Sunday, June 17, 2018

අහඹු සිතුවිලි



රාමසාන් හන්දා පසුගිය සිකුරාදා රජයේ නිවාඩු. එදා ගොම්මන් වෙලාවේදී බටහිර අහස දිහා බැලුවහම සඳ පලුව තනිතරුව හොඳින් දැකගන්නට ලැබුණා. වෙසක් පෝයට පුන් සඳ පෑයුවාම බෞද්ධයින්ට දැනෙන හැඟීමට සමාන හැඟීමක් ඒ අහස දැක්කහම මුස්ලිම් භක්තිකයන්ටත් දැනෙනවා ඇති.

ඊයේ පෙරේදා දවසක මගේ නිම්වළලු පොතේ එළි දැක්වීමට ආපු මගේ හිත මිතුරෙකු නැවත මතක් කළ කරුණක් ලියන්නට හිතුණා. එළි දැක්වීම අතරතුරෙදී පොතේ පිටු හරහා කියවීමට පස්සේ යාළුවෝ කීපදෙනෙක් කතා කළාලු මේ වගේ හෝ ඊට වඩා හොඳ කයි කතන්දර නම් දහස් ගණනක් ඒ ගොල්ලන්ට කියන්නට පුළුවන් නේද කියා. ඒත් පොත ගෙදර ගිහින් පැත්තක දාලා තියෙන කොට ඒ අතට අරගෙන කියවපු වෙනත් කිහිප දෙනෙක් කිව්වලු පොතේ කතුවරයා හමුවෙලා කත කරන්න කැමතියි කියා. මගේ මිත්‍රයා කිව්වේ ඊට පස්සේ තමයි ඔහු පොත සම්පූර්ණයෙන්ම කියෙව්වේ මෙන්ම එදා කතා කරපු කිසිම කෙනෙක් තවම පොතක් ලියන්න හිතුවේ වත් නැහැ කියළා. නිම් වළලු සාර්ථක නිර්මානයක් ද නැත් ද යන්න ගැන මට කල්පනා වෙන්නේ නැහැ. ඔලුවේ තිබුණු දේවල් ටිකක් නිදහසේ පිටට පැන්නා එච්චරයි. මේ ලියවිල්ලත් ඒ වගේම ව්‍යායාමයක්. එවැනි දෙයක් කාලයක් දිගටම පවත්වා ගැනීමත් එක්තරා අභියෝගයක්.

කාලෙකට පස්සේ ඉංග්‍රීසි නවකතාවක් කියවන්න ගත්තා.  Edith Wharton ගේ Ethan Frome ශතවර්ෂයකට පමණ පෙර ලියවුණු කතාවක් වුනත් හදවතට බොහොම කිට්ටුයි. තාම ඉවර නැහැ. දැන් කියවෙන පොත් වල ඇති ප්‍රධානම ගුනය තමයි කෙටි වීම.  ඉස්සර වගේ යුද්ධය හා සාමය හෝ ඇනා කැරනිනා වගේ දීර්ඝ නවකතා දැන් කියවෙනවා අඩුයි. ලඟදී කියවන්න ගත්ත Mo Yan  ගේ  Red Sorghum  කියවීම අතරමග නැවතුනා.
පාසලේ අපි උසස් පෙල ලියපු අවුරුද්දේ සගයන් ගෙන් සැදුනු whatsapp group එකක් තියෙනවා බොහොම ක්‍රියාකාරී. ඒකේ වැඩියම ඉන්නේ පිටරටවල පුරවැසිභාවය ලැබූ සහ දීර්ඝ කාලිනව පිටරට වෙසෙන සගයන්. ඔවුන් දිවා රෑ නොබලා එහි සටහන්, පින්තූර සහ නොයෙකුත් විහිළු දමනවා. හුඟක් වෙලාවට ඒවා කියවීම කම්මැලි සහගත වුනත් හිටපු ගමන් අපට අමතකව ගිය යාළුවන් සහ සිද්ධි මතක් කිරීම වැදගත් දෙයක්. ඒ අතරින් එකක් සඳහන් කලොත් අපේ පාසලට අල්ලපු ඉඩමේ තිබුණු මැක්වුඩ්ස් සමාගමේ ඉඩම් රජයට පවරා ගෙන එහි පාසල් ක්‍රීඩාපිටිය තැනීම සඳහා බිම බුල්ඩොසර කරන වෙලාවේ කෝට්ටේ යුගයට අයත් යැයි සිතිය හැකි කාසි සහිත මුට්ටි ගණනාවක් හමුවීම සඳහන් කරන්නට පුළුවන්. ඒවා නියම පාරේ ගියාද නැත්නම් හොර පාරේ ගියාද කියන එක ගැන අපට එදා අවබෝධයක් තිබුණේ නැහැ. කොහොම වුනත් වැදගත් දෙයක් වන්නේ පාසල පිහිටි පරනවාඩියේ බිම තවත් බොහෝ ඉතිහාස රහස් සඟවා ගෙන සිටිනවා කියන එක.  

Wednesday, June 13, 2018

සංවර්ධනය


මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ රජය සිංගප්පූරුවත් සමග අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම. ඒ සඳහා කෙරෙන විවේචන බොහොමයක් පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු. මීට අමතරව මගේ උගත් මිත්‍රෙයක් කිව්වේ හිටපු මහබැංකු අධිපති සිංගප්පූරු වැසියකු හන්දා ඔහු ගැන එල්ලවී ඇති බැඳුම්කර චෝදනා සලකා බැලුවහම සිංගප්පූරුවත් එක්ක කැත නැතුව වෙළඳ ගිවිසුම් ගහන්නේ කොහොමද කියලා. මේ වගේම මීට පෙර අත්සන් කර ඇති පකිස්තානු සහ ඉන්දියානු ගිවිසුම ගැනත් මේ වගේම නොයෙකුත් චෝදනා එල්ලවී ඇති බව නිලධාරීන් කියනවා. මූලධර්ම වශයෙන් ගත්තහම මෙරට දියුණුවක් ඇති තර ගත හැකි වන්නේ විදේශ වෙළඳාම හරහායි. ඒ සඳහා වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජනත් අවශ්‍යයි. සිංගප්පූරුව අපත් සමග ගිවිසුම්ගත වන්නේ අපට ඇති ආදරයක් නිසා නොවන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොහොම උනත් දැනට ලංකාවේ චීනයත් සමග එකතුවී කරනු ලබන සංවර්ධන කටයුතු හන්දා අනාගතයේදී සිංගප්පූරුවේ අන්තරාල වෙළඳාමට තර්ජනයක් වන බව ඔවුන් සිතනවා ඇති. ඒ හන්දා අපත් සමග ලං වීම වඩා නුවනට හුරු යැයි ඔවුන් සිතනවා වන්න පුළුවන්.

මෑතදී කියවු පැරණි ලියවිල්ලක තිබුණේ එවකට මහවැලි යෝජනා ක්‍රමය ගැන කෙරුනු විවේචන. ලෝක බැංකුව හරහා මහවැලි ප්‍රදේශ ඇමරිකානු බලයට යටත් ප්‍ර දේශ බවට පත් වන බව එයින් කියවුණේ. අදනම් එවැනි විවේචන  විහිළුවක් මට්ටමට වැටෙනවා නියතයි. මෙයින් අදහස් වන්නේ නැහැ ලෝක බැංකුව කරන කියන දේවල් ඉතා නිවැරදියි කියා.

අපේ පුරුද්දක් තමයි අවට ලෝකය දිහා සැකයෙන් පමණක් බැලීම. ඒකට පසුබිම් වන තව කාරනයක් හැටියට මා දකින්නේ ලෝකෙන් උතුම් රට යන හැඟීම. අපේ රට අසම සමයි කියා සිතීම. බොහෝ වෙලාවට අප සැකයෙන් බලන රටවල් හොරකම් දූෂණ සහ ගේම් වලින් ගත්තහම අපට වඩා පිරිසිදු වන්නත් ඉඩ තියෙනවා. ඕනම තත්ත්වයක් යටතේ වුවත් අපේ වාසියට යමක් හරවා ගැනීමට දක්ෂ නොවීම කාගෙවත් නොවේ තමන්ගේ අඩුපාඩුවක් බව අප තේරුම් ගත යුතුයි. ඒකට සිංහලෙන් කියන්නේ නටන්න බැරි මිනිහාට පොළව ඇදයි කියා.

අපි විවෘත ආර්ථිකයට බැන්නා. දැන් නම් බණිනවා අඩුයි. සුද්දියන්ට ජංගි මහනවා කියලා ඇඟළුම් කර්මාන්තයට නිග්‍රහ කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයට බැන්නා. කණ්ඩලම හෝටලයට විරුද්ධව උද්ඝෝෂණ කළා. දැන් මධ්‍යම අධිවේගයට බණිනවා. මේ විදියට හරි හෝ වැරදි දෙයක් හෝ සංගතතාවයක් ඇතිව ක්‍රියාත්මක කිරීමට අපහසු වීමෙන් එම සංකල්ප අවසාන මිම්මෙන් හරිද වැරදිද කියා හො සොයා ගන්නට බැරුව යනවා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...