Tuesday, November 19, 2019

යකඩ සිල්පර හා සිහින සක්මන


පොත් දෙකක් කියවන්න තරම් විවේකයක් ලැබුණා. වෙනත් විදියකින් කිව්වොත් විවේකයක් හදා ගෙන හෝ කියවන්න හැකි පොත් දෙකක් ලැබුණා. එකක් අපේ හිතමිත්‍ර ධම්මික බණ්ඩාරගේ සිහින සක්මන කාව්‍ය සංග්‍රහය. සිහින සක්මන ගැන වෙනම ලිපියක් ලියන්නට බළාපොරොත්තු වන හන්දා වැඩිය මෙහි ලියන්න බළාපොරොත්තුවක් නැහැ.

ජීවිතයේ විවිධ නැවතුම්පළවල, සන්ධිස්ථාන වල හදවත ප්‍රකම්පනය කළ හැඟීම් වල සොඳුරු දිගහැරුමක් ලෙස සිහින සක්මන හඳුන්වන්න පුළුවන්. මේ තම බිරිඳ ගැන නැතිනම් කුටුම්භ ජීවිතය ගැන ධම්මික ලියන කවියක කොටසක්.
රේල්ලුවේ හූ හඬට තිගැස්සී අවදිවී
ජීවිතේ උණුසුමට තේ සදා ගෙනෙන්නී
අරමුණක් නැති මගේ ජීවිතේ ඉරුණු තැන්
රොස් පරොස් කිය කියා අණ්ඩ දා මසන්නී
සුවහසක් අත්වැරදි මෙත්සිතින් ඉවසමින්
දිවා රෑ ජීවිතය වළන්වල පිසින්නී

අනෙක් පොත. එනම් යකඩ සිල්පර දීර්ඝ නවකතාවක්. 19 වන ශත වර්ෂයේ අග භාගයේ ලංකාවේ දුම්රිය මාර්ග තැනීම සම්බන්ධ කොටගෙන අපූරු පරිකල්පනයක යෙදෙන්න කතුවරයා සමත් වී තිබෙනවා. එය 2018 අවුරුද්දේ හොදම නවකතාව ලෙස සම්මාන දිනාගෙන තිබෙනවා. කතාවට වස්තුබීජය වන්නේ කුරුණැගල සිට මහව දක්වා දුම්රිය මග තැනීමේදී ඒ අවට ගම්මාන වලට එය බලපාන අන්දම වටා.

කුල වාදය මුල් බැස ගත් ගමේ පවතින විවිධ සම්බන්ධතා හා ඒවායේ ගතිකයන් මෙන්ම සුදුජාතිකයන්ගේ මැදිහත්වීම් ද අපූරුවට ගලපා මේ කතාව ලියලා තිබෙනවා. ආදරය, කෑදරකම්, වෛරය, ලිංගිකත්වය ආදී සියළුම මිනිස් ගති ස්වභාවිකව ඉස්මතු කරන්නට කතුවරයා කතාව හොදින් යොදා ගෙන ඇති බව පෙනෙනවා.

මෙවර ජනාධිපතිවරණය කලබැගෑනි වලින් තොරව නිමාව දුටුවා. එයට හේතුව පසුගිය වසර කිහිපයේදී ආණ්ඩුව හඳුන්වා දුන්න යහපාලන ක්‍රියාකාරකම් ද නැතහොත් බහුතරයට දේශපාලනය එපා වීමද නැත්නම් වෙනින් මොකක් හරිද කියන්න බැහැ. එක පැත්තකින් ඡන්දය දැමීමේ ප්‍රතිශතය ඉහල මට්ටමක තිබුනා. අනෙක් අතින් සමාජමාධ්‍ය ජාල වල උද්යෝගය පාර තොටට වඩා උද්වේගකර වුණා. කොහොම වුනත් පාරක් පාරක් ගානේ ගහක් ගලක් ගානේ අංක, සළකුණු කතිර ගහන එක නතර වුණු එක හොදයි. ඒත් මහ මැතිවරනයකදි තත්ත්වය කෙසේ වේද දන්නේ නැහැ.   

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...