Tuesday, February 9, 2021

රන් රෝස



පරිසරයේ සමහර දේවල් දකිනකොට යම් කාලෙක අපේ අත්දැකීම් සමග බැඳීමක් ඇත්නම් ඒවා සිහිවෙනවා.  ඇස්බැස්ටෝස් හෙවිල්ලපු උසින් අඩු වහලයක් සහිත කුඩා ගෙවල් දැක්කහම මට මතක් වන්නේ අනුරාධපුරයේදී අපි මුළින්ම සිටි ඇනෙක්සි. ඒ අපි පවුලක් හැටියට වෙනම ජීවත් වන්න පටන් ගත් කාලය නිසාත් නුහරු පරිසරය නිසාත් ඒ දවස් අපේ හිතේ තදින් ඇඳිලා ඇති බව හිතන්න පුළුවන්. අනුරාධපුරයේ පවතින උෂ්නත්වය අනුව ඇස්බැස්ටෝස් වහල එහෙට ගැලපෙන්නේ නැහැ වගේම වහල උසින් අඩුවීමත් ගැලපෙන්නේ නැහැ. රාත්‍රියේදී පවා විදුලි පංකා පාවිච්චි කළත් එහි තියෙන්නේ තද රස්නයක්. එවැනි ගෙයක් අද දැක්කත් මොකක්දෝ ලඟ හැගීමක් ඇති වනවා. ඒකෙන් තේරෙන්නේ අත්දැකීමක් කටුක වුවත් ඒ වටා ඇති බැඳීම් අපේ හිතට වැඩියෙන් බලපාන බව. මේ ගෙවල් වල හිටි දිනවල කුස්සියට අවශ්‍ය උපකරණ වගේම අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩත් එකින් එක ගත්තු හැටි තවම මතකයි. ඒවා ජීවිතේ අළුත් අත්දැකීම්. ශීෂ්‍යයකු හැටියිටත් එයින් සමහර දේ කරන්න අපට සිදු වුනත් මේවා දෙදෙනෙකු සමග බෙදා ගැනීම අළුත් දෙයක්. 

ඊයේ පෙරේදා උඩරට ගිහින් දවස් දෙක තුනක් ඉඳලා එනවිටත් මට එය සිහිවුණා. උඩරට තවත් බොහෝ සුන්දර තැන් ඇතත් අපි වැඩියෙන් යන්න කැමති ඒ ප්‍රදේශයට. මොකද අපේ ලමා කාලයේ අත්දැකීම් එයට බද්ධවී ඇති නිසා. ඒ කාලේ සිටි අපට වඩාත් සමීප වූ වැඩිහිටියන් අද එහි නැතත් ඒ බැදීම් අපේ හිත යට සැඟවී තියෙනවා.  නිම් වළලු පොතේ මෙවැනි අපේ සිත ඇඳි තැන් හෝ සිද්ධි බොහොමයක් ලියුවා. එහෙත් ඒවා ඉතාම කෙටියෙන් ලියුවේ.

මේ ටික ලියන්නට හිතුණේ රුසියානු සහ සෝවියට් ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි ගේ පොත් දෙකක සිංහල පරිවර්තන කියවන අතරේ. පවුස්තොව්ස්කි ගේ පොතක් මුලින්ම කියවන්නට ලැබුණේ මෑතදී. ඒ අප මිත්‍ර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පරිවර්තනය කරපු කෙටි කතා පොත් දෙකක්. ඊට පසුව පවුස්තොව්ස්කි ලේඛකයා විසින් නිර්මාණකරණය ගැන ලියවුණු රන් රෝස ලෙස සිංහලට පරිවර්තනය කර ඇති කෘතිය. මේවා කියවූ විට පවුස්තොව්ස්කි ශෛලියේ ඡායාවක් මා ලියූ කතාවලත් යන්තමින් හෝ ඇති බවයි මට හිතෙන්නේ. එය එසේ නම් සෝවියට් දේශයේ උගෙන ගැනීමත් බොහෝ රුසියන් පොත පත ඇසුරු කිරීමත් එයට හේතු වන්න ඇති. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...