Tuesday, December 25, 2018

නව දින දසුනක් එනවා






දෙසැම්බර් ගෙවී ගෙන යනවා. කොළඹ ආයිත් පාරක් නත්තල් සැරසිලි. පාන්දරින් නැගිටලා ගෙදරින් එලියට බැස්සොත් ඇඟ කිලිපොලා යන සීතල සුළඟක් විඳින්නට පුළුවන්. උදේ කාලයේදී අවට කුඹුරු මීදුමින් වැසී යන්න පටන් අරන්. පාරේ loudspeaker සද්ද බද්ද ටිකක් වැඩිවෙලා. ඒවා පිටුපස තියෙන්නේ වෙළඳ ප්‍රයෝග.  ඒකෙන් පෙනෙන්නේ අවුරුද්දක් ගෙවී ගිය බව. කොහොම වෙතත් අපේ රටේ සෘතු භේදයක් ලොකුවට බලා ගන්න බැහැනේ. වැසි සමය වුනත් ඉස්සර තිබුණු ක්‍රමාණුකූල බවෙන් ඈත්වෙලා.

වල්පොල රාහුල හාමුදුරුවන් ලියූ සත්‍යෝදය කියන කුඩා පොත මට දුන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්. පෙරලන කොට අහුවෙච්ච පිටුවක තිබුණු දෙයක් මේ. "නුවණින් තොර චාරිත්‍රය කුමක් වුවත් හිස් දෙයකි". උන්වහන්සේ මේක ලියන්නේ භික්ෂූන් වහන්සේලාගේ වස් වැසීම පිලිබඳව. වස් වැසීම අද කාලයේ මෙරටට අවශ්‍ය දෙයක් නොවන බව එහි පෙන්වා දෙනවා. ඊටත් එහා ගියොත් සමහරු බුදුපිළිමයක් වඩම්මවා වස්වස්වනවාලු. මේ පොත සම්පූර්ණයෙන් කියවන්න අවශ්‍යයි. මේ ටික පවා ලියන්න කල්පනා කළේ වස් පිංකම් අද විලාසිතාවක් තරමට ජනප්‍රිය හන්දා. ඒකට ප්‍රධාන හේතුව මම හිතන්නනේ ඒ හරහා සිතූ පැතූ සම්පත් ලැබෙන බව සඳහන් වීම. ධර්මය වෙත ජනයා අද්දවා ගැනීම සඳහා උපක්‍රමයක් හැටියට මෙවැනි පිංකම් සිදු කිරීම සාධාරන බව සිතීම හන්දා මේවට යොමු වන කාන්ඩයක් ද සිටිනවා.  

පසුගිය සති කිහිපයේ මෙරට සිදුවූ සිදුවීම් ගැන නොයෙකුත් විවරණ තැන තැන කතා වෙනවා. විශේෂයෙන් social media වල. ෆෙඩරල්වාදයේ නැගිටීම, රටබෙදීම, ගෝලිය බලවේග මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවලට බලපෑම් සිදුකිරීම ආදී බොහෝ කාරණා එහි කතා වෙනවා. ඒවා කොයිතරම් දුරට සත්‍යද  කියන එකට වඩා ඒවා කොච්චර දුරට විචාරශීලිද කියන එක වැදගත් කාරණයක්. අපේ ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි නිදහස්ව සිතන්න පුරුද්දක් නැති කම. අභ්‍යන්තර ගතිකයන් අප අතිශෝක්තියෙන් නැත්නම් හරිහැටි තේරුම් ගෙන ක්‍රියා නොකරනවා වගේම බාහිර ගතිකයන් දිහා අප බලන්නේ සැකයක් හිත ඇතුළේ තියා ගෙන. එහෙම වෙනකොට අවුලෙන් අවුලට පත් වෙනවා. 

අවුරුද්ද අවසානයේ විඩාව නිවා ගන්න අපි ගිය ගමනේදී පළමු වතාවට රත්නපුර සමන් දේවාලයට යන්නට පුළුවන් වුණා. හිතුවට වඩා විශාල පිරිසක් එහි වන්දනාමාන කරන්න පැමිණ ඇවිත් සිටි බව දැක්කා. මල්, පළතුරු ඇරුනහම රසකැවිළි, සෙල්ලම්බඩු ආදී නොයෙකුත් තොරෙම්බල් අලෙවි කරමින් ජීවිකාව සොයා ගන්නා සෑහෙන පිරිසක්ද එහි දකින්න පුළුවන්. ඒ වගේම කණ්ඩායමක් හැටියට ඇවිත් අපට නොතේරෙන ස්ත්‍රෝත්‍ර කියමින් කරන වතාවත් දකින්න ලැබුණේ එහිදි. සබරගමුවේ අතීත කාලයක තිබුණු ශ්‍රී විභූතිය පිලිබඳ අදහසක් දේවාලයේ ගොඩනැගිලි, කැටයම් ආදිය දැක්කහම හිතා ගන්නට පුළුවන්. ප්‍රධාන පාරවල් වලින් එහා මෙහා ගියත් අපි නොගිය තැන් තවත්බොහොමයක් ඇති.

Tuesday, December 18, 2018

ඔබ අතවූ මල් එකිනෙක පරවී සුළඟේ විසිරෙනු මා දුටුවා








ලංකාවේ කඳුමුදුන් වලින් එතරම් කියවෙන්නේ නැති නමක් තමයි ගොංමොල්ලි කන්ද. මීටර් 2000 ට වැඩි උසින් යුතු කඳු මුදුනක්. පිහිටා  තිබෙන්නේ ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මායිමේ. කන්ද අවට නොඉඳුල් උඩරට (වර්ෂා/වියළි) වනාන්තර දකින්නට පුළුවන්. ඊට අමතරව අපට ආගන්තුක වුනත් ඉතාම කෙටි කාලෙකින් විශාල biomass එකක් හදන්න පුළුවන් නිසාම වැඩිපුර පොලවෙන් වතුර උකහා ගන්නා නෙත්කළු පයිනස් වගාවකුත් දකින්නට පුළුවන්. තවත් විශේෂත්වයක් තමයි ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල ඇත්තේ මෙම කන්ද ආශ්‍රිතව වීම. කාලෙකට ඉස්සර දකිනකොට වගේ ලොකු දියපාරක් ගලා හැලෙන්නේ නැති වුනත් දියඇල්ල තවමත් සුන්දරයි. හරියට ජීවිතය වගේ. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...