Wednesday, October 21, 2020

සෝවියට් සුවඳ

 

මේ දිනවල ඉරීනා මලෙන්කෝ විසින් රචිත Sovetica තුන් ඈඳුතු නවකතාවේ (චරිතාපදානය) දෙවෙනි කොටස (පළමු කොටසේ සිංහල දෙවන කොටස) කියවමින් ඉන්නේ. මේ කොටස කියවන විට සිතුනු දේ තමයි සෝවියට් සංගමය බිඳවැටීමේ පලවිපාක අපි හරියට දැක්කේ නැහැ කියන එක. ඒකට කාරනා කිහිපයක් හේතු වන්නට පුළුවන්. එක පැත්තකින් අපි සිටි යුක්රේනයට වෙනසේ සුළග හමන්න ඇත්තේ ටිකක් ප්‍රමාද වී. අපි ආපසු පැමිණි කාලය තුළ සියළු වෙනස්කම් අපට දකින්නට බැරිවීම. එමෙන්ම වෙනස්කම තදින්ම සහ සීඝ්‍රයෙන් බලපාන්නට ඇත්තේ මොස්කව් වැනි අධිනාගරික කලාප වලට වීම. ඒ ඒවා නාගරික වූ හන්දා පමණක් නොවෙයි. බොහෝ කොට පොදු අයිතියක්ව තිබූ නිෂ්පාදන සාධක සහ දේපල වලට අතපොවන්න හැකි සමාජ කොටස් එහි කේන්ද්‍රගතවී සිටිය හන්දා වෙන්න පුළුවන්.

කෙසේ නමුත් මලෙන්කෝ මේ පශ්චාත් පෙරිස්ත්‍රොයිකා යුගය තදින් හෙළා දකිනවා. සෝවියට් යුගයේ තිබූ විශිෂ්ට ලක්ෂණ තදින් අගයනවා. එහෙත් ඇය පිටරට වෙත යම් නැඹුරුතාවයක් ඇති බව කියන්න පුළුවන්. ඇයගේ අධ්‍යයන ක්ෂේත්‍රය වන්නේ අප්‍රිකා අධ්‍යයනය. උදාහරණයක් හැටියට (කතාවේ එන හැටියට) ඇය රුසියන් තරුණයන් ප්‍රිය කරන්නේ නැහැ. එහෙත් විදේශීය සිසුන් ඇයට සමීපයි. එයින් අදහස් වන්නේ නැහැ ඇය සෝවියට් ක්‍රමයට විරුද්ධයි කියා. සොවියට් ක්‍රමය බිහි කරන නිදහස් චින්තනයක් ඇති මිනිසාට ගැලපෙන සමාජ ක්‍රමය ඔවුන්වෙතින් ගිලිහෙමින් තිබුණා යැයි සිතන්නට පුළුවන්. ඒ හෙතුවෙන් ඇයට වෙනත් රටවල වීරචාරිකා සොයා යාමට සිදුවනවා වගෙයි පෙනෙන්නේ.

ඇය මුලින්ම නවතින්නේ නෙදර්ලන්තයේ. එහි යාමට පශ්චාත් පෙරිස්ත්‍රොයිකා සමයේ ඇයගේ කලකිරීම හේතුවනවා  නිසැකයි. නෙදර්ලන්ත සමාජය ගැන පසුව ඇය තදින් කලකිරෙනවා. පසුව ඇය අයර්ලන්තයට සංක්‍රමණය වනවා.

මේ අතරම ඉංජිනෙරු පී පී විජේසේකරගේ සංවර්ධනය අඩාල කරන භූතයා දුම්රිය ගිල ගැනීම නම් ප්‍රකාශනය නොවූ සේ පෙනෙන පොත කියෙව්වා. නිර්මාණශීලි රජයේ සේවකයකුගේ ඉරනම එයින් කියවෙනවා. මේ පොත් දෙකම නවකතා නොව සංවර්ධනය පිළිබඳ කියවීම් හැටියට සලකන්න පුළුවන්. 


Tuesday, October 13, 2020

To have and to lose

 



මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය මාසයේ පැවැත්වුනා. කොවිඩ් හො වෙනයම් හේතු හන්දා වෙනදා තරම් ජන සහභාගිත්වයක් තිබුනේ නැහැ. මටත් දින දෙක තුනක් එහි යන්නට හේතු යෙදුනා. මගේ අළුත් පොත මුද්‍රනය වී ඒහි ප්‍රදර්ශනය වීම හේතුවෙන්. (සති දෙකක්ඉ පමණ කාලයක් ඇතුලත පොත සකසා මුද්‍රනය කිරීම ආශ්චර්යයක්) ඉක්මනින් පොත නිම කිරීම නිසා ප්‍රකාශකයාට කරන කෘතගුණ දැක්වීමක් හැටියට මම ඒම කුටියේ ටික වේලාවක් රැඳී සිට මගේ මිත්‍රයන් පොත් ගන්න පැමිනි විට ඔවුන් හට සමරු සටහනක්ලියා දීම සිදුකලා. හදිසිය හන්දා පොත එලිදැක්වීමක් කළේ නැහැ. එහෙම පසුව කරන්නට සිතා ගත්තත් නැවතත් කෝවිඩ් උග්‍රවීම හන්දා එය දැන්ම තියන්න ලැබෙන එකක් නැහැ.

ඇත්තටම කිව්වොත්, මේකත් එක්තරා එලි දැක්වීමක් තමයි. වොෂින්ටන් නගරයේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට වරක් ගියවිට එහි විවෘත ශාලාවක් අයිනක මේසයක් තබා ගෙන ලමා පොතක් අලෙවි කරන අයෙක් මම දැක්කා. මම පොතක් මිලදී ගන්න ගියාම ඔහු කීවේ එය අළුත් පොතක් කියා. පොත කියවන්න දෙන්නේ කාටද කියලා අහලා නම් වලින් ම ආමන්ත්‍රණය කරලා ඔහු සමරු සටහනක් ලියා දුන්නා.

මෙවර ප්‍රදර්ශණයේදී අළුත් පොත් කිහිපයක්ම මිලදී ගන්න පුළුවන් වුණා. ඒ අතරින් ලුමුම්බාවේ හත් වසක් නැමැති කෘතිය සහ ඩී බී කුරුප්පු මහතාගේ ජීවන තොරතුරු ඇතුලත් පොත් කියවා නිම කළා. ලුමුම්බාව ගැන පොත ලියා තිබුණේ එස් ජයරත්න නම් කතුවරයෙක්. එහි විශේෂයෙන් මාක්ස්වාදය හා දර්ශනය පිළිබඳ සෝවියට් ඉගැන්වීම් පිළිබඳ බොහෝ විස්තර ඇතුලත්. ඩී බී කුරුප්පු මහතාගේ පොත් වලින් හොරණ ප්‍රදේශයේ අතීත සමාජ රටාව පිලිබඳ අවබෝධයක් ගන්න පුළුවනි. වරක් රයිගම් කෝරලයේ පැරණි තොරතුරු අසා ඔහුට ඊ මේලයක් යැවූ විට ඔහු හැරෙන තැපෑලෙන් උත්තර දී තිබුනා.

චින්ගීස් අයිත්මාතව් ගේ නවකතා වලින් පළමු වරට කියෙව්වේ පළමුවැනි ගුරුවරයා. ඒ් දශක කිහිපයකට කළින්. ඔහුගේ කෘති අතුරින් අළුතෙන්ම කියවපු ඒක තමයි To have and to lose කියන පොත. මිනිස්සුනගේ හැඟීම් සහ ඒ්වායේ ගතිකයන් පිළිබඳව අපූරුමාන දකින්නෙක් තමයි අයිත්මාතව්. මේ පොතේ ඔහු දිගහරින්නේ රියදුරෙකුගේ කතාවක්. රියදුරා එක පැත්තකින් අලුත් දේ සොයා යන්නෙක්. භාණ්ඩ ප්‍රවාහනය කාර්‍යක්ෂම කිරීම සඳහා ට්‍රක් රථයට ටේලරයක් යොදා කිර්ගීසියාවේ කඳුකර දුර්ග මාර්ග වල අත්හදාබැලීමක් ඔහු කරන්නේ හිතුවක්කාරකමින්. එය වැරදීයාම හෙතුවෙන් ඔහුගේ රාජකාරී ජීවිතයට එතරම් බලපෑමක් නොවන්නේ සෝවියට් ක්‍රමය හන්දා වෙන්න පුළුවන්. ඒත් එය ඔහුගේ පෞද්ගලික ජීවිතය උඩු යටිකුරු කරනවා.

අලුතින් ගත් තවත් පොත් කිහිපයක්ම තියෙනවා කියවන්නට. ජීවිතයේ විශේෂයෙන් රාජකාරීමය වශයෙන් අප්‍රසන්න කාල ගෙවා දමන්න හොඳ මිතුරෙක් පොත් පත්. ඊට සමගාමීම ලියන්න හිතුවත් ඒ සඳහා හිතේ නිස්කලංකබවක් හදා ගන්න අවශ්‍යයි.  

 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...