Sunday, January 21, 2018

රිදී තිරය



අපි සමහර වෙලාවට කැමතියි ජීවිතේ ගලා යන දිහා මොහොතක් හැරිලා බලන්න. ඉස්සර නම් සමහර වෙලාවට මගේ නිම් වළලු පොතේ කතාවක් වුනත් කියවන්න පෙළඹුණා. ඒත් බොහොම කාලෙකින් එහෙම කරන්න ලැබුණේ නැහැ. සමහර වෙලාවට අළුතින් හෝ දෙවන වරට පොත කියවූ පාඨකයෙක් මට කතා කරළා මොනවා හරි කියනවා. ඒත අළුත් පාඨකයෝ එයට එකතු වෙන්න තියන ඉඩ අඩුවෙලා තියෙන ප්‍රධාන කාරණය නම් ඒ පොත දැන් out of print වෙලා තිබීම. ගොඩගේ පොත් හලේ හෝ කොළඹ පොත් ප්‍රදර්ශණයේ පොත් රාක්කයක තමන්ගේ පොතක් තියෙනවා දැකීම අමුතු අත්දැකීමක් වුණා. දැන් නම් ගොඩගේ එකට ගියත් පොත් රාක්ක පීරා එහෙම බලන්න උවමනාවක් ඇති වන්නේ නැහැ. සමහර විට අළුත් පාර පොත රාක්ක වල තාම ඇති. මේ අවුරුද්දේ බ්ලොග් එකට පළමු සටහන ලියන වෙලාවේ මම නැවත පරන ලියැවිලි හරහා බැල්මක් බැලුවා. ඒත් දිගට කියවන්න තරම් ආශාවක් නැහැ. කොහොම වුනත් 2013 පටන් ගත්ත ලියවිල්ල අවුරුදු කිහිපයක් තිස්සේ ගියා. සෑහෙන කාලයක්.  පරණ ලියවිලි කියවපුහම සිතිවිලි වල කාලය හරහා සිදුවන වෙනස්කම් පෙනෙනවා. මගේ ලියවිල්ල ඉස්සරට වඩා යාන්ත්‍රීකරනය වී ගෙන යන බවක් තමයි මට තේරුණේ. ඒ කියන්නේ කලාත්මක බවෙන් ඈත්වෙලා වාර්තාකරනයට යන ස්වරූපයක්. එහෙම වන්න එක හේතුවක් නම් ජීවිතයට ඉතා ලඟ අප අවට සිටින පුද්ගලයින් යාන්ත්‍රීකරණය වී ගෙන යන කොට අනෙකාත් ඒකට අනුගත වෙනවා. කොහොම බැලුවත් ජීවිතයේ එක් එක් අවධි වලදී අප හිතන පතන විදිහ වෙනස් වනවා. අනෙක් පැත්තෙන් අපගේ රාජකාරි තත්ත්වයන්, ගෙදර වගකීම් පිළිබඳ තත්ත්වයන් එක්ක අපට එක විදිහට ඉන්න බැරි වනවා.

කාලෙකට පස්සෙ රිදී තිරයේ චිත්‍රපටයක් බැලුවා. පසුගිය දවසක පාන්දර 4 ට පමණ මම පිටරට සිටින හිතමිතුරකුට ටෙලිපෝනයෙන් කතා කළා. ඒ වෙනකොට එරටට දිවාකාලය උදා වෙලා. ඒ වෙලාවෙත් කාර්යාලයේ සිටීම ගැන මට දොස් අහන්නත් සිදු වුණා. ඊට වඩා වැදගත් ප්‍රශ්ණය තමයි ගෙදර සියළු දෙනාත් එක්ක නාට්‍යක් චිත්‍රපටයක් අන්තිමට බලන්න ගියේ කවද්ද කියා ඇසුව එක. ඇත්තටම බොහෝ සංගීත සංදර්ශණ, නාට්‍ය, කතිකාවන් ආදියට සහභාගි වුනත් අපි හතර දෙනාම එකට ගිය දවසක් බොහෝ කාලයකින් එළඹුනේ නැහැ. ඊයේ අපි බැලුවේ A ලෙවල් කියන චිත්‍රපටය. තවමත් අපි නම් දන්නේ නැති අධ්‍යක්ෂක වරයෙකුගේ ආධුනික නළු නිලියන් බොහෝ දෙනෙක් එක්ක හදලා තිබුණු මේ චිත්‍රපටය.  සෑහෙන තරම් හොඳ මට්ටමක තිබුණා. ඊට අමතරව කළුතර චිත්‍රපට හොල් එකේ පරන බයිස්කොප් සම්ප්‍රදායවල් පවත්වා ගෙන යාමත් විශේෂයි. ජෝති-ඇන්ජි ගයපු අති ජනප්‍රිය ගීත, රටකජු, ආදී එදා තිබුණු සියළුම අංග පාහේ මෙහි තිබුණා. සිගරට් දුම නම් තිබුණේ නැහැ. කොළඹ හෝල් වල වගේ වායු සමනය සහ අති නවීන ශබ්ද උපකරණ නැති හන්දා ටිකට් එකත් ලාබයි. බැල්කනි ටිකට් එකක් රුපියල් 250 යි. ඉදිරිපෙල (ගැලරිය) රුපියල් 50 යි. සාපේක්ෂව බැලුවොත් කොළඹ බැල්කනි ටිකට් එකක් රුපියල් 750 ක් වත් වෙනවා. ඒ කෙසේ වෙතත් චිත්‍රපටය බලන්න ඇවිල්ලා හිටිය ප්‍රමාණය කලකිරෙන සුළුයි. 50 දෙනෙක් ඇවිල්ලා සිටියා කිව්වොත් ඒක බොරුවක්. බැල්කනියේ හිටියේ අපත් ඇතුලුව 9 දෙනයි. චිත්‍රපට හොඳ මට්ටමක තිබුණත් විනෝදාංශයක් වශයෙන් චිත්‍රපට බලන්න එන්න ඉස්පාසුවක් මිනිස්සුන්ට නැහැ වගේ. අපි ගියේ රාත්‍රී 7 දර්ශනයට ඒත් ඊට කලින් ඉවර වුණු හවස 4 දර්ශනයට 25 ස් දෙනෙක් වත් හිටියේ නැහැ. ඒ හන්දා ප්‍රවාහන ප්‍රශ්ණය මේකට බලපා නැති බව පෙනෙනවා. මිනිස්සු විනොදාංශ වශයෙන් මොනවාද කරන්නේ කියන එක ගැන අධ්‍යනය කරන්න අවශ්‍යයි. ඒ හරහා සුදුසු සීරුමාරුකම් කරන්න පුළුවන් වෙයි. කලාව ආශ්‍රිත කර්මාන්ත වගේම ජීවනෝපායන් වැඩිදියුණු කිරීමටත් ඒක හේතු වනවා. එහෙම නැතුව කලාව හෝදාපාලු වෙලා, සහ ස්වර්ණමය යුගය නැවත එන්නේ නැහැ කියමින් සිටීමෙන් කාටවත් වැඩක් වන්නේ නැහැ.


පසුගිය සතියේ හේතුවාදී සංගමයේ සාකච්ඡාවක් ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වුණා. අපේ පන්සලේ හාමුදුරුවන් එයට සම්පත් දායකයකු ලෙස සහභාගී වන බව පුවත්පතේ සඳහන් වූ නිසා එයට සහභාගී වන්න හිතුවා. වැඩසටහන හවස 4 ට පටන් ගත්තත් රාජකාරි ඉවර වෙලා එතනට යන කොට 6.30 යි. ඒ වෙනකොට දේශන ඉවර වෙලා ප්‍රශ්ණ ඇසිමේ වාරය පටන් අරගෙන. එහි හොඳ පැත්ත නම් මහළු මැදි වියේ සහ තරුණ ආදී සියළුම වයස් කාණ්ඩ වල අය සහභාගී වී සිටීම. නරක පැත්ත නම් ප්‍රශ්ණ ඇසීම ඉතා ඉක්මනින් රන්ඩුවක් බවටපත්වීම. අපේ රටේ විවාදාත්මක මාතෘකාවක් කතා කරන්න ගිය බොහෝ වෙලාවට එය ඉවර වෙන්නේ රන්ඩුවකින් තමා. ඒ හන්දා හාමුදරුවන් සමගම ඉක්මනින් ගෙදර එන ගමන් පන්සලටත් ගොඩවැදී ආවා. අතරමගදි මේ මාතෘකාව සහ වෙනත් දේ ගැන බෙහෝ දේ කතා කරන්න ඉඩ ලැබුණා.  

Sunday, January 7, 2018

සීතල දුරුත්ත

අළුත් අවුරුද්දක් ඇරඹුණා. කාර්යාලයේ බොහෝ දෙනෙක් අළුත් ඇඳුම් වලින් සැරසිලා පළමු දිනයේ වැඩට ආවා. කැවුම් කිරිබත් මේසයක් ඇරලා තිබුණා. අළුත් වැඩක් ආරම්භ කරන කොට කිරිබත් උයන චාරිත්‍ර දැන් දැන් ටික අමතක වී ගෙන යනවා. ඒත් පරන පුරුදු කම් හන්දා ලුණු මිරිසක් සමග කිරිබත් කෑල්ලක් දැක්කහම නොකා බැරි වෙනවා. ඒත් ලුණු මිරිසක් නම් රතුලූනු සමග උම්බලකඩ යොදා දෙහි මිරිකා හදා ගත්ත එකක් නොවුනොත් එහි රසයක් නැහැ. බෙහෝවිට හම්බවෙන්නේ මේවාට අදේශක යොදා සකස් කරගත් ලුණුමිරිස්. අනුරාධපුරයේ රාජකාරී කරපු කාලයේ නම් ජනවාරියේ වැඩ පටන් ගන්න කළින් උඩමළුවට ගිහින් සිරිමාබෝධීන් වහන්සේ වන්දනා කරළා එන එක සිරිතක්. මේ හැම එකකින්ම බළාපොරොත්තු වන්නේ අළුත් සහ හොඳ පුරුදුඑක් කර ගැනීමත් නරක පුරුදු ඇත්නම් ඒවා ඉවත දැමීමත්. ඒත් ඒ හැඟීම පවත්වාගෙන යාම අමාරුයි. ඉක්මනින් පරන පුරුදු වලට නැවත එන ප්‍රවනතාව වැඩියි.

පසුගිය දිනවල කිහිප වතාවක් කුලියාපිටියට යන්න සිදුවුණා. මීට පෙර කිහිපවතාවක් රාජකාරී සදහා කුලියාපිටියට යන්න ලැබුණා. ඒත් කුලියාපිටිය අවට සිටි පාසල් මිත්‍රයින් හමු වන්නට ලැබුණේ මේ වතාවේ. සමහරෙක් හමුවුණේ දශක දෙකකට වඩා පස්සේ. කුලියාපිටියේ, සඳලංකාවේ, කොටදෙනියාවේ ගිරිඋල්ල ආදී ගම් නගර වලින් ආපු සෑහෙන සිසුන් පිරිසක් නේවාසිකාගාරයේ සිටියා. වියලි කලාපය අද්දර පිහිටි කුලියාපිටියේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් ලෙස පොල් වගාව හඳුන්වන්නට පුළුවන්. සෑහෙන කාලයකින් වැසි වැටී නොමැති හන්දා පොල් පලදාව අඩුවී ඇති බව කියවුණා. ලංකාවේ මුල්ම ශිෂ්ඨාචාර ආරම්භයක් ලෙස සැලකෙන පඬුවස් නුවර ඇත්තේත් මෙම ප්‍රෙද්ශයට ආසන්නව.

මේ දිනවල උදෑසන දැඩි ශීතලක් සහ මීදුම පවතිනවා. නුවරඑළියේ උෂ්නත්වය +4 ක් වූ බව සහ තුහින වැටුනු බව අද වාර්තා වුණා. පසුගිය සතියේ මට කතා කරපු යුක්රේනයේ සිටින හිතමිත්‍රෙයක් කීවේ ශීත කාලය වුනත් හිම වැටී නැති බව සහ වැස්ස වැටීම නිසා පරිසරයම මඩවී ඇති බව. ශීත සෘතුව ඉවර වෙලා වසන්තය පටන් ගන්න විට එවැනි වටපිටාවක් ඇති වුණු අවස්ථා මතකයේ තියෙනවා. ශීත සෘතුවක් නම් හිම වැටෙන්නේ නැත්නම් අධික ශීතලක් නැත්නම් එය නියම ශීත කාලයක් වන්නේ නැහැ. උත්තර අර්ධ ගෝලයේ නම් අළුත් අවුරුද්දි ශීත සෘතුවයි එකට බැඳී බවතින්නේ. ඇමෙරිකාවේ උෂ්නත්වය වාර්තාගත ලෙස ඉතා පහල ගොස් ඇති බව ප්‍රවෘත්ති වල කියනු ඇසුනා.


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...