Wednesday, June 13, 2018

සංවර්ධනය


මේ දිනවල උණුසුම් මාතෘකාවක් වී ඇත්තේ රජය සිංගප්පූරුවත් සමග අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම. ඒ සඳහා කෙරෙන විවේචන බොහොමයක් පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු. මීට අමතරව මගේ උගත් මිත්‍රෙයක් කිව්වේ හිටපු මහබැංකු අධිපති සිංගප්පූරු වැසියකු හන්දා ඔහු ගැන එල්ලවී ඇති බැඳුම්කර චෝදනා සලකා බැලුවහම සිංගප්පූරුවත් එක්ක කැත නැතුව වෙළඳ ගිවිසුම් ගහන්නේ කොහොමද කියලා. මේ වගේම මීට පෙර අත්සන් කර ඇති පකිස්තානු සහ ඉන්දියානු ගිවිසුම ගැනත් මේ වගේම නොයෙකුත් චෝදනා එල්ලවී ඇති බව නිලධාරීන් කියනවා. මූලධර්ම වශයෙන් ගත්තහම මෙරට දියුණුවක් ඇති තර ගත හැකි වන්නේ විදේශ වෙළඳාම හරහායි. ඒ සඳහා වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජනත් අවශ්‍යයි. සිංගප්පූරුව අපත් සමග ගිවිසුම්ගත වන්නේ අපට ඇති ආදරයක් නිසා නොවන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කොහොම උනත් දැනට ලංකාවේ චීනයත් සමග එකතුවී කරනු ලබන සංවර්ධන කටයුතු හන්දා අනාගතයේදී සිංගප්පූරුවේ අන්තරාල වෙළඳාමට තර්ජනයක් වන බව ඔවුන් සිතනවා ඇති. ඒ හන්දා අපත් සමග ලං වීම වඩා නුවනට හුරු යැයි ඔවුන් සිතනවා වන්න පුළුවන්.

මෑතදී කියවු පැරණි ලියවිල්ලක තිබුණේ එවකට මහවැලි යෝජනා ක්‍රමය ගැන කෙරුනු විවේචන. ලෝක බැංකුව හරහා මහවැලි ප්‍රදේශ ඇමරිකානු බලයට යටත් ප්‍ර දේශ බවට පත් වන බව එයින් කියවුණේ. අදනම් එවැනි විවේචන  විහිළුවක් මට්ටමට වැටෙනවා නියතයි. මෙයින් අදහස් වන්නේ නැහැ ලෝක බැංකුව කරන කියන දේවල් ඉතා නිවැරදියි කියා.

අපේ පුරුද්දක් තමයි අවට ලෝකය දිහා සැකයෙන් පමණක් බැලීම. ඒකට පසුබිම් වන තව කාරනයක් හැටියට මා දකින්නේ ලෝකෙන් උතුම් රට යන හැඟීම. අපේ රට අසම සමයි කියා සිතීම. බොහෝ වෙලාවට අප සැකයෙන් බලන රටවල් හොරකම් දූෂණ සහ ගේම් වලින් ගත්තහම අපට වඩා පිරිසිදු වන්නත් ඉඩ තියෙනවා. ඕනම තත්ත්වයක් යටතේ වුවත් අපේ වාසියට යමක් හරවා ගැනීමට දක්ෂ නොවීම කාගෙවත් නොවේ තමන්ගේ අඩුපාඩුවක් බව අප තේරුම් ගත යුතුයි. ඒකට සිංහලෙන් කියන්නේ නටන්න බැරි මිනිහාට පොළව ඇදයි කියා.

අපි විවෘත ආර්ථිකයට බැන්නා. දැන් නම් බණිනවා අඩුයි. සුද්දියන්ට ජංගි මහනවා කියලා ඇඟළුම් කර්මාන්තයට නිග්‍රහ කළා. දක්ෂිණ අධිවේගී මාර්ගයට බැන්නා. කණ්ඩලම හෝටලයට විරුද්ධව උද්ඝෝෂණ කළා. දැන් මධ්‍යම අධිවේගයට බණිනවා. මේ විදියට හරි හෝ වැරදි දෙයක් හෝ සංගතතාවයක් ඇතිව ක්‍රියාත්මක කිරීමට අපහසු වීමෙන් එම සංකල්ප අවසාන මිම්මෙන් හරිද වැරදිද කියා හො සොයා ගන්නට බැරුව යනවා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...