Thursday, July 18, 2024

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනයක් තිබුනේ ළමා කාලයේ විතරක් වෙන්න ඇති. ඒත් හැලහැප්පීම කවදත් අඩුවක් නැහැ. අළුතෙන් ලියන්න කියළා බොහෝ දෙනෙක් මට කියනවා. රේල්ලුවේ අත්දැකීම් ලියා තියන්න කියා තව කෙනෙක් කියනවා. ලියන්න තරම් වටිනා දේවල් ඇති බව මා හොඳින්ම දන්නවා. ඒ්ත් මේ බ්ලොග් ඒක කවුරුත් කියවන්නේ නැති බවත් මා දන්නවා. අළුතෙන් ලියන්න ඹ්න ශානරය මොකක්ද කියා හිතමින් ඉන්නේ. නවකතාවක්......ටිකක් බර වැඩීවගේ. කවි පොතක්...... තව කවි ගොඩක් ලියන්න වෙයි. නිම්වලලු ජාතියේම යම් වෙනසක් ඒක්ක පොතක්. ඒ්ක නම් පුලුවන් වෙයි. 

දිනපතා ටික ටික ලියන්න පුලුවන් නම් එය කරන්න පුලුවනි. හිතේ සහනයක් තිබුනත් නැති වුනත් හිතේ කළකිරීමක් තියෙන වෙලාවට ලියන්න අමාරුයි. තනි වුනාම දේවල් කියන්න සමීප කෙනෙක් නැති වුනාම වැඩියෙන් ලියන්න පුලුවන් හෝ ඒ සඳහා ආවේශයක් ඒනවා කියන එකත් බොරුවක්. fb ඒකේ දිග හෑලි ලියන්න මම කැමති නැහැ. අනෙක් පැත්තෙන් මම දැකපු සුන්දර දසුනක ඡායරූපයක් දැම්මත් රේල්ලුවේ ඉන්න දවස්වල වල යම් පිරිසක් මට අපහාස කළා. මම දිවිහිමියෙන් මගේ ජීවිතේ  පෞද්ගලික කරුණු පසකෙළා දිවා රෑ නොබලා වැඩ කලේ මගීන් වෙනුවෙන්. යම් යම් ඉහල නිලධාරීන්ට අමතරව මට වැඩියෙන්ම අපහාස කලෙත් ඹවුන්ගේම කොටසක් තමයි. මේවා ලංකාවේ සාමාන්‍ය දේවල් වෙන්න ඇති. ඒ කිසි දේකින් රාජකාරියට මගේ කැපවීම අඩු කලේ නැහැ. තව අවුරුද්දක් පමණ වැඩ කළා නම් දුම්රිය යම් සන්ධිස්ථානයකට ගෙන ඒන්න තිබුණා. ඒ්වා අවශ්‍ය නම් විස්තර ඇතිව ලියන්න පුලුවන්. දැන් ඉන්නේ තවත් අලුත් ක්සේත්‍රයක සංවර්ධන බැංකු ක්ෂේත්‍රයේ. ඒ ගැන අළුතෙන් කියන්න දේවල් ගොඩයි. 

හැමදාම ජීවිතේ විවිධ අභියොග ලැබෙනවා. හැබැයි ඹ්න නම් නිසි දෙයක් නොකර පැත්තකට වෙලා ඉන්නත් පුලුවන්. විශ්‍රාම ගිය පසු සමහරු සමාජ සේවයට බහිනවා. ඊට පස්සේ අධාර ඉල්ලලා හැමෝටම කරදර කරනවා. තමන්ගේ පාඩුවේ යම් මෙහෙයක් කරනවා නම් ඒය වෙනම කාරනයක්. සමහරෙක් පෞද්ගලික ව්‍යාපාර කරනවා. මා දැන් නැවතත් යම් විදිහකට හෝ රාජකාරියක් කරන නිසා ඒ් ගැන හිතුවේ නැහැ. ඒත් ඉක්මනින් අවශ්‍ය වෙයි. දැනට මේ ඇති. 




Tuesday, December 12, 2023

 

 

 

ආරාධනා

එක් දහස් නමසිය හැත්තෑව දශකය සැලකෙන්නේ සිංහල සිනමාවෙත් ස්වර්ණමය යුගය ලෙස. කළාත්මක, රැඩිකල්, මැදමාවතේ ඇතුළු විවිධ ගනයේ චිත්‍රපට එම වකවානුවේ නිපයුනා. විජය ධර්ම ශ්‍රී විසින් අධ්‍යක්ෂණය කළ ආරාධනා ඉන් එකක්.

1977 බලයට පැමිණි ආණ්ඩුව විසින් ඇරඹු මහවැලිය කඩිනම් කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉදිවුණු එක් ව්‍යාපෘතියක් තමයි කොත්මලේ ව්‍යාපෘතිය. මහවැලි ගඟේ අත්තක් නැත්නම් තොටසක් වන කොත්මලා ඔය හරස් කර කඩදොර සහ තිස්පනේ ගම් වලට ආසන්නව තැනූ වේල්ල මගින් ඉදිවූ ජලාශය සහ පොලව උමගක් හරහා පොලව යට පිහිටි විදුලි බලාගාරය වෙත ජලය යොමු කිරීම තමයි ව්‍යාපෘතියේ අරමුණ. ඊට පහලින් අටබාගේ පැත්තට කිට්ටුවෙන් ඉදිවුනු මොරගොල්ල නම් කුඩා විදුලිබලාගාරයටත් එමගින් ජලය සැපයෙනවා. ඒ අනුව එය ඉංජිනේරු marvel එකක් හැටියට සලකන්න පුළුවන්. විශේෂයෙන් ඒ කාලයේ.

මේ ඉදිකිරීම් ඇරඹීමත් සමග ඒ පලාතේ ඇති වන වෙනස් කම් මිනිස්සුන්ගේ ජීවිත වල හැලහැප්පීම් වගේම තරුණ ඉංජිනේරුවකු සහ හෙදි යුවතියක අතර ඇති වන ආදරය ගොනු කරලා මෙහි කතා රචකයා සහ අධ්‍යක්ෂවරයා මවන අරුමැසියාව චවන වලින් කියන්න බැරි තරම්. කොත්මලේ වැඩබිමේ සහ අවට සුන්දර පරිසරයේ රූපරාමු ඒ සඳහා කදිමට යොදගෙන මෙම සිත්තම් පට නිපදවා තිබෙනවා.

ජිනාදරී හෙද අභ්‍යාස විද්‍යාලයේ ඉගෙන ගන්නා යුවතියක්. ඇයගේ ගම මේ වැඩබිමට කිට්ටුව ඇති තිස්පනේ. යෙහෙලියන් කාණ්ඩයක් එක්ක ගමට ඇවිත් කොත්මලේ ඔය හරහා ඇති එල්ලෙන පාලම හරහා ගිහින් මේ වැඩ බිම බලන්න යන ගමන අවසානයේ ඒ ගොල්ලන්ගේ ජීවිත එක්තරා විදියකට උඩු යටිකුරු කරනවා. එහිදී ජිනාදරීට හමුවන වැඩබිමේ උපදේශක ඉංජිනේරුවා සේනක සමග පසුව ඇය පෙමින් බැඳෙනවා.

එක් පැත්තකින් ගම්බිම් ජලාශයට යට වන්නට නියමිත නිසා ඔවුන් වියළි කලාපයට යන්න නියමිතවයි ඉන්නේ. පරම්පරා ගානක් සිටි ගම් බිම් දාලා නොහුරු නුපුරුදු පරිසරයකට යාම ජිනාදරීට කෙසේ වෙතත් ඇයගේ පියාට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඔහු උත්සාහ කරන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයේම කෙසේ හො නවතින්න. ඒ සඳහා උදවු කරන්නේ සේනක.  එතැනින් නොනැවතී විශ්‍රාම ගොස් සිටින ජිනාදරී ගේ පියාට ඔහු වැඩබිමේ රැකියාවක් ද සොයා දෙනවා. මේ අතරේ ඔවුන්ගේ ආදර අන්දරය මිහිරට ගලා ගෙන යනවා.

පාරම්පරික ගෙවල් වලින් විතැන් වීම්, වගේම රැකියාවෙන් ඉවත්වීමට සිදුවීම තුළින් ජිනාදරී මුහුණ පාන්නේ අළුත් අභියෝගයන්ට. ඇයට රිසි සේ දෙමව්පියන්ට සැලකීමට හෝ නොහැකි වන්නේ අකමැත්තෙන් වුවද රැකියාවෙන් ඉවත් වන නිසා. මේ සියල්ලේ අවසානය ජිනාදරී සහ සේනක වෙන්වීම සහ දෙදෙනාම තනිවීම.

චිත්‍රපටයට ඉමහත් ආලොකයක් වන්නේ මාලනී ෆොන්සේකාගේත් රවින්ද්‍ර රන්දෙනියගේත් අති විශිෂ්ඨ රංගනය. හැඟීම් ප්‍රකාශ කිරීම් අතින් ඒ තරම් දක්ෂතා අපිට දකින්න හම්බවෙන්නේ සුලභව නොවෙයි. ප්‍රශ්න සමග වුවත් සුන්දුර අවසානයකින් චිත්‍රපටය ඉවර කරන්නත් නිර්මාණකරුවන් වග බලා තියෙනවා. අපේ රටේ බොහෝ දේවලි වලට වෙනවා වගේම මේ චිත්‍රපටයත් නිසි ලෙස අගය නොවූ එකක් කියලයි මට හිතෙන්නේ. 

Sunday, May 15, 2022

වෙසක්




වෙසක් පොහොය ගැන කලින් වතාවක් හෝ ලියා ඇති. වෙසක් පොහොය උදා වුනත් රටේ තොටේ වෙසක් අසිරියක් දකින්නට නැහැ. තොරණ නම් නැත්තටම නැති වෙලා. පිටකොටුවේ හැදුව එකම තොරණත් කළින් දවසේ හුළඟට කඩා වැටුණා කියළා ප්‍රවෘත්තියක තිබුණා. පාරේ වුනත් වෙසක් කූඩු සැරසිලි බල්බ් වැල් යනාදිය විකුණන්න තිබුණේ අඩුවෙන්. කළාතුරකින් ගෙදරක තමයි වෙසක් කූඩු කිහිපයක් පත්තු කරළා තියෙනවා දැක්කේ. ප්‍රධානම දේ තමයි සංස්කෘතික භාවිතාවක් විදිහට වෙසක් මිනිස්සුන්ගේ හිතෙන් ඈත් වීම.

වෙසක් උත්සවය ඒක පැත්තකින් කුඩා ළමයින්ගේ උත්සවයක්. ඒ් දවස්වල සිල් ගැනීම් භාවනා කිරීම් කෙසේ වෙතත් ළමුන් වෙසක් උත්සවයට ලෑස්ති වුනේ අවුරුද්ද ඉවර වෙනවත් එක්ක වගේ. බට කපා ගෙන, ඔට්ටපාල් හොයාගෙන වෙසක් කූඩු හැදීමත්, විවිධ පාට වලින් යුතු සව් කොළ මිලදී ගැනීම, බුදු රැස්මාලා, බුද්ධ පින්තූර, පුංචි මෝටර් ආදී සල් උයන් වලට අවශ්‍ය දේවල් වගේම වෙස් මුහුණු නිලා ආදියමිලදී ගැනීමත් මෙයට ඇතුලත්.

වෙසක් කාඩ් යැවීම අනෙක් අංගය. කලෙයිමගල් වැනි සමාගම් විසින් මුද්‍රනය කරපු තනි පිටේ වෙසක් කාඩ් තමයි වඩාම ජනප්‍රිය. ලස්සන සිතුවමක් ඒක්ක ලිපිනය ලියන පිටුවේ වම් පැත්තේ කවියකුත් ඇතුලත් කර තිබුණා. කරුණාරත්න අබේසේකර සහ ඒ් කාලේ ජනප්‍රිය කවීන් කිහිපපොලක් ඒ් කවි ලිවීමේ මුල් ගැන ගත්තා. ඒ්ක හොඳ ව්‍යාපාරයක් බවත් පෙනෙන්න තිබුණා. හොරණ තිබුණු සීගිරිය, ගෝල් ස්ටෝර්ස් ආදී නම් වලින් හැඳින්වුණු පොත් කඩ වලටත් මේ කාලය වැඩ අධිකයි. නිතරම කඩවල ළමයි පිරිලා. තැපැල් දෙපාර්තමේන්තුවටත් මේ කාලය වැඩ අධික කාලයක්. පසු කාලෙක විවෘත ආර්තිකයත් ඒක්ක සල්ලි සෙවීමේ අරමුණ පමණක් පෙරදැරි කරගෙන නොයෙක් සමාගම් ඒයට යොමු වුණා. ඒත් ඒක්කම වෙසක් කාඩ් වල අර කලින් තිබුණු සරළ සුන්දර බව නැති වෙලා ගිහින් තිබුණා වගේම කවීත් නිරස වීගෙන ගියා. දැන්නම් තැපෑලේ වෙසක් කාඩ් යවන්නේ නැති තරම්.   

මේවාට අමතරව බුදුසරණ පත්‍රය ඇතුලුව බෙෘද්ධ සඟරා විශේෂ වෙසක් කලාප නිකුත් කළා. පාසල් වලත් පන්සලෙත් ශීල ව්‍යාපාර පැවැත්වුණා ඒ්වා නම් යම් මට්ටමකට තවමත් කෙරෙනවා. දන්සැල් නම් මෙවර දකින්නට නැති තරම්. භාන්ඩ වල හිඟයත් අධික මිලත් එයට හේතු වෙන්න ඇති.

මේ සියල්ල ඒ් කාලේ අපේ සිත් පහන් කරන්න හේතුවුණා. පෝදා හඳ යටින් හැම තැනම ඒ්කාලෝක වුණු වෙසක් අසිරිය දකිමින් ඇවිදීමත් භාවනාවක් වගේ. ඒ් අපි වයසින් කුඩා වූවන් හන්දා ඇති වුණු දෙයක් ද නැත්නම් අර කිව්ව වටපිටාව හන්දා අපේ සිත්වල ඇඳුණු දෙයක් දැයි තවම තේරෙන්නේ නැහැ.

Monday, March 7, 2022

Kharkiv

 




මේ දවස්වල සමාජ මාධ්‍ය වලත් ඉලෙක්ට්‍රොනික හා මුද්‍රිත මාධයවලත් යුක්රේන යුද්ධයට ප්‍රමුඛ ස්ථානයක් දී ඇති බව පෙනෙනවා. ඒ සම්බන්ධයෙන් නොයෙක් මත පලවනවාත් දකින්නයට පුළුවන්. කොටසක් රුසියාව සාධාරනීකරනය කරන අතර අනෙක් අය යුක්රේනයට සහයොගය දක්වනවා. අපි එනම් යුක්රේනයේ උගත් අය යුක්රේනයට සහයොගය දැක්වීම ස්වාභාවිකයි.

යුද්ධයේ කේනද්‍රස්ථානයක් වෙලා තියෙන්නේ එක පැත්තකින් අපි උගෙන ගත් හාර්කොව් (දැන් යුක්රයින භාෂාවෙන් කියන්නේ හාර්කිව් කියා) නගරය. කෙසේ වෙතත් අපේ විශ්ව විද්‍යාලය පිහිටියේ නගරයෙන් එපිටට වන්නට රගාන් නම් ගම් පියස ආශ්‍රිතව.

අපේ භද්‍ර යෞවන විය ගෙවුණු පරිසරය, අපි පර්යේෂණ වල යෙදුණු ගොවිබිම්, විශ්ව විද්‍යාලේ දේශණ ශාලා, විද්‍යාගාර, නිතර ගැවසුණු පුස්තකාල වගේම ඉඳහිට ඇවිදින්න යන නගරයේ බොහෝ ස්ථානත් ඇස් පනාපිට විනාශ වී යන දෙස හැගීමක් නැතිව බලා ඉන්න පුළුවන් වන්නේ මුග්ධයෙකුට පමණයි.  

අවසන් අවුරුදු දෙකේ උපාධිය සඳහා පර්යේෂන කරන්නට මට ලැබී තිබුණේ අපේ විශ්ව විද්‍යාලයෙන් තරමක් ඈත හාර්කොව් නගරයේ ඊසාන දිගට වන්නට පිහිටි Scientific Research Institute (Научно Изледователский Институт) එකක. අපේ පර්යේෂන ගොවි බිමේ නම елитное. එය ප්‍රමාණයෙන් අක්කර විශාල ගණනක්.  එහි හෙක්ටයාර කිහිපියක් මගේ පර්යේෂණ කටයුතු සදහා වෙන්වී තිබුණා. බිමි සකස් කිරීම් ආදිය කළේ ට්‍රැක්ටර් යොදාගෙන. ඒ බිමත් දෙවන ලෝක යුද්ධ කාලෙදී දරුණු සටන් ඇවිලුණු බිමක්. ඒ බිමෙන් හම්බවුණු ජර්මානු පතරොම් වල කැබලි ගණනාවක් ඒ දවස් වල මම එකතු කරන් හිටියා.

බිරියෝසා සහ තවත් ශාක වලින් සමන්විත වන තීරු වලින් වෙන්කර තිබූ අපේ වගා බිම්වල ගිම්හාන කාලේ වන විට අස්වනු පැහෙනවා. ඒත් එක්කම වන තීරුවේ ගස් වල කොළ කහපාට වී හැලී යනවා. අතරින් පතර පමණක් සදාහරිත පයින ගස් දකින්නට පුළුවන්. සුන්දර ඒ බිම ආයිත් යුද්ධයේ ගිණිසිළු වලින් වැසී යයි කියා අපි හිතුවේ නැහැ.

චුගූයෙව් කියන්නේ හාර්කොව් නගරයට තරමක් නැගෙනහිර පැත්තට වෙන්න තිබෙන කුඩා නගරයක්. මේ නගරය නැවත් වරක් යුක්රේනියානුවන් විසින් රුසියන් හමුදා වෙකින් මුද් ගත්තා තියළා ඊයේ දැනගන්නට ලැබුණා. ඒ දවස්වල බස් එකේ නැගලා ඉදහිට චුගූයෙව් වෙත ගිහින් තිබූ බව මතකයි. විදේශ ශිෂ්‍යන් විශාල සංඛ්‍යාවක් හාර්කොව් වල සිටියත් චුගූයෙව් පැත්තට වෙන්න විදේශිතයෙකු දකින්නට හෝ නැහැ. ඒ නිසාම අප මිලදී ගන්න ප්‍රිය කරපු සමහරක් භාණ්ඩ අත් ඹඑලෝසු හෝ විදුලි පහන් ආදිය එහි සාප්පු වල බොහෝ විට තිබුණා. කොහොම වුනත් විදේශිකයන් ගැන ඒ නගරයේ වැඩිහිටි අය උදාසීන පිළිවෙතකින් බැළුවත් බොහෝ තරුණියන්ගෙන් අපට ලැබුනේ සුහද ප්‍රතිචාරයක්.  

 

Sunday, January 9, 2022

ගැහැනු ළමයි සමග කරුණාසේන ජයලත් නැවත කියවමු

 ජනවාරි මස 10 වැනි දිනට යෙදෙන කරුණාසේන ජයලත් ජන්ම දින සැමරුම වෙනුවෙනි


භද්‍ර යෞවන වියේ හැඟුම් වලින් අප මුසපත් කළ නවකතාවක් සහ එය මුල්කොට ගෙන තැනූ හද බැඳගත් චිත්‍රපටයක් ලෙස “ගැහැනු ළමයි හැඳින්විය හැක. ගොළු හදවත නම් නවකතාවෙන් යෞවන ප්‍රේමය පිළිබඳ නව මානයක් ගෙන එන්නට කරුණාසේන ජයලත් සූරීන් සමත් වූහයි සිතමි. පසුකාලීනව ඔහු විසින් ලියනු ලබන ගැහැනු ළමයි නවකතාව යොවුන් ප්‍රේමයේ චමත්කාරය හරහා අද්‍යතන සමාජ යථාර්තයන් කරා අපගේ මනස මෙහෙයවන බව පෙනේ. 

යොවුන් ප්‍රේමය නව යෞවනයන් දෙදෙනෙකුගේ සිතෙහි ඇතිවන අතිශය චමත්කාරජනක ස්වභාවික හැඟීමක් නැති නම් බැඳීමක් නම්, සමාජයේ විවිධ ගාමක බලවේග විසින් එවැනි බැඳීමක් අකාරුණික ලෙස සුණු විසුණු කොට දමන අයුරු කතුවරයා අප වෙත විදහා දක්වන්නේ හේතු සාධක සහිතවය. මෙම නවකතාවට මුල් වන කාලය ලෙස 1950-60  දශක සැලකිය හැකිය. කතාව දිගහැරෙන්නේ කොළඹට ආසන්න කුඩා නගරයක් සහ ඊට නුදුරින් පිහිටි ගමක් වටාය.  මෙවැනි ගම්, නගර ආශ්‍රිතව එකල ධනවතුන් වූයේ නම් බොහෝ කොටම ඒ ඉඩම්හිමියන් හෝ ඒ හරහා ඇති කරගත් ව්‍යාපාර හිමිකරුවන් බව පෙනේ. ඊට අමතරව ගම්මාන වල ගැමියන් අතර සමාජයේ යම් ඉහල මට්ටමකට නැගීමේ අරමුණ සහිත එනම් සුළු ධනේස්වර අදහස් වලින් හෙබි පවුල් සිටි බවට ගැහැණු ළමයි දෙස් දෙයි. ඔවුන් සිල්ලර වෙළඳාමේ නිරතවන්නන්හෝ රජයේ යම් යම් රැකියා වල නිරත වන්නන් විය හැකිය. පොලියට මුදල් දීම සහ උගස් ගැනීම වැනි කටයුතු වලද ඔවුන් නියැලේ. සෙස්සන් එදිනෙදා කුලී වැඩ, පොලවල බඩු වෙළඳාම හෝ එවැනි වෙනත් රැකියා වල යෙදෙන දරිද්‍රතාවයෙන් බැට කන පවුල් වෙති.

එවැනි පහල පන්තියේ පවුලක දැරියක් වශයෙන් ගැහැණු ළමයි කතා නායිකාව - කුසුම් බාල කාලයේ අනෙක් ඕනෑම ළමයෙකු මෙන්ම තමා අවට දකින විසිතුරු දේ ඉල්ලා අඬයි. දරිද්‍රතාව පිළිබඳ හැඟීම් කුඩා ළමයිනට නැත.

“අම්මේ මට බෝනික්කෙක් ගෙනත් ඕනෑ.

“අම්මේ අර ගෙදර ළමයටත් බෝනික්කෙක් ඉන්නව.....මටත් එකෙක්.......

“කෙල්ලේ ගුටි නොකා ඉඳින්.”

“තාත්තා පසුදින ඇයට බෝනික්කකු සාදා දෙයි. එය කදුරු ලීයෙන් කපන ලද එකකි. කුසුම්ලාට හැමදාම ජීවිතය විඳින්නට වන්නේ මේ ලෙසටම ද? කතාව පුරාම එක් අතකින් දිවෙන්නේ මෙම අරගලයයි.

බොහෝ පවුල් වල සහෝදර සහෝදරියන් ගත්කළ පවුලේ බර පිළිබද හැඟීම් හෝ එයට උර දීම සම්බන්ධයෙන් එකිනෙකා අතර වෙනස්කම් පවතී. වයසින් වැඩෙත්ම කුසුම්ට පවුලේ අගහිඟකම් දැනෙන්නට ගනී. එයට අනුගතව අරපිරිමැස්මටත් හුරු වන ඇය පවුලේ වැඩිහිටි දරුවා ලෙස දෙමව්පියන් විසින් ජීවත්වීමට ගන්නා ව්‍යායාමයට හැකි අයුරින් සහය වීමටත් පසුබට නොවේ.

ශිෂ්‍යත්වය සමත්වී නගරයේ පාසල වෙත යන විට ඇයට අළුත් ඇඳුම්, සපත්තු මේස්, ටයි ආදිය ලැබේ. අළුත් සමාජය වෙත ඇය පියමනින්නේ ඕනෑම ළමයෙකු මෙන් ලැබුණු අළුත් දේ වලින් ද සිත පුරවා ගෙනය,

“ සතුටින් උතුරන හදවතක් මිස අනාගතය පිළිබඳ පැහැදිලි, නිශ්චිත බළාපොරොත්තු හෝ චේතනා හෝ මා වෙත නොවීය. මම ඇඳුම් වල තාන් සුවඳින් ඔකඳ වීමි.  ඇය කියයි. දරිද්‍රතාවයේ සෙවනැලි මොහොතකට පහව යයි.  

අහල පහල යමක් කමක් ඇති පවුලක් සමග කුළුපග ලෙස ඇයි හොඳයිකම් පවත්වන්නට කුසුම්ලාගේ පවුලට දුප්පත්කම බාධාවක් නොවේ. ඇයගේ යහපත් ගතිගුණ සියළු දෙනාම අගය කරති. කුඩා කාලයේ එම ඇසුර ඇයගේ ඉගෙනීමටත් පිරිමි ලමයින් සමග ඇසුර නිසා සබකෝලය ආදිය දුරු වීමටත් උපකාරී වෙයි. එහෙත් වයසින් වැඩෙත්ම ඇයටත් නොදැනුවත්වම ඇයගේ ශ්‍රමය යම් අන්දමක සූරාකෑමකට ලක්වේ. එහෙත් ඇය වැඩවල යෙදෙන්නේ කැමැත්තෙනි. එසේ උදව්කිරීම නතර වන්නේ ඇය හා යටකී නිවසේ වැඩිමල් පුතා වන නිමල් අතර ඇතිවන ආදරය ඔහුගේ දෙමව්පියන්හට හෙලිවීමත් සමගය. ගම් වල පිරිත් ගෙවල්, තොවිල්පලවල් ආදිය තරුණ තරුණියන් හට හමුවීමටත් නිදහසේ තම අදහස් කියාපෑමටත් ඉඩහසර ලබාදෙන තෝතැන්නක් වැනිය. රාත්‍රියේ තේ, කෝපි සෑදීමටත් ඒවා සංග්‍රහයත් බෙහෝ විට පැවරෙන්නේ තරුණියන්ටයි. වැඩිහිටියන් වෙනත් වැඩ කටයුතු සමග කාර්ය බහුල වන විට රහස් කතා කර ගැනීමට තරුණ තරුණියන් හට නිදහසක් ලැබේ. කුසුම් හට ද යෞවන ප්‍රෙමයේ ප්‍රථම හී සර වදින්නේ එවැනි අවස්ථාවකදීය.

නිමල් ගේ දෙමව්පියන් ඇයගෙන් වැඩ ගන්නට, ඇයට ආදරයෙන් කතා කරන්නට හා ඇසුරු කරන්නට සූදානම් වුවත් තම පුතා දුප්පත් පවුලක ගැහැණු ළමයකු කසාද බඳිනවාට කිසිසේත් එකඟ නොවේ. එය ඔවුන් නගින්නට සිටින හිනිමගේ අඩියක් පසුපසට බැසීමකි.

මෙම සමය විශාල සමාජ පරිවර්තනයකට මුල්වූ යුගයක් බව පෙනේ. සමාජයේ පහල තලයන්හි සිටි පවුල් වල දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා දොරටු විවර වෙයි. සමහර විටෙක එම දරුවන්ගේ දෙමව්පියන් හට ඉගෙනීම පිලිබඳ දැනුම් තේරුම් මද විය හැකිය. ඒ හේතුව නිසාම අධ්‍යාපනය නාමයෙන් හෝ ඒ සඳහා නාගරික පරිසරය සමග ගැටීම මගින් සහ නව සමාජ ප්‍රවනතා හරහා තරුණ තරුණියන් වැරදිසහගත සහ නොයෙකුත් අපචාර කරා යොමු වීමද ජීවිතයම කඩාකප්පල් කර ගැනීම් ද සිදුවිය හැකි බව කතුවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අලුතින් සිතන්නට පෙළඹෙන තරණ පරපුරක් ඇති වීම හොඳ ප්‍රවනතාවකි. සම වයසේ පාසල් මිතුරන් අතර පාසලේදී කෙරෙන වාද විවාද හරහා තරුණ පරපුර මුහුණ දෙන ගැටළු සහ අනාගතය පිලිබද ඔවුන් කෙරෙහි ඇති අවිනිශ්චිතතාවය පිළිබඳ හැඟීම් ද පල වේ. වාමාංෂික අදහස් මුල් කොට ගෙන මෙවැනි ප්‍රශ්න සඳහා තිරසාර පිළිතුරු සොයන්නට ඔවුන්ගේ මනස යොමුවේ. පාසල තුළ ළමයින් අතරේ වුවද, ගුරුවරුන් අතරේ ද ඇති නැති පරතරය හා බැඳුනු වෙනස්කම් හා සැලකිලි නැතුවා නොවේ. එහෙත් ඒ හැලහැප්පීම තුළ වුවද නොසැලී ඉගෙනීම් කටයුතු වල යෙදීමට මෙන්ම සමාජයේ හැසිරීමටද කෙනෙකු දක්ෂ විය යුතුය.

පාසලේ ඉගෙනීමේ කටයුතු, බාහිර ක්‍රියාකාරකම් මෙන්ම නේවාසිකාගාරයේ කාලසටහන තුලට අනුගතව වැඩකරන්නට වීමෙන්ද පාසල් වියේ සිටින යෞවනයකුගේ කාන්සිය, තනිකම හා ජීවිතයේ කම්කටොලු පිළිබඳ හැඟීම් සමනයවී යයි. දුප්පත් පවුලකින් පැමිණි ශිෂ්‍යයෙකුට නම් නේවාසිකාගාරයේ ආහාර සහ පහසුකම් උවමනාවටත් වඩා එහා ගිය ඒවා විය හැක. 

කතානායිකාව මෙන්ම වටා සිටින චරිත ද ක්‍රමිකව පරිනාමයට ලක්වෙති. කුඩා කාලයේ බොහෝ දඟ ළමයෙක් පසුව තැන්පත් වෙන්නාක් මෙනි. එය ජීවිතයේ ස්වභාවයයි.

ජයලත් සූරින් යුවතියකගේ හැඟීම් විදහා දැක්වීමේ ලා පුදුම එලවන තරම් සමත්කම් දක්වයි.  

විටෙක ඒ අහිංසක සිතුවිලි හරහාය.

“සමහර දවසක කමලාවතීගේ ගෙදරදී දවාලට බත් කන්නට ගිය කළ මට නංගිලා සිහිපත් වූහ. එදාට මට බත් උගුරේ හිර වෙයි. නංගිලා නැතිව තනිව ම බත් කෑම ගැන වන්දි වශයෙන් මම ලොසින්ජර හෝ කෙසෙල් ගෙඩි හෝ මට ලැබුණු දෙයින් කොටසක් ඉතිරි කර ගෙදර ගෙන ආවෙමි.

තවත් විටෙක දැරියන් අතර ඇතිවන මානුෂික බැඳීම් තුලිනි.

“පද්මිණී සේනාරත්න හා මම මේ වාරය අවසාන වන විට හොඳම හොඳ මිතුරියෝ වීමු. අපගේ වයසේ ගැහැනු ළමයින් අතර ඇතිවන මෙවැනි ආශ්‍රයන්හි පුදුම බැඳීමක් ද රසවත්කමක් මෙන්ම බොළඳකමක්ද ඇත. අපි නොදැක ඉන්නට බැරි තරමට එකිනෙකා වෙත බැඳුනෙමු.

මෙවැනි අවස්ථා කතාව තුළ බොහෝ ඇත. කතාව අවසාන වන්නේ නැත්නම් පොතේ පළමු පිටුව ආරම්භයේ කුසුම්ගේ සිතුවිලි මෙසේ දිගහැරේ.

“මට නින්ද නොයන්නේ වේදනාවකින් නොවේ. සවස කඳුළු ටිකක් වැටුණු බව සැබවි. ඒවා හැඟීමකින් උපන් කඳුළු යයි මම නොසිතමි. සමහර විට ඒ ගැහැනු ගතියට වැටුණු ඒවා විය යුතුය.

එදත් අදත් අප අතර කුසුම්ලා කොතෙකුත් සිටිති. සියළු දුක්ඛ දෝමනස්සයන් දරා ගෙන ඔවුන් තම ජීවිතත්, ඇසුරේ සියල්ලන්ගේ ජීවිතත් එළිය කරති. ජිවිතාබෝධයත් තමා පිළිබඳ විශ්වාසයත් සමග කැපවීම හා නිර්මාණශිලිබවත් එක්වූ කළ ජීවිත සුන්දර වේ. එහෙත් තමන්ට පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන් කෙනෙකු පරාජයන්ට, පසුබෑම්වලට හා කලකිරීම් වලට පත් විය හැකිය. දිගින් දිගටම බාහිර ලෝකයෙන් බැට වැදුනත් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන ගුණයෙන් යුතුව ඒවාට මුහුණු දෙන්නට ඔවුහු සමත් වෙති. ඔවුහු අඳුරු නිවෙස් එලිය කරති. කළු වලා තුළ රිදී රේඛා මතුකර ගනිති.

කරුණාසේන ජයලත් සූරින් ගැහැනු ළමයි නවකතාවට ඈඳුනු තවත් කතා දෙකක් “පිරුණු හඳක් සහ හතුරු හිතක් ද නිර්මානය කරමින් මෙම සංවාදය, චරිත අතර මෙන්ම සමාජය තුළ ඇතිවන ගැටුම් හරහා තවදුරටත් ඉදිරියට ගෙන යයි.

අවසාන වශයෙන් කිව යුත්තේ “ගැහැනු ළමයි අදටත් විශේෂයෙන් තරුණ පරපුර විසින් කියවිය යුතු නවකතාවක් බවයි. ඒ තුලින් ජීවිතයට ගුරුහරුකම් ලබා ගන්නටම නොව ජිවිතයේ චමත්කාරය, ආනන්දය මෙන්ම විප්‍රලම්භ ශෘංගාරය ද නොඅඩුවම විඳිය හැකි හෙයිනි. එය අප හදවත් වලට ආමන්ත්‍රණය කරන හෙයිනි. කලා කෘතියකින් කළ හැකි බොහෝ දේ ගැහැනු ළමයි  හරහා කරුණාසේන ජයලත් සූරීන් ඉටු කොට ඇතැයි අපට සිතේ.

 

සිරිකුමාර ගුණසිංහ

Wednesday, December 29, 2021

මිනිසෙකු ඕනෑකර තිබේ



ප්‍රවීන ගීත පදරචකයකු සහ සාහිත්‍ය විචාරකයකු වන ධම්මික බණ්ඩාරයන් විසින් රචිත සිහින “සක්මන කාව්‍ය සංග්‍රහය මෑතදී කියවන්නට ලැබුණි. මා කිසිසේත්ම සාහිත්‍යකරුවකු හෝ සාහිත්‍ය විචාරකයකු නොවෙතත් මෙම කාව්‍ය සංග්‍රහය ගැන යමක් නොලියා සිටිය නොහැකි යැයි හැඟුනු බැවින් මෙම සටහන තබන බව පළමුවෙන් සඳහන් කළ යුතුවේ.

සිහින සක්මන දශක කිහිපයක කාලය හරහා අප ගෙන යන සොඳුරු සක්මනකි. එහෙත් එය හුදෙක් අතීතාවර්ජනයක් නොවේ. සමස්ථයක් ලෙස සිහින සක්මන,ජීවිතයේ අරුත සොයා යන තීර්ථ යාත්‍රිකයකුගේ ගමන සිහි ගන්වයි. එම ගමන් මගෙහි මං සලකුණු, නවාතැන්පොළවල්, සන්ධිස්ථාන සහ සැතපුම් කණු එකිනෙකින් ස්වායත්ත සිද්ධීන් නොව හේතුඵල සම්බන්ධයෙන් යුතු එකිනෙක තදින් බැඳී පවතිනඑක් දම්වැලක පුරුක් ලෙස හඳුනාගත හැකිවේ. මෙහි ඇති අනෙකුත් විශේෂත්වය නම් කවියා පාඨකයාට අවංක වීමත් ඔහු තමන් හට අවංකවීමත් කාව්‍යය පුරාවටම දැකගතහැකි වීමයි.

කවියා සිහින සක්මනට මුලපුරන්නේ කාලය විසින් අපේ ජීවිත වල සිදු කරන ලද පරිවර්තනය පිළිබඳ ගැඹුරු අරුතක් කරා අප ගෙනයමිනි. එහි හැඳින්වීමේ එන එක කවක් පහත පරිදිය.

 

“මට මොහොතක් අතීතයට යන්න            දෙන්න

කතා නොකර මගේ ලඟින් අයින්   වෙන්න

කරුණාකර පැලඳි ඔටුනු බිම         තබන්න

පපුවට කන තියාන දැන් අහන්          ඉන්න

 

භද්‍ර යෞවනයකු තුල ඇතිවන ප්‍රථම ප්‍රේමය අහිමි වීමේ වේදනාව හරහා මතුවන සිතිවිලි හා බද්ධ වූ ක්‍රියාදාමයක් වශයෙන් කාව්‍යය ආරම්භවේ. භද්‍ර යෞවනයේ ආදරය බොහෝකොට පරමාදර්ශීයය. පිරිසිදුය. එය මිල මුදල්, යාන වාහන, තරාතිරම් හෝ අනෙකුත් භෞතික සම්පත් වලින් හෝ පුහු පුරුෂාර්ථ වලින් විකෘති වී නොමැත. එය ප්‍රශස්ත මානව සම්බන්ධතාවයක් නොවේ නම් එයට ආසන්න අවස්ථාවක් යැයි සිතමි.

කවියා භද්‍ර යෞවන ප්‍රේමය හිමි වීමත් අහිමි වීමත් අතර සුන්දරත්වයක පැටළේ. එහෙත් එවැනි අත්දැකීම් සුන්දර ලෙස හැඟෙන එහෙත් අසුන්දර අවසානයක් කරා යොමුවිය හැකිය. ජීවිතයේ අනේක විධ ඉච්ඡාභංගත්වයන් සියදිවි නසා ගැනීමක් දක්වා ගමන් කළ අවස්ථා අපට කොතෙකුත් අසන්නට ලැබේ. තරුණ සිත් කලබලකාරී, රැඩිකල් වන බැවිනි.

කවියා මෙම අන්තයන් මෙනෙහි කරයි.

එක පැත්තකින් සුන්දර සංවේදී ජීවිත මෙන්ම අනෙක් පැත්තෙන් සියල්ලට ඉහලින් ඇති ආදරයේ මිහිරියාවත් කවියා සසඳයි. සිය සහකාරියත් සමග එක්ව සිය දිවි නසා ගත් ජපන් ජාතික විශිෂ්ඨ නවකතාකරුවකු වන දසයි ඔසමු මෙන්ම ප්‍රේමය නිසා මරණයට ලක්වූ දස්කොන් හරහා ජීවිතයේ තරුණ සිතක මනෝභාවයන්හි කැළඹිලි අපට පසක් කරයි.

“ දසයි ඔසමු.......

සියදිවි නසා ගැනීම

සාධාරණීකරණය කරලා

අන්තිමට ඔබත්

සියදිවි නසා ගත්තා

 

“උන්නු සඳ ඔබ මහ රජුගෙ මිතුරෙකු        වෙලා

බිසව හින්දා මිතුරු දම් ඔබ                                 විසිකළා

දන්න තරමට ආදරේ හැටි ඒ                       තමා

නැතිද දෙවරක් සිතා බැලුවේ                  ඔබතුමා

 

ජීවිතයේ මෙම සාමාජික මෙන්ම පුද්ගලානුබද්ධ හැලහැප්පීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට නම් යමෙකු හට මනා ජීවිතාවබෝධයක් තිබිය යුතුය.

කවියා එය අප වෙත ගෙන එන්නේ සියුම් හාස්‍ය රසයක් සමගිනි.

“ පවුල එක්ක රණ්ඩු වෙලා

            අපේ ගමේ කොට මාර්ටින්

            රේල්ලුවට බෙල්ල තිබ්බා

            හරියටම දවල් දොළහට

           

            පීල්ලේ රස්නෙට

            බෙල්ල පිච්චිලා

            කොට මාර්ටින් ගෙදර දිව්වා

 

මතුපිටින් බලන කළ සිහින සක්මනෙහි කතා නායකයා දිගින් දිගටම තැවෙන්නේ භද්‍ර යෞවනයේ ආදරය අහිමී වීම පිළිබඳවය.

            “............

            මිහිරියේ මගෙ මිහිරියේ

            ඔබට දැන් නම් මා අමතකව ඇතී

            ..............

           

එහෙත් කවියා භද්‍ර යෞවනයේ ආදරය අහිමි වීමේ වේශයෙන් තැවෙන්නේ ප්‍රාර්ථනා කළ එහෙත් අපෙන් දුරස් වෙමින් පවතින මිනිස්කම් පිළිබඳවද?ආදරයේ විවිධ පැතිකඩ කුස-පබා, දික්තල-කාලගෝල සහ දස්කොන්-ප්‍රමිලා වැනි උදාහරණ හරහා කවියා ගෙන එන්නේ මනුෂ්‍ය සබඳතාවලවිවිධ පරාසයන් සිහිගන්වමිනි. 

 

පූර්විකා වලින් පසුව පොතේ තුන්වන කවියෙන් ඔබ්බට කවියාගේ සක්මන ඇරඹේ. එහි ආරම්භක කවිය මෙම කාව්‍ය සංග්‍රහයේ යටිපෙළ පිළිබදව නැවතත් අපට සිහිගන්වන්නකි. එමෙන්ම එය අපූරු කවියකි.

 

“ඉරටත් හොරෙන් කාලය ගෙවුණ ඉක්මන

සදටත් හොරෙන් ඇන්දෙමි කදුළු සිත්තම

මලටත් හොරෙක් මල්වල සුවඳ එක්කම

කාටත් හොරෙන් අරඔමි සිහින සක්මන”

 

සුන්දර ගමින් ඇරඹෙන සක්මන ආනන්ද බෝඩිම හරහා නගරයේ කර්කශබව හා ගමේ සුන්දරත්වය මෙන්ම එහි වූ බැදීම් වලින් සැදි මනෝභාවයන් අතර දෝලනය වෙමින් ඉදිරියට ඇදේ.හැත්තෑව දශකයේ දී (විශේෂයෙන් එහි මුල භාගය) පවා නොයිඳුල් ග්‍රාමිය පරිසරයක් අප රටේ බොහෝ පළාත් වල තිබූ බව අතිශෝක්තියක් නොවේ. එයින් අදහස් වන්නේ හුදෙක් භෞතික පරිසරය නොව අව්‍යාජ බැඳීම් වලින් යුතු, බොල් පුරුශාර්ථ වලින් තොර සමාජීය වටපිටාවක් යන්නය. මේ පිළිබඳව තව දුරටත් විමසා බලමු

 

“හිත දුවයි ඈත වන්නියට........

කොණ්ඩ කිරා රං කිරා මාටින්

අඳයට කුඹුරු කරන

ණය ගැතියි උන්ගේ දහඩියට

 

ගමෙන් නගරයට එන මානවයකුගේ මනෝභාවයන් කවියා ආනන්ද බෝඩිම හරහා දිගහැර දක්වයි.

           

“ බැමිණිටියා සාය

එකළ මුළු මරදානට

            ඇවිදින ඇටසැකිලි

            තාප්පෙන් පැන ඇවිත්

            එබිකම් කරයි

            සශ්‍රික බත්මුල

දන්දී උන්ට

වතුර බොමි

දුකින් මෙන්ම

උන් ගැන

වෛරයෙන්”

 

ගමේ සශ්‍රීකත්වයත් සුන්දරත්වයත් අතරේ නගරයේ කර්කශභාවය මැද පාසලෙහි සරළකම මුසු වුනු උප සංස්කෘතිය හා එයට ආවේණික ප්‍රතාපවත් බවින් කවියා සැනසුමක් ලබයි. එයට දිවයිනේ හතර දිග්බාගයේ සිට පැමිණි සිසුන්ගේ සාම්‍යයසහ බෞද්ධ පරිසරයක් තුළින් ගොඩනැගුණු උප සංස්කෘතිය හේතු වන්නට ඇතැයි සිතමි. 

 

“මරියාකඩේ මැද

            සදාකල් වැජඹෙන

            මහා රන්කොත

            ආනන්දය

 

බෙහෙවින් ආයතනගත වූ පාසල් බෝඩිමෙන් ඉවත් වී නාගරික පරිසරයක බෝඩිමකට යාම එක් අතකින් අවදානමකි. දෙමාපිය ඇසුරින් වෙන්වු තරුණයෙකු හට නිදහස අසීමිත ලෙස ලැබුණු කළ එය සුන්දරත්වය සොයා යාම අරුමයක් නොවේ. එහෙත් සුන්දරත්වය විඳීමේ මාර්ග තෝරා ගැනීම සිදුවන්නේ අපේ සිතුවිලි හා වටපිටාව සමග ඇති කරන ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙසය. කවියා මේ දේවල් වලින් හෙම්බත්වී ඇති සේය.

 

“බෝඩිමේ                     ගැමුණුට

මලක් එතිලා                  හිත යට

තබා පොත                    ඇඳ යට

සිනාසෙයි බෝඩිමේ        වහලෙට

 

කවියාට විඳින්නට ලැබෙන අත්දැකීම් සුන්දර ඒවා නොවේ. මේ හැලහැප්පීම් අතරේ ආර්ථිකය විවෘත වීම පිළිබඳව කවියා සංවේදී වේ. විවෘත ආර්ථිකය නමැති අරුමෝසම් හීනය මිනිසුන්ගේ සිත් වසඟයට ගනී. වානිජ ආර්ථිකය ඉදිරියේ දියවී යන පුරුෂාර්ථ කවියා ඇස් පනා පිට දකී.

 

“වෙළෙන්දන් ළඟ

මිනිස්සු පොරකති

මිලදී ගන්නට නොව

මිලදී ගත හැකි දැයි බලන්නට”

 

“ නරඹා එක එක             විසිතුරු

   හරවා හිත උඩු                         යටිකුරු

   කළු කපුටා සුදු වන            තුරු

   කාසි සොයති එළිවන         තුරු”

 

මේ අතරේ 83 ජූලි කලබල වලින් ඇවිළුනු කොළඹ, කවියාගේ හද සසළ කරවයි. ජාතිවාදය හමුවේ මානූෂීයකම් දියවී යන දෙස කවියා බලන්නේ දොම්නසිනි.

 

“............

පුතා යැයි අමතා

හිස අතගා බේත් දුන්

ශිවනාදන් දොස්තර

වැටී සිටියා කානුවක් ළඟ

කවන්ධයක් ලෙස”

 

එහෙත් ලෝක ධර්මය නම් එක් සන්තාපයකින් බොහෝවිට අපේ තවත් සංතාපයක් තුනී වීමයි.

 

“විජිතා නොලැබුණු දුක

මොහොතකට තුනී වී

කියාගන්නට බැරි

මහා දුකක් ඇති විය.”

 

එතැන් සිට ලෝකය වෙනස් විය.

 

ජීවිතයේ සනාතන ධර්ම කාටත් පොදුය. මවගේ වියෝව ඔහුට තනිකමක් ගෙන එයි. තනිකමකදී සිතුවිලි දිවයන්නේ හදවතට සමීප ළබැඳීයාවන් වෙතය.  

 

“විජිතා ඔයා මා ළඟ හිටියා නම්

මගේ හිත හදා ගන්න තිබුණා”

 

කලබැගෑනි එන්නේ එකක් පසු පස එකක් එන්නාක් මෙනි. ජාතිවාදී කලබල වලින් ඇවිලුණු කොළඹ පසුව ත්‍රස්තවාදී බෝම්බ බියෙන් ඇලලී යයි. එය පාරාවලල්ලකි. ත්‍රස්තවාදයේ කුරිරුබව කවියා විදහා දක්වන්නේ අප හදවත් සසල කරමිනි.

 

“පිටකොටුවේ බෝ ගහ යට ලොතරැයි මල්ලී

වාසනාව ඇති හැමටම බෙදුවා      සල්ලී

අකුණු හඬක් නැඟුණා පිටකොටුවම හෙල්ලී

නුඹේ කැබලි තිබුණා බෝ අතුවල එල්ලී”

 

 

මේ අතරේ කවියා සරසවියගේ ඇසුරට එක්වේ. එකළ එනම් අසූව දශකයේ සරසවි සිසු සටන්,  තැන තැන මරණය පෙනෙන අඳුරු කාලපරිච්ඡේද අතරින් කවියාගේ ජීවිතයට සොඳුරුබවක් ගෙන එන්නේ ආදරයයි. ජීවිතයට මෙසේ මුහුනදෙන අතරම සමාජය හරිමගට ගැනීම සදහා වීදියට බසිමින් කලාව යොදාගැනීමේ උත්සාහයක ද ඔහු නිරතවේ. එහෙත් ප්‍රථිඵලය කුමක්ද?

“ගයමින් ගී

උගුර ලේ රහවනගුරු

වීදියේ රැඟුවෙමි

ලෝකය අප හිතූ පරිදි වෙනස් නොවී

එලෙසම පැවතිණි”

 

සරසවියෙන් සමාජයට පිවිසෙමින් ජීවිතවල දෙබිඩිකම්,දේශපාලන රැවටීම්, කුහකකම් වලින් හෙම්බත් වී සිටින විට කලාවෙන් එයට යම් අස්වැසිල්ලක් ලැබේ යැයි විශ්වාසයක් ඇතිවේ. ඒ අතරතුර කවියාගේ අත්දැකීම් තවදුරටත් සමාජයේ විවිධ පැතිකඩ හරහා දිවෙයි. ඒවා සියල්ල කතුවරයා යම් තීර්ථ යාත්‍රාවකට අවතීර්ණ කරවන බව පෙනේ.

 

මේ සියළු හැලහැප්පීම්, සම්ප්‍රයෝග විප්පයොග අතරින් ජීවිතය ඉදිරියට ඇදේ. එය යන්නන් වාලේ යන්නට නොදී කවියා ඒ පිළිබදව සවිඥානික වේ. යෞවනය මෙන්ම විවාහ ජීවිතයද අභියෝග වලින් තොර නොවේ. එහෙත් ජීවිතය ඉදිරියට යා යුතුය. කවියා එය ඉදිරිපත් කරන්නේ අපූරු යෙදුමකිනි.

            “මායි යසෝමයි

            වැල්ලෙ මාලිගා හැදුවා

තාමත් පොළී ගෙවනවා

ඒ මාළිගා වලට

 

ජීවිතයේ පසු අවස්ථාවලදීත් අපකී පරමාදර්ශීය පුද්ගල සම්බන්ධතාවයන් - ආදරය තබා ගන්නට වටපිටාව අපට ඉඩ සලසයිද?

 

“අර ඈත කන්ද දුරින් තිබෙන

හින්දයි ලස්සන

පුරහඳට වුණත් ළං වුනාම

කෝ ඒ ලස්සන

 

සමාජ-ආර්ථික තත්ත්වයන් විසින් කුළුගන්වන, පුහු පුරුෂාර්ථ පසුපස දුවන මිනිසුන් විසින් ජීවිතයේ අරුත වෙනස්ම තැනකට ගෙනයමින් සිටී.

 

“සංගීත පිට්ටනියක

විසිකළ කොන්ඩෝමයක

ආදරේ ගැබ්බරව සිටින විට

රේඩියෝ චැනල් එකකට

එක රැයින්

ආදරේ ප්‍රසූත කළ හැකිය”

 

මේ තොරතෝංචියක් නොමැති හැලහැප්පීම් වලින් වියුක්තව ලෝකය දැකීමට කවියා සමතෙකි. එකිනෙකා පරයා දිවයන ආර්ථික මාරුතයට අසුවී සුනු විසුනු වී යන මානුසික සබඳතා ගැන කවියා විටින් විට අපට මතක් කර දෙයි.

 

“...............................

අධිවේගි මාර්ගයක ඇරඹුමෙහි

යායුතු අතක් නොදැන මං මුළාව බලා සිටිමි

සංඥා එළි දල්වන

මේ වාහන වලට

හදවත් ඇත

මෙහි යන බොහෝ මිනිසුන්ට

හදවත් නැත

...............”

 

කාව්‍ය සංග්‍රහය පුරාම කවියා ගේ බස හැසිරවීමේදීත් ඇසූපිරූ තැන් සහ පොත් පත් ඇතුළු විවිධ මූලාශ්‍ර හරහා උකහා ගත් උපමා උපමේය යොදා ගැනීමේ දක්වන හැකියාව පාඨකයාගේ සිත් බැඳ ගනී. කතුවරයාගේ ජීවන දෘෂ්ඨිය ඉන්ද්‍රකීලයක් සේ සිහින සක්මන පුරාම යටින් දිවේ. කාව්‍ය සංග්‍රහය පුරාම උපුටා දැක්විය යුතු තවත් බොහෝ අපූරු කවි වෙතත් ලිපිය දිගු වීම වැලැක්වීමේ අරමුණින් ඒවා තවදුරටත් කියවීම පාඨකයාට බාර කරමි.

 

අප රටේ සමාජ ආර්ථික ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කිහිපයක් සිහින සක්මනට විෂය වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. තරුණ නැගිටීම්, ආර්ථික පෙරලි, ත්‍රස්තවාදී කලබල ආදී විවිධ සිදුවීම් කෙතරම් වේගවත්ව සිදුවී ද යත් එම ප්‍රවාහය තුළ ගසාගෙන යනවා හැරෙන්නට ඒ පිළිබදව විචාර බුද්ධියකින් සිතන්නට තබා හැරී බලන්නටත් කාලයක් අපට ඉතුරු කර නැති සේය. එම සිද්ධි අත්විඳින්නට වීම භාග්‍යයක් ද නැති නම් අභාග්‍යයක් දැයි අපෙන් පෙරළා අසන්නට අපේ මනස යොමු කිරීමට මෙම කෘතිය සමත් වන බව සිතමි.     

 

වත්මන් පරපුරෙහි රසාස්වාදය යම් තරමින් පිරිහී ඇත්නම් එයට ප්‍රධාන හේතුව එම පරපුරෙහි භාෂා දැනීම පිරිහීම බව විශ්වාස කරමි. මුනිදාස කුමාරතුංග පඬිවරයා පෙන්වා දී ඇති පරිදි සහජ ශක්තීන්ගෙන් හා නීතිරීති වලින් තොර භාෂාවක් නිරූපනය කරන්නේ දුර්වල ජාතියකි. ජාතියක් ශිෂ්ඨසම්පන්න වීමට නම් භාෂාව ශිෂ්ඨසම්පන්න විය යුතුය. ඒ අනුව සාමාජික ආර්ථික ජනජීවිතයේ සියළු අංග හා භාෂාව තදින් බැඳී පවතින බව කිව හැකිය. කලාව පිරිහුණු කල, මානවයා එයින් ඈත්වූ තරමට මනෝභාවයන් පිරිහීමට කටයුතු යෙදේ ඒ හරහා මානව සබඳතා පිරිහීම නොවැලැක්විය හැකි වනු ඇත. සංවර්ධනය යැයි සිතා අප දිවයන ගමන අවසානයේ එහි ප්‍රතිලාභ විඳින්නට මනුෂ්‍යයකු ඉතිරි නොවනු ඇත. සිහින සක්මන මාන කිහිපයක් ඔස්සේ අපට පසක් කරන සත්‍යය එයයි.

 

 

සිරිකුමාර ගුණසිංහ

අතිරේක ලේකම්,

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

2020 පෙබරවාරි

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...