Tuesday, October 9, 2018

සිංගප්පූරුවෙන් අපට පාඩම් උගෙන ගත හැකිද?



නොබෝදා සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම සමග සිංගප්පූරුව ගැන බොහෝ දෙනා කතා කරන බව පෙනේ. බොහෝ කණ්ඩායම් මෙම වෙළඳ ගිවිසුමේ වාසි ආවාසි තක්සේරු කරන්නට පෙළඹී ඇත. මේ අතර භාණ්ඩ වෙළඳාම සහ සේවා වෙළඳාම යන අංශ මෙන්ම තවත් බොහෝ අංශ ගැන කතිකාවන්, විවේචන සිදු කෙරෙන බව පෙනේ. මෙම වෙළඳ ගිවිසුම හරහා ප්‍රධාන වශයෙන් සිංගප්පූරු ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමට මග පෑදෙන බව රජය විසින් පෙන්වා දී ඇත.  

අද සිංගප්පූරුවේ ඒක පුද්ගල නිෂ්පාදිතය ඇ.ඩො.  58000 ක් පමණ වේ. අනෙකුත් බොහෝ සංවර්ධන දර්ශක වලින් සිංගප්පූරුව ලෝකයේ ඉහලම තලයක ඇති බව නොරහසකි. ඉතා කෙටි කලකින් මේ සා විශාල දියුණුවක් ලබා ගත් තවත් ලෝකයේ නැති තරම්ය. එහි පිටුපස ඇති රහස කුමක්ද? සිංගප්පූරුව වර්ග කිලෝමීටර 709 කින් යුතු නගර රාජ්‍යයක් වීමද? එනම් මෙහි ග්‍රාමීය අංශයක් නැත. එසේත් නැත්නම් මානව සම්පත හැරෙන්නට වෙනත් කිසිදු සම්පතක් මෙහි නැතිවීම නිසා අවශ්‍යතාවය (driven by necessity) වැඩිකම හේතුවෙන්  අපේ ව්‍යවහාරයෙන් ගත්කළ නැති වන්නට දෙයක් නැති වීම හේතුවෙන් ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා ඇතිවූ සංවර්ධනයක් ද?  සිංගප්පූරුවේ සංවර්ධනය ගැන කතා කරනවිට අප බොහෝ විට සඳහන් කරන කරුණක් නම් ලී ක්වාන් යූ අගමැතිතුමා වරක් සිංගප්පූරුව දියුණු කිරීමට ලංකාව උදාහරණයට ගත් බවයි. අප අපගේ අතීත ශ්‍රී විභූතිය ගැන ආඩම්බරයෙන් ප්‍රකාශ කරන මෙම ප්‍රකාශයට තවත් කරුණු එකතු කළ යුතුව තිබේ. එනම් සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් පමණක් නොව ලෝකයේ බොහෝ රටවලින් තමන්ට ගැලපෙන දේ ලබා ගන්නට මැලි නොවී ඇකි බවයි.

බොහෝදෙනා  අපේ රටේ ප්‍රතිපත්ති නැති බවට මැසිවිලි නගති. එක අතකට ගත් කළ ප්‍රතිපත්තියක් නැති වීමම ප්‍රතිපත්තියකි. එසේ නම් වරද ඇත්තේ කොතනද? සිංගප්පූරුවේ කියවෙන්නේ ප්‍රතිපත්තිය යනු ක්‍රියාත්මක කිරීමයි ක්‍රියාත්මක කිරීම යනු ප්‍රතිපත්තිය යනුවෙනුයි. එසේ නම් අපේ වරද ඇත්තේ කොහිද? යම් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් කළ එය ක්‍රියාත්මක කරණ සැලසුම පිළියෙල කරනු ලබන්නේ නිලධාරින් නැතහොත් technocrats විසිනි. ඔවුන්හට එය හරිහැටි නොකඩවා ක්‍රියාත්මක කිරීමට තවත් අවශ්‍ය වන්නේ මොනවාද? ආණ්ඩුව මගින් ඒ සදහා නොකඩවා අවශ්‍ය අරමුදල් සම්පාදනය කළ යුතුවේ. ඊටත් වඩා ප්‍රධාන කරුණ වන්නේ ඒ සඳහා නිවැරදි දේශපාලන නායකත්වය ලබා දීමයි.

සිංගප්පූරුව දශක කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය පාලන කාලය තුල හුදෙක් අන්තරාල වෙළඳාම සිදුකරන එනම් ආසියාව තුළ බ්‍රිතාන්‍ය විසින් සිදුකරනු ලැබූ වෙළඳ කටයුතු සදහා සිංගප්පූරුව යොදා ගන්නා ලද බව පැහැදිලිය. (ඒ සදහා ඔවුන් දියුණු වරායක් ඇති කරනු ලැබූහ.) එහෙත් වැසියන්ගේ තත්ත්වය පහත් අඩියක වී ඇත. බෙහෝ අය මුඩුක්කු වල ජීවත් වූහ. බෙහෝ දෙනෙකු පේමන්ට් වෙළෙන්දන් හා බඩු ගබඩා කම්කරුවන් විය. ඒ අනුව නගරය සිංගප්පූරු නදිය දෙපස වර්ධනය වී ඇත. බඩු බෑම පැටවීම ගඟ අවට සිදුකෙරුනු බැවිනි. 1950 -60 දශක වනවිටත් මෙම නදිය සහ අවට අක්‍රමික වර්ධනය හේතුවෙන් ගඟ ඉතා අපවිත්‍ර මට්ටමක පැවතුනි.

කෙසේ වෙතත් ලී ක්වාන් යූ අගමැති තුමා මෙම ගඟ සහ අවට පරිසරය පිරිසිදු කරන්නට තීරණය කර නිලධාරින් හට ඒ සඳහා සැලසුම් සකස් කරන ලෙස දැනුම් දී ඇත. එහිදී ගඟ අපිරිසිදු වන කාරක හඳුනාගැනීමට, ඒවාට ප්‍රතිකර්ම කිරීමට, අදාල ජනතාව නැවත පදිංචි කිරීම ආදී ක්‍රියාකාරකම් රාශියක් සිදු කරන්නට සිදුවී ඇත. එහෙත් වඩා අමාරු කාර්ය නම් මිනිසුන්ගේ එකඟතාවය ලබා ගැනීමයි. එය සම්පුර්ණයෙන්ම දේශපාලන අධිකාරිය විසින් භාර ගන්නා ලදී. මේ සඳහා අවුරුදු දහයක කාලයක් ගතවී ඇත. මෙම ප්‍රෙද්ශයේ තිබූ ප්‍රධාන අපවිත්‍රකාරකයක් වූ ඌරන් ඇති කරන කොටු නවත්වා දැමීම හේතුවෙන් අදාල ප්‍රජාව රජයට විරුද්ධ වූ බව කියන අතර අදටත් එම ප්‍රෙද්ශයෙන් එම පක්ෂයට දිනීමට නොහැකිවී තිබේ. එය එම රජයට නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැවීම නිසා ගෙවන්න වී ඇති දේශපාලන මිළ වේ.
සිංගප්පූරුව විශාල වශයෙන් පරිවර්තනයකට ලක්වූවද දියුණුවට පෙර එහි පැවති සමහර අංග නවතාවයෙන් යුතුව පවත්වාගෙන යාමට රජය දිරි දී ඇති බව පෙනේ. road hawkers ලා වෙනුවට හෝක් සෙන්ටරිස් ඇති කර තිබේත ඒවායේ සාපේක්ෂව අඩු මිළකට ආහාරපානාදිය ලබා ගත හැක.
සිංගප්පූරු රජය ඇති කොට ගෙන ඇති ප්‍රධානම ජයග්‍රහණය නම් මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවීම මෙන්ම වර්ගවාදය තුරන් කොට සමාජ සුසංගතියක් ඇති කර ගැනීමයි. (මතු සම්බන්ධයි)

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...