අහුවුනු පොත් දෙකක් කියවූවා. එකක් තමයි කේ ජයතිලක ශූරීන්ගේ පුංචි පැලේ ගසවෙනා සහ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහගේ උපන්දා සිට පොතේ බාල විය කියන පොතත්. මේ පොත් දෙකේම පොදු වශයෙන් ගත්තහම තියෙන්නේ මේ දෙපලගේ නිර්මාණ කාර්යය සදහා වස්තුබීජ ලැබුනු ආකාරය සහ නිර්මාන ප්‍රතිභාව වර්ධනය වූ ආකාරය. උදාහරනයක් හැටියට මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ ගෙදරින් පිට නවත්වලා පාසල් යැවීමේ කොටස ලියද්දි ඹහු කුඩා කාලේ අහංගම පාසලට යැවූ එක පාවිච්චි වෙන්න ඇති. පුංචි පැලේ ගස වෙනා පොතේ නම් මෙවැනි අත්දැකීම් සෘජු ලෙසම ලියා තියෙනවා. කේ ජයතිලකගේ පොත් අතරින් ළමා නවකතාවක් ලෙස හදුන්වා ඇති “වන සටන” ඹහුගේ නිර්මාන කුසලතාව කොයිතරම්ද කියා හොදහැටි පෙනෙන කෘතියක්. වන සතුන්ගේ හැසිරීම්, මිනිස්-සත්ව interactions ඉතාම දක්ෂ විදිහට කතාවකට පරිවර්තනය කොට තියෙනවා. තනි අලියා කියන සංකල්පය සහ අලින් හීලෑ කිරීමට මිනිසුන් යොදා ගන්නා උපක්‍රම සියල්ල මේ කතාවේ ඉතාම අපූරුවට ගලපා තියෙනවා. කැලේ ඉන්න එක එක සත්තුන්ගේ  නරියා, වලහා, දිවියා වගේම වේයන් කුහුඹුවන් වගේ චරිත වලට ආවේනික ලක්ෂණ මේ කතාවේ ඉතාම දක්ස විදිහට සම්බන්ධවෙනවා.

ඉස්කෝලෙ නේවාසිකාගාරේ ආදි සිසුවන්ගේ හමුවීමක් තිබුණා පසුගිය සති අන්තයක. විශාල පිරිසක් එයට සහභාගී වී සිටියා. මම යන කොට තරමක් පරක්කු වෙලා. ඒ කිව්වෙ රෑ දහයයි. ඒ වෙනකොට බොහෝ දෙනෙක් හොදට පදම් වෙලා හිටියේ. ඒ හන්දා ගොඩක් අයව අදුරගන්න බැරි වුනේ හරියට කතා කරන්න බැරිවුන හන්දා. මොකද ස්වරූපයෙන් බොහෝ දෙනෙක් වෙනස් වෙලා. මොකක් හරි හේතුවක් නිසා අපේ අවුරුද්දේ සගයින් සිටියේ ඉතා අඩුවෙන්.  මමත් කලින්ම ගිහින් ඒ ගානටම පදම් වුනානම් තව බොහෝ දෙනෙක් අදුරගන්න තිබුණා.

බොහෝ කාලයකින් මා සිත් ගත් ගීතයක් ගැන මතක් වුණා. විශේෂය වන්නේ එය ලියා ඇත්තේ ආචාර්‍ය සරත් අමුණුගම නම් හිටපු පරිපාලන නිලධාරියා, දේශපාලනඥයා සහ කලාකරුවා විසින් වීම.

හිමකඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා..

මිහිබට සුරකුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ
දෑත නඟා නිල් වරල උනා යළි

බලන්න මා දෙස මඳහස පාලා                              

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...