Monday, January 28, 2019

පාර දිගේ


අළුත් අවුරුද්දක්, ලබලා ටික දවසක් ගත වෙලාත් ගිහින්. අපේ ජීවිතත් අළුත් වෙලාද? නැත්නම් සාමාන්‍යෙයෙන් වන පරිදි තව ටිකක් පරණ වෙලාද? වැඩ පටන් ගත්තු පළමු දවසේ කිරිබත්, කැවුම් කොකිස් කමින් බොහෝ දෙනෙකුගේ උදේ වරුව ගෙවුණේ. 

පසුගිය ටිකේ ජීවිතේ තරමක් කලබලකාරී වුණා. සමීප ඥාතීන් දෙදෙනෙකුගේ විවාහයන් වගේම, යුරෝපයේ ජීවත් සහ තවත් රටක ජීවත් වන සමීප මිතුරන් දෙදෙනෙකුගේ පැමිණීම මෙන්ම රාජකාරියේ දැනට සිටින සේවාවට බැඳී අවුරුදු 25 ක් ගෙවී ආදී කරුණු හන්දා ප්‍රිය සම්භාෂණ කිහිපයකට සහභාගි වන්න අවස්ථාව ලැබුණා.

1980 ගණන් වල ආන්දෝලනාත්මක නඩු විභාගයක් වූ මැතිව් පීරිස් කතාව චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපටයක් ලෙස ඇවිත්. තාක්ෂණික අතින් යම් ඉදිරියක් දකින්න පුළුවන් වුනත් විශේෂයෙන්ම ඩැල්රීන් ඉන්ග්‍රම් චරිතයට චිත්‍රපටය මගින් සාධාරණයක් වුනාද කියළා හිතුන්න වෙනවා. ඒත් එක්කම රෝහණ විජේවීර ගැන හැදු චිත්‍රපටයක් - ගින්නෙන් උපන් හීතල මේ දිනවල තිරගත වෙනවා. සති අන්තයේ එය බලන්න යන්න හිතුවත් බැරිවුණා.  

අද ධර්මසේන පතිරාජගේ පළමු අනුස්මරණය. සමරු දේශණයක් සහ පාර දිගේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් තිබුණා. දේශණය කලේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති. මාතෘකාව විචාරාත්මක දුරස්ථභාවය හා කලාකරුවාගේ සංස්කෘතික කාර්ය. පාරදිගේ චිත්‍රපටය මුලින්ම බැලුවේ පාසල් කාලේ 1982 දී. ඒ කාලේ මේ චිත්‍රපටයට ආසක්ත වුණේ ධර්මසේන පතිරාජ ගැන යම් හැඟීමක් තිබුණු එකටත් වඩා විජය කුමාරතුංග එහි රඟපෑම මෙන්ම ගායනා කිරීම, එවක නවක නිලියක වූ වසන්ති චතුරානි ගේ රඟපෑම ආදිය කියළා කියන්නට පුළුවන්. ඒත් ඔහුගේ සිනමා ආඛ්‍යානය අපට එදා හරියට තෙරුණේ නැහැ. අද එදාට වඩා තේරුණා කිව්වොත් හරි. ප්‍රේක්ෂකයාව චරියෙන් ඈත් කරලා බලන්න ඉඩක් තියෙන ඔහුගේ ක්‍රමය හුඟක් තැන් වල සාර්ථකයි. එකම තැනක චන්දරේ(විජය කුමාරතුංග) තමන්ගේ මහ ගෙදර ගිය වෙලාවේ තමන්ගේ අම්මා (රුබී ද මැල්) පුතාගේ අතීතය ගැන කියන තැන ටිකක් කෘත්‍රිම බවක් පෙනුනා. මෙහි එන සින්දු බඹරු ඇවිත් තරම් ප්‍රභල නැති වුනත් තේමාවට යම් සාධාරනයක් කරනවා.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...