අපිට ඉස්සර පරම්පරා වල යොවුන් ප්‍රේමයේ සංකේත වුණේ ගොළු
හදවතේ දම්මි - සුගත් කියළා කියන්න පුළුවන්. ඒත් අපේ කාලේ එනකොට ගොළු හදවතේ ජනප්‍රියත්වය
තරමක් අඩුවෙලා. චිත්‍රපටය ඇවිල්ලාත් කාලයක් ගිය එක තවත් හේතුවක් වන්න ඇති.
පෞද්ගලිකව ගත්තහම ගොළු හදවත කියවන්නට ලැබුණේ ඉතා මෑතදී.
කරුණාසේන ජයලත් ශූරීන් තාත්තාගේ හිත මිතුරකුව සිටියත් මොකක් දෝ හේතුවකට ඔහුගේ එකම
නවකතා පොතක් වත් අපේ තාත්තාගේ පොත්ගුලේ තිබුණේ නැහැ. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.
සේනානායක, කේ. ජයතිලක, වගේම ටී.බී. ඉලංගරත්න යන කතුවරුන්ගේ සියළුම පොත් පාහේ
තාත්තා ගේ පොත් එකතුවේ තිබුණා. කොහොම වුනත් කරුණාසේන ජයලත් අභාවප්‍රාප්ත වූ වෙලාවේ
“ගොළු නොවූ හදවත“ කියලා තාත්තා පත්තරේට
ලිපියක් ලියුවා. එය බොහොම හෘදයාංගම වගේම ඒ වෙලාවේ පැවතුණු ආණ්ඩුවට දෝශාරෝපනය
කරමින් ලියවුණු ලිපියක්. කරුණාසේන ජයලත් හට දේශපාලන වශයෙන් අසාධාරණ සිදුවුණු බව
තාත්තා විශ්වාස කලා වගේම එයින් ඔහු කලකිරී සිටි බවද දැන සිටියා.
මේ මතකයන් අළුත් වුණේ පසුගිය දිනක පැවැත්වුණු hostelers
night සාදයේ දී අජිත් ජිනදාස නම් වූ ඒ කාලේ අතිශය ජනප්‍රිය නළුවා
හමුවීම නිසා. ඔහු හිටියේ නේවාසිකාගාරේ අපිට අවුරුදු දෙක තුනක් ඉහල පන්ති වල. මඩොල්
දූවෙන් පස්සේ ඔහු රඟපෑ සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි අපේ සිත් ඇද
බැඳ ගත්තා. එහි රඟපෑ වසන්ති චතුරානිත් ඒ සඳහා බොහෝවිට හේතු වන්න ඇති. එහෙම වුනේ ඇය
රඟපෑ කුසුම් ගේ චරිතය ඒ කාලේ යොවුන් ප්‍රේමයේ ෆැන්ටසිය වුණු හන්දා. අපි අපේක්ෂා කලේ කුසුම්
වගේ නිර්මල චරිතයක්. ඒකට පන්ති භේද හෝ වෙනත් භේද අදාල වුණේ නැහැ. විශේෂයෙන් අපට මේ
හැඟීම් දුරස් නොවන්නේ, ඒ කාලේ අපේ පන්තියේ සිටි ගැහැනු ළමයින් අතර ගමෙන් එළවලු එකතු
කරළා හොරණ පොලේ විකුණන අම්මලා සිටි ළමයි හිටපු නිසා වන්නත් පුළුවන්.