Saturday, May 12, 2018

වෙසක් කැකුළු


කාර්ය බහුල සති කිහිපයක් ගෙවී ගියේ. අවුරුද්ද ලබනවාත් එක්කම රාජකාරියක් සඳහා විදේශගත වන්න සිද්ද වුණා. මාස ගානත් මග හරිමින් සිට තමයි මේ ගමනත් යන්නට යෙදුනේ. පළමුකොටම දින දෙක තුනකට වඩා යෙදෙන රාජකාරි සඳහා දැන් යන්නට අමාරු රාජකාරී වැඩ ගොඩ ගැහෙන හන්දා. ඒත් ඒකෙන් අදහස් වන්නේ නැහැ එහෙම යන්නම බැහැ කියළා. සමාන මට්ටම් වල ඉන්නා සගයන් සති කුනේ හතරේ පුහුණු වැඩ සටහන් වලට පවා යන අවස්ථා මා දැක තියෙනවා. ඒකෙන් වන්නේ තරුණ නිලධාරින්ට අවස්ථාවක් නැතිවීම. අප තරුණ කාලයේදීත් මෙම ගැටළුවට මුහුණ දුන්නා. සමහරු එහෙම කරන්නේ එරියස් අල්ලන්න වෙන්න ඇති. මේ  චක්‍රය බිඳ දමන්නට අපට පුළුවන් වේද මන්දා.

වෙසක් උත්සවය අප්‍රේල් මාසෙට ගැනීමත්, ලෝක කම්කරු දිනය මැයි 7 වනදා සැමරීම තීරණය කිරීම සමග විපක්ෂයට ආණ්ඩුව විවේචනය කරන්න හොඳ මාතෘතා ලැබුණා. වෙසක් දිනය සම්බන්ධයෙන් ගත්තහම මෙය තරමක විවාදයකට ලක්වුණු කාරණාවක් වුණා. මට යන්තම් මතකයක් තියෙනවා 1950 ගණන් වල වගේ මෙවැනි විවාදාත්මක අවස්ථාවක් එලඹුනු බව. එහිදී නියම වෙසක් මාසය ඔප්පු කිරීමට ශ්‍රීපාද අඩවියේ වෙසක් මල් පිපෙන කාලය යොදා ගත් බව මම කියෙව්වේ රසවාහිනී සඟරාවක බවයි මගේ මතකය. වෙසක් මල් පිපෙන්නේ වෙසක් සතියේ බවයි එයින් කියවුණේ. කෙසේ වෙතත් සාමාන්‍ය යෙන් වෙසක් දවසක තිබෙන සිරියාව මෙවර නොතිබූ බව කිහිපදෙනෙක්ම කියනවා මම අහගෙන. ඒකට අපේ හිතත් බලපාන්න ඇති.
වෙසක් මල් ගැන කියනකොට මතක් වුනේ ආචාර්ය ලෙස්ටර්. ඔහුගේ කෘති අතුරින් මා වඩාම කැමති ගම්පෙරලියට. මඩොල්දූවත් එක්ක ඇත්තේ නොස්ටල්ජික් බැඳීමක්. කොයි හැටි වෙතත් මම කලිනුත් ලියා ඇති පරිදි මඩොල්දූව නවකතාව අවසාන කරන විට ඇති කරවන ශෝකාකූල බව ලෙස්ටර්ටද හැභී තිබූ බව කියන්න පුළුවන්. යටින් දුවන මේ ශෝකාකූල බව මාර්ටින් වික්‍රමසිහයන්ගේ බොහෝ කෘති වල දකින්නට පුළුවන්. එයට බුදුදහමේ අභාෂයක් ඇති බව නිසැකවට කියන්නට පුළුවන්. ඔහු කුඩා කාලයේ පන්සල් සහ හාමුදුරුවන් ආශ්‍රය කිරීම මෙයට බලපාන්න ඇති. මේ අවස්ථා කියවන විට හිතේ ඇඳෙන චිත්‍රය තමයි ගාලු පාරේ දකුණ පලාතට යන විට පාර දෙපස මුහුද අද්දර ඇති නිවෙස්. ඒවයේ සුදුහුණු ගා පිරියම් කර තිබුනත් කරදිය මුසු සුළඟ වැදී අළුපාටට හුරු අවපැහැයකට පත්වෙච්ච මලානික ශෝකාකූල පෙනුම.  

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...