Monday, April 21, 2014

ටැක්සි ඇල්ලීම

කාලෙකට පස්සෙ රුසියාවේ කතාවක් ලියන්න හිතුනා. මගේ නිම්වළලු පොතේ එළිදැක්වීමේ උළෙලට පැමිණි අපේ ‍සුමනපාල සර් සහ සරත් වික්‍රමරත්න මහතා යන සහෘදයින් විසින් මගේ ලිවීමේ ශෛලිය පිළිබ‍ඳව ඔවුන්ගේ අදහස් දක්වන ගමන් ඔවුන් විසින් එළිදක්වපු සගරාවක් මා අතට පත් කළා. ඒ 1974 පේරාදෙණියේ ශාස්ත්‍ර පිඨයේ විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාංවත්සරික සගරාවක්. එක පැත්තකින් කාලයක් තිස්සේ නොනවත්වා ඒ වගේ එකමුතුවක් පවත්වාගෙන යන එක අගය කරන්න ඕනා. එහි ලිපි කිහිපයක්ම වෙන්වී තිබුණේ විශ්ව විද්‍යාලය පිළිබ ඔවුන්ගේ අතීතාවර්ජනා වලට. ඒවා අතර ඉතා රසවත් වගේම දෙපාරක් හිතන්න අප යොමුකරන කතා කිහිපයක්ම තිබුණා. උස්තාද් ‍ඩේවිඩ් පොඩි අප්පුහාමි පිළිබව සරත් වික්‍රමරත්න මහතා ලියා ඇති කතාව එයට උදාහරණයක්. ඊට අමතරව ඔවුන්ගේ තරුණ කාලයේ සුන්දර අත්දැකීම් බොහොමයක් එහි ඇතුලත්.
ඒත් එක්කම මට මතක් වුණු සිද්දියක් මේක. රුසියාවේ හිටපු කාලේ නගරයට තරමක් ඈතින් තිබුණු අපේ විශ්ව විද්‍යාලේ සිට අපි යහළුවන් හතර දෙනෙකු වරක් ගියා නගරයේ සිටි යහළුවකුගේ සාදයකට සහභාගී වන්නට. සාදය බොහොම සරුවට ගිය හන්දා අපට උන්හිටි තැන් පවා අමතක වී ගියා. රෑ දෙකට  පමණ සාදයට පැමිණි සියල්ලන් පාහේ විසිර යන කොට තමයි අපට මතක් වුණේ ආපසු නේවාසිකාගාරයට යායුතු බව. ඒ වන විට උමං දුම්රිය හා බස් සේවාවල අන්තිම සේවා වාරත් අවසන් වී ගොස්. ශිත සෘතුවේ දැඩිබව හන්දා එළිමහනට ගියාම අප තරමක් සාමාන්‍ය තත්ත්වයට පත්වුනත් සමාන්‍ය පරිදි ඇවිදින්නට අප හතර දෙනා ගත් උත්සාහය එතරම් සාර්ථක වුණේ නැහැ. අපේ වාසනාවට පාරේ යන කෙනෙක් හමුවුනේ බොහොම කළාතුරකින් වගේම එහෙම හමුවූ අය සියළු දෙනාමත් හිටපු තත්ත්වය අපට වඩා වෙනස් වුණේ නැහැ.
කොහොම හරි අමාරුවෙන් මහ පාරට ඇවිල්ලා ටැක්සියක් අල්ලා ගන්නට අපි උත්සාහ කළා. පැය බාගයකට වඩා උත්සාහ කළත් අපට ටැක්සියක් අල්ලා ගන්නට පුළුවන් වුණේ නැහැ. ටැක්සි එකක්වත් නවත්වා ගන්නවත් අපට පුළුවන් වුණේ නැති හන්දා වඩාත් ආක්‍රමණශීලිව වැඩේට බහින්නට අපට සිදුවුණා. එනම් පාර අයිනේ සිට අත වනනවා වෙනුවට මදක් පාර මැදට පැන එන වාහන නවත්වා ගැනීමයි. (පාරෙ යන කාර් වගේ වාහනත් එම වාහන හිමියන්ගේ කැමැත්ත මත ගණන් කතා  කරගෙන මගීන් ගෙන ගියා.)  අන්තිමේදි අපට බලෙන්ම වගේ වාහනයක් නතර කර ගන්නට ලැබුණා. අපි ජයග්‍රාහී ලෙස වාහනයට ගොඩවෙන්නට ආවත් රියදුරු තැන අපට බැනවැදුනා උඔලගේ ඇස් පොට්ට වෙලාදැයි අසමින්. බැලින්නම් අප නවත්වා තිබුණේ ආබාධිතයින් සදහා විශේෂයෙන් හදා තියෙන දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි වාහනයක්. එහි සිටියේ ආබාධිත රියදුරාත් ඔහුගේ බිරිදත්. නැවතත් බළාපොරොත්තු සුන්වුනත් අපි උත්සාහය අතහැරියේ නැහැ. නැවත වාහන නවත්වන විට ඒවා ආබාධිත වාහන නොවන බවට අපි වග බලාගත්තා. අපි ඊළගට නවත්තා ගත් වාහනයේ අය එයින් එලියට බහින්නට සූදානම් වන විට අපට තරු පෙණුනා. ඒ පාර අප නවත්වා තිබුණේ පොලිස් කාරයක්. අපි පන එපා කියලා දුවන්න පටන් ගත්තත් ඔවුන් පැමිණ අප නවත්තා ගත්තා. අපි සමග සිටි ඉන්දියන් සගයා ඉන්දියන් ඉතිහාසය, සිනමාව, සංස්කෘතිය ඇතුළු දන්න ශිල්ප ඔක්කොම දාලා නොයෙකුත් කතා කියා අප පොලිස් කූඩුවට ගෙන යන එකින් බේරා ගත්තා. කොහොම හරි අන්තිමට දුම්වැටි පවා හුවමාරු කරගන්නා මට්ටමට අප මිතුරු වුණා. අවාසනාවට අපි ගාව ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. කොහොම හරි අපි ආපසු නේවාසිකාගාරයට එන කොට වටින් ගොඩින් එළිය වැටිලා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...