Sunday, January 19, 2020

මන්ද නාව කාරනාව


අවුරුද්ද අවසානයේ හෝ යම්කිසි විවේකයක් ගන්න කොහේ හෝ දුර පළාතකට යන්න ඕනා කියළා හිතුවත් ඒක කරගන්න බැරි වුණා. අර බොහෝ සංචාරකයන් කරනවා වගේ අලුත් අත්දැකීම් අළුත් සංස්කෘතින් අතර ගැවසෙන්නම නොවේ. එදිනෙදා කලබලකාරී ජීවිතයන් මදක් හෝ ඈත් වෙලා ඉන්න. පාසල් නිවාඩු කාලයේ බොහෝ අය එවැනි ගමන් වල යෙදෙනවා දකින්න පුළුවන්. දරුමල්ලන් සහ බෑග් මළු කරගහගත්තු දෙමව්පියන් පාර අයිනේ බස් රථ බළාපොරොත්තුවෙන් ඉන්නවා පෙනෙන්න තිබුණා. බොහෝ වෙලාවට ඒ තම තමන්ගේ මහගෙවල් වලට දෙමව්පියන් වෙත යන ගමන් වෙන්න ඇති. ඒ බව ඒගොල්ලන්ගේ මුහුණු වලින් හිතා ගන්න පුළුවන්.

මෙසේ නෑදෑ ගමන් යන්නට හේතුව පුංචි කාලේ අඩු වැඩි වශයෙන් නිරවුල් සිත් වලින් එදා වින්ද සුන්දරත්වය අදත් විඳින්නට අචේතනිකව වුනත් අප යොමු වීම වන්න පුළුවන්. එහෙම හිතනකොට සුන්දර වගේ පෙනුනත්, අපේ පුද්ගල බැඳීම් එදා තරම් සරළ නොවන්නට ගොඩක් හේතු තියෙන්නට පුළුවන්. එක එක්කෙනා නියැලිලා ඉන්න රාජකාරී මෙන්ම ජීවිතයේ හැලහැප්පීම් ගැන අන් අයට තේරුමක් නැතිව යන කොට අනවබෝධයන් ඇති වනවා. ඒ වගේම අපි දේවල් දිහා බලන හැටිත් කාලයෙන් කාලයට වෙනස් වනවා. එසේ අපේ අලුත් සිතුම පැතුම් අනුව අතීතය විවරණය කරන්නට යාම මම නම් කිසි දින කරන්නේ නැහැ. ඒකෙන් කිසිම තේරුමක් නැතුවාක් මෙන්ම අපේ විවරන ඉතාම වැරදි වන්න පුළුවන් කියා හිතෙන්නේ අපටම නොතේරෙන නැත්නම් එදා නොදැක්ක බොහෝ දේවල් එහි තියෙන්නත් පුළුවන් යැයි කල්පනා කලාම.

ළමා කාලය මතක් කළාම මට මතක් වන්නේ හෙන්දිරික්කා වැනි මල් සුවඳවල්, එහෙමත් නැත්නම් කොච්චි මිරිස් කරලක සැර හෝ කුරුම්බා වතුර වල සිසිලස වගේ දේවල්. ඊට අමතරව අප කළ කී දෑ අතරින් සමහර මිහිරි මතකයන්.

සංචාරය පැත්තට ආයිමත් යොමු වුනොත්, සංචාරය කරන්න අමුතුවෙන් ගමනක් යන්න ඕනාම නැහැ. අපි කොහේ හරි ගමනක් යන අතරතුරේ සිත් ගන්නා ස්ථානයක් දැක්කොත් එහි මදත් හෝ නැවතී යන්න පුළුවන්. එහෙත් පොදු ප්‍රවාහන මාධ්‍යක් පාවිච්චි කරමින් අපි බොහෝ දෙනෙක්ට කොයි තරම් දුරට එසේ කරන්න පුළුවන් දැයි මා දන්නේ නැහැ. (උඩරට දුමරිය මාර්ගයේ යන විට බොහෝ දුම්රිය ස්ථාන තිබුණා බැහැලා ඇවිදින්න යන්නම හිතෙන. ඒත ඒ දවස්වල තියා අදටත් එය කරන්න ලෙහෙසි නැහැ.) එහෙත් පුද්ගලික වාහනයක නැගලා යන වෙලාවට එසේ කරන්න පුළුවන්. යම් කිසි පාරක වාහනයෙන් යන විට සුන්දරයි කියා හිතෙන අතුරු පාරක් දැක්කොත් එහි ටිකක් දුර හෝ ගිහින් බලන්නට පුළුවන්. හැබැයි තවත් අය වාහනයකු සිටින විට එය කරන්නට අමාරුයි. මොකද ඒ ගොල්ල එලිපිට නොකිව්වත්, මගේ මොලය අවුල් වෙලාදැයි ඒ වෙලාවේ පටන් විමසිල්ලෙන් ඉන්න හන්දා.

අලුත් පොතට නමක් තවමත් නැති හන්දා එය මුද්‍රනයට භාර දීම පමා වෙනවා. ඒ හැරෙන්නට එහි අනෙක් වැඩ කටයුතු බොහොමයක් දැන් අවසන්.     


ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...