Friday, January 10, 2014

ගලපිට

අවුරුදු කීපයකට පෙර මම රාජකාරි කරපු දෙපාර්තමේන්තුවේ මට පැවරී තිබුණු එක් රාජකාරියක් තමයි ප‍්‍රාදේශීය මට්ටමේ සැලසුම් ක‍්‍රමවේද ශක්තිමත් කිරීම. ඒ සඳහා අපට විදේශ විශේෂඥ සහයත් ලැබුණා. ඒ එක්සත් ජාතීන් හරහා. නියමු ව්‍යාපෘතියක් හැටියට මෙය අපි ඇරඹුවේ මොණරාගලින්. මේ හේතුවෙන් අපට කොළඹ සිට මොණරාගලට නිතර යන්නත් සිද්ධ වුණා. ඉන්දියානු ජාතිකයෙක්, තායිලන්ත ජාතිකයෙක් සහ අපේ කණ්ඩායමේ එකම කාන්තාව වූ ඉතාලියානු ජාතික අලෙක්සන්ද්‍රාත් තවත් ලංකාවේ සගයෙකුත් සමග මම අපේ කණ්ඩායම වුණා. එදිනෙදා කාර්යාලීය රාජකාරී වලින් බැහැරව මෙවැනි ගමනක් යන්න ලැබෙන්නේ හාවා හඳ දැක්කා වගේ කලාතුරකින්. ඒ හන්දා  මේ ගමනට අපි සහභාගීවුනේ සංතෝෂයෙන්.


මේ ගමන් වලදී අප නිතරම වාගේ නවාතැන් ගත්තේ එක්කෝ කතරගමට කිට්ටු ගලපිට නැත්නම් ඇල්ලේ ඇම්බියන්තේ හිදී. මේ ස්ථාන දෙකම අපේ ඉතාලියානු ජාතික යෙහෙළියගේ තේරීම්. ගලපිට කියන්නේ මැණික් ගඟ අයිනේ පිහිටා තිබෙන එකෝ රිසෝට් එකක්. විදුලි බල්බ වෙනුවට විලක්කු පත්තු කරලා කාමර වෙනුවට ගල් පොත්ත උඩ මෙට්ටයක් දමා එය වටේට හදපු පැල් කොටයක නිදා ගන්න තිබුණේ. නාන කාමර වල වතුර මල් සවි කරළා තිබුණේ ගසකට වගේම ඒවාට වහලයක් තිබුණේ නැහැ. සූර්ය බලයෙන් ක‍්‍රියා කරපු ශීතකරණයෙන් ශීතල පෙණ දමන බීර නම් ලැබුණා. අපි එහි මධ්‍යම රාත‍්‍රිය වෙනකම් කතා කරමින් සිටියා මතකයි. අපේ කණ්ඩායමේ සියලු දෙනා බොහොම නිදහස් අදහස් තිබුණු අය. නිශ්චල අවට පරිසරය තුළින් මැණික් ගඟ ලතාවකට ගලන ශබ්දය හොඳින් අහන්න පුළුවන්. ඉඳ හිට අපට නුහුරු, වන සතුන්ගේ හඬද අසන්නට ලැබුණා. ඝන අර මැද දැල්වුණු විලක්කු එළියෙන් අලෙක්සන්ද්‍රාගේ වත දිස්වුණේ රන්වන් පාටට. මීවිතත් සමග මිශ‍්‍ර වූ විට එතැන මැවුණු වටපිටාව වඩාත් තරුණ කාලෙදී නම් වෙනත් ඉසව්වකට මා රැගෙන යන්නට සමත්.   

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...