Monday, August 17, 2020

දේවාල රාජකාරි

 

Soragune Devalaya | Flickr

පාසල් යන කාලයේ නිවාඩුවට හල්දුම්මුල්ලේ පිහිටි අම්මාගේ ගමේ ගිය ගමන් ගැන බොහෝ ලියා ඇති. වරක් එසේ නිවාඩුව ගත කරන අතරේ හල්දුම්මුල්ලට පහලින් ඇති සොරගුණේ දේවාලයේ වාර්ෂිකව පවත්වන පෙරහැර බලන්න ලැබුණා. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ කුඩා කතරගම දේවාලය කියා. කතරගම වගේම ගිණි පෑගීම්, කාවඩි නැටුම් ආදී අංග සියල්ලම මේ උත්සවයට ඇතුලත්. රාත්‍රියේ සීතලත් නොතකා බෙහෝ දෙනෙක් මේ උත්සවයට සහභාගි වන්නේ දේව භක්තිය සහ කෙලි සෙල්ලම් වලින් ලබන ආස්වාදය හේතු කොට ගෙන වෙන්න ඇති. තරුණ තරුණියන්ටත් මේක මිටෙන් ඇරපු කුරුල්ලන්ට වගේ නිදහස ලැබුණු කාලයක් බව පෙනෙන්න තිබුණා.  හිරිමල් වියේ හිටපු අපටත් උඩරටට අවේණික වූ රතුපාට කෙල්ලන්ගේ මල් හී සර වැදුනත් ඒවා දුර දිග ගෙනියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

මේ සියල්ල මතක් වුණේ පසුගිය දිනයක අපේ මාමා කෙනෙක් දුන්නු පණිවිඩයක් නිසා. පසුගිය කාලය තුළ දේවාලයේ රාජකාරි පැහැර හැර ඇති නිසා වහාම රාජකාරි කරන ලෙසත් එසේ නැතහොත් කුඹුරු ඉඩම් නීති මගින් ක්‍රියා කර පවරා ගන්න බවත් සොරගුනේ දේවාලයේ බස්නායක නිලමේ විසින් දන්වා ඇති හන්දා. ගමේ පවතින කතාවට අනුව නම් කුඹුරේ අස්වනු ලැබෙන්න කියලා ඒ කාලේ හිටපු මී මුත්තන් දේවාලෙට බාරයක් වෙලා තියෙනවා. සරු පලදාවක් ලැබුනොත් එයින් කොටසක් දේවාලයට දෙන්න පොරොන්දු වෙමින්. ඒක පසුව රාජකාරියකට හැරී ඇති බවයි කියන්නේ.

මේ දේවාල සම්බන්ධ සම්ප්‍රදායන් පසුව නීතිගතවෙලා තියෙනවා. විහාර දේවාලගම් පනත සහ 1870 අංක 4 දරන වැඩවසම් ආඥා පනතත් ඊට අදාලයි. ඒවා අනුව දේවාල පන්සල් වලට ඉඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් නින්ද නැතහොත් බණ්ඩාර ඉඩම්. අනෙක ප්‍රවේනි නැතහොත් රාජකාරි ඉඩම්. නින්ද ඉඩමක් නම් එය රජ්ජුරුවන් විසින් සන්නසකින් හෝ තුඩපතකින් පවරා තියෙනවා. රාජකාරි ඉඩම් පිලිබඳ ලැයිස්තුව තියෙන්නේ බස්නායක නිළමේ ලඟ. එය හඳුන්වන්නේ කොමසාරිස් ලේඛනය කියා.

රාජකාරි ඉඩම් සඳහා රාජකාරි කිරීම කුල අනුව විභේදනය වී ඇති බව පෙනෙනවා. උසස් කුලයේ අය වී කොටසක් දෙන විට පහත් යැයි සම්මත කුල වල අය හකුරු ලබා දීම, පන්දම් ඇල්ලීම්, කරත්ත බැඳීම් ආදිය කළ යුතු වෙනවා. ඒ අතරේ ආරංචි වුණු දෙයක් තමයි මහ සමන් දේවාලයේ රජකාරි සම්ප්‍රදායන් ගැන එයට අනුව එක්තරා කුලයක කාන්තාවන් බස්නායක නිලමේ ඉදිරියේ නිරුවතින් නටන්න ඕනෑලු. එය කරන්නේ රහසිගතව දොරවල් වසාගෙන.

කොහොම වුනත් මේවගේ මානව හිමිකම් පවා කඩවෙන රාජකාරී වෙනුවට ඒ සඳහා මුදල් ගෙවීමට හැකියාවක් සලසා දී තිබෙනවා. එහෙත් ඒ කාලේ නම් ඒ සඳහා ගෙවන්නට මුදල් නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වන්න ඇති. කෙසේ වෙතත් මේ රාජකාරී ක්‍රමයන් ඉඩම් පරිහරනය කලමනාකරණයට යම්කිසි පිටිවහලත් වෙන්න ඇති. අඩුම ගානේ සියළුම ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට එය ඉවහල් වන්න ඇති.   

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...