Wednesday, December 29, 2021

මිනිසෙකු ඕනෑකර තිබේ



ප්‍රවීන ගීත පදරචකයකු සහ සාහිත්‍ය විචාරකයකු වන ධම්මික බණ්ඩාරයන් විසින් රචිත සිහින “සක්මන කාව්‍ය සංග්‍රහය මෑතදී කියවන්නට ලැබුණි. මා කිසිසේත්ම සාහිත්‍යකරුවකු හෝ සාහිත්‍ය විචාරකයකු නොවෙතත් මෙම කාව්‍ය සංග්‍රහය ගැන යමක් නොලියා සිටිය නොහැකි යැයි හැඟුනු බැවින් මෙම සටහන තබන බව පළමුවෙන් සඳහන් කළ යුතුවේ.

සිහින සක්මන දශක කිහිපයක කාලය හරහා අප ගෙන යන සොඳුරු සක්මනකි. එහෙත් එය හුදෙක් අතීතාවර්ජනයක් නොවේ. සමස්ථයක් ලෙස සිහින සක්මන,ජීවිතයේ අරුත සොයා යන තීර්ථ යාත්‍රිකයකුගේ ගමන සිහි ගන්වයි. එම ගමන් මගෙහි මං සලකුණු, නවාතැන්පොළවල්, සන්ධිස්ථාන සහ සැතපුම් කණු එකිනෙකින් ස්වායත්ත සිද්ධීන් නොව හේතුඵල සම්බන්ධයෙන් යුතු එකිනෙක තදින් බැඳී පවතිනඑක් දම්වැලක පුරුක් ලෙස හඳුනාගත හැකිවේ. මෙහි ඇති අනෙකුත් විශේෂත්වය නම් කවියා පාඨකයාට අවංක වීමත් ඔහු තමන් හට අවංකවීමත් කාව්‍යය පුරාවටම දැකගතහැකි වීමයි.

කවියා සිහින සක්මනට මුලපුරන්නේ කාලය විසින් අපේ ජීවිත වල සිදු කරන ලද පරිවර්තනය පිළිබඳ ගැඹුරු අරුතක් කරා අප ගෙනයමිනි. එහි හැඳින්වීමේ එන එක කවක් පහත පරිදිය.

 

“මට මොහොතක් අතීතයට යන්න            දෙන්න

කතා නොකර මගේ ලඟින් අයින්   වෙන්න

කරුණාකර පැලඳි ඔටුනු බිම         තබන්න

පපුවට කන තියාන දැන් අහන්          ඉන්න

 

භද්‍ර යෞවනයකු තුල ඇතිවන ප්‍රථම ප්‍රේමය අහිමි වීමේ වේදනාව හරහා මතුවන සිතිවිලි හා බද්ධ වූ ක්‍රියාදාමයක් වශයෙන් කාව්‍යය ආරම්භවේ. භද්‍ර යෞවනයේ ආදරය බොහෝකොට පරමාදර්ශීයය. පිරිසිදුය. එය මිල මුදල්, යාන වාහන, තරාතිරම් හෝ අනෙකුත් භෞතික සම්පත් වලින් හෝ පුහු පුරුෂාර්ථ වලින් විකෘති වී නොමැත. එය ප්‍රශස්ත මානව සම්බන්ධතාවයක් නොවේ නම් එයට ආසන්න අවස්ථාවක් යැයි සිතමි.

කවියා භද්‍ර යෞවන ප්‍රේමය හිමි වීමත් අහිමි වීමත් අතර සුන්දරත්වයක පැටළේ. එහෙත් එවැනි අත්දැකීම් සුන්දර ලෙස හැඟෙන එහෙත් අසුන්දර අවසානයක් කරා යොමුවිය හැකිය. ජීවිතයේ අනේක විධ ඉච්ඡාභංගත්වයන් සියදිවි නසා ගැනීමක් දක්වා ගමන් කළ අවස්ථා අපට කොතෙකුත් අසන්නට ලැබේ. තරුණ සිත් කලබලකාරී, රැඩිකල් වන බැවිනි.

කවියා මෙම අන්තයන් මෙනෙහි කරයි.

එක පැත්තකින් සුන්දර සංවේදී ජීවිත මෙන්ම අනෙක් පැත්තෙන් සියල්ලට ඉහලින් ඇති ආදරයේ මිහිරියාවත් කවියා සසඳයි. සිය සහකාරියත් සමග එක්ව සිය දිවි නසා ගත් ජපන් ජාතික විශිෂ්ඨ නවකතාකරුවකු වන දසයි ඔසමු මෙන්ම ප්‍රේමය නිසා මරණයට ලක්වූ දස්කොන් හරහා ජීවිතයේ තරුණ සිතක මනෝභාවයන්හි කැළඹිලි අපට පසක් කරයි.

“ දසයි ඔසමු.......

සියදිවි නසා ගැනීම

සාධාරණීකරණය කරලා

අන්තිමට ඔබත්

සියදිවි නසා ගත්තා

 

“උන්නු සඳ ඔබ මහ රජුගෙ මිතුරෙකු        වෙලා

බිසව හින්දා මිතුරු දම් ඔබ                                 විසිකළා

දන්න තරමට ආදරේ හැටි ඒ                       තමා

නැතිද දෙවරක් සිතා බැලුවේ                  ඔබතුමා

 

ජීවිතයේ මෙම සාමාජික මෙන්ම පුද්ගලානුබද්ධ හැලහැප්පීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට නම් යමෙකු හට මනා ජීවිතාවබෝධයක් තිබිය යුතුය.

කවියා එය අප වෙත ගෙන එන්නේ සියුම් හාස්‍ය රසයක් සමගිනි.

“ පවුල එක්ක රණ්ඩු වෙලා

            අපේ ගමේ කොට මාර්ටින්

            රේල්ලුවට බෙල්ල තිබ්බා

            හරියටම දවල් දොළහට

           

            පීල්ලේ රස්නෙට

            බෙල්ල පිච්චිලා

            කොට මාර්ටින් ගෙදර දිව්වා

 

මතුපිටින් බලන කළ සිහින සක්මනෙහි කතා නායකයා දිගින් දිගටම තැවෙන්නේ භද්‍ර යෞවනයේ ආදරය අහිමී වීම පිළිබඳවය.

            “............

            මිහිරියේ මගෙ මිහිරියේ

            ඔබට දැන් නම් මා අමතකව ඇතී

            ..............

           

එහෙත් කවියා භද්‍ර යෞවනයේ ආදරය අහිමි වීමේ වේශයෙන් තැවෙන්නේ ප්‍රාර්ථනා කළ එහෙත් අපෙන් දුරස් වෙමින් පවතින මිනිස්කම් පිළිබඳවද?ආදරයේ විවිධ පැතිකඩ කුස-පබා, දික්තල-කාලගෝල සහ දස්කොන්-ප්‍රමිලා වැනි උදාහරණ හරහා කවියා ගෙන එන්නේ මනුෂ්‍ය සබඳතාවලවිවිධ පරාසයන් සිහිගන්වමිනි. 

 

පූර්විකා වලින් පසුව පොතේ තුන්වන කවියෙන් ඔබ්බට කවියාගේ සක්මන ඇරඹේ. එහි ආරම්භක කවිය මෙම කාව්‍ය සංග්‍රහයේ යටිපෙළ පිළිබදව නැවතත් අපට සිහිගන්වන්නකි. එමෙන්ම එය අපූරු කවියකි.

 

“ඉරටත් හොරෙන් කාලය ගෙවුණ ඉක්මන

සදටත් හොරෙන් ඇන්දෙමි කදුළු සිත්තම

මලටත් හොරෙක් මල්වල සුවඳ එක්කම

කාටත් හොරෙන් අරඔමි සිහින සක්මන”

 

සුන්දර ගමින් ඇරඹෙන සක්මන ආනන්ද බෝඩිම හරහා නගරයේ කර්කශබව හා ගමේ සුන්දරත්වය මෙන්ම එහි වූ බැදීම් වලින් සැදි මනෝභාවයන් අතර දෝලනය වෙමින් ඉදිරියට ඇදේ.හැත්තෑව දශකයේ දී (විශේෂයෙන් එහි මුල භාගය) පවා නොයිඳුල් ග්‍රාමිය පරිසරයක් අප රටේ බොහෝ පළාත් වල තිබූ බව අතිශෝක්තියක් නොවේ. එයින් අදහස් වන්නේ හුදෙක් භෞතික පරිසරය නොව අව්‍යාජ බැඳීම් වලින් යුතු, බොල් පුරුශාර්ථ වලින් තොර සමාජීය වටපිටාවක් යන්නය. මේ පිළිබඳව තව දුරටත් විමසා බලමු

 

“හිත දුවයි ඈත වන්නියට........

කොණ්ඩ කිරා රං කිරා මාටින්

අඳයට කුඹුරු කරන

ණය ගැතියි උන්ගේ දහඩියට

 

ගමෙන් නගරයට එන මානවයකුගේ මනෝභාවයන් කවියා ආනන්ද බෝඩිම හරහා දිගහැර දක්වයි.

           

“ බැමිණිටියා සාය

එකළ මුළු මරදානට

            ඇවිදින ඇටසැකිලි

            තාප්පෙන් පැන ඇවිත්

            එබිකම් කරයි

            සශ්‍රික බත්මුල

දන්දී උන්ට

වතුර බොමි

දුකින් මෙන්ම

උන් ගැන

වෛරයෙන්”

 

ගමේ සශ්‍රීකත්වයත් සුන්දරත්වයත් අතරේ නගරයේ කර්කශභාවය මැද පාසලෙහි සරළකම මුසු වුනු උප සංස්කෘතිය හා එයට ආවේණික ප්‍රතාපවත් බවින් කවියා සැනසුමක් ලබයි. එයට දිවයිනේ හතර දිග්බාගයේ සිට පැමිණි සිසුන්ගේ සාම්‍යයසහ බෞද්ධ පරිසරයක් තුළින් ගොඩනැගුණු උප සංස්කෘතිය හේතු වන්නට ඇතැයි සිතමි. 

 

“මරියාකඩේ මැද

            සදාකල් වැජඹෙන

            මහා රන්කොත

            ආනන්දය

 

බෙහෙවින් ආයතනගත වූ පාසල් බෝඩිමෙන් ඉවත් වී නාගරික පරිසරයක බෝඩිමකට යාම එක් අතකින් අවදානමකි. දෙමාපිය ඇසුරින් වෙන්වු තරුණයෙකු හට නිදහස අසීමිත ලෙස ලැබුණු කළ එය සුන්දරත්වය සොයා යාම අරුමයක් නොවේ. එහෙත් සුන්දරත්වය විඳීමේ මාර්ග තෝරා ගැනීම සිදුවන්නේ අපේ සිතුවිලි හා වටපිටාව සමග ඇති කරන ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙසය. කවියා මේ දේවල් වලින් හෙම්බත්වී ඇති සේය.

 

“බෝඩිමේ                     ගැමුණුට

මලක් එතිලා                  හිත යට

තබා පොත                    ඇඳ යට

සිනාසෙයි බෝඩිමේ        වහලෙට

 

කවියාට විඳින්නට ලැබෙන අත්දැකීම් සුන්දර ඒවා නොවේ. මේ හැලහැප්පීම් අතරේ ආර්ථිකය විවෘත වීම පිළිබඳව කවියා සංවේදී වේ. විවෘත ආර්ථිකය නමැති අරුමෝසම් හීනය මිනිසුන්ගේ සිත් වසඟයට ගනී. වානිජ ආර්ථිකය ඉදිරියේ දියවී යන පුරුෂාර්ථ කවියා ඇස් පනා පිට දකී.

 

“වෙළෙන්දන් ළඟ

මිනිස්සු පොරකති

මිලදී ගන්නට නොව

මිලදී ගත හැකි දැයි බලන්නට”

 

“ නරඹා එක එක             විසිතුරු

   හරවා හිත උඩු                         යටිකුරු

   කළු කපුටා සුදු වන            තුරු

   කාසි සොයති එළිවන         තුරු”

 

මේ අතරේ 83 ජූලි කලබල වලින් ඇවිළුනු කොළඹ, කවියාගේ හද සසළ කරවයි. ජාතිවාදය හමුවේ මානූෂීයකම් දියවී යන දෙස කවියා බලන්නේ දොම්නසිනි.

 

“............

පුතා යැයි අමතා

හිස අතගා බේත් දුන්

ශිවනාදන් දොස්තර

වැටී සිටියා කානුවක් ළඟ

කවන්ධයක් ලෙස”

 

එහෙත් ලෝක ධර්මය නම් එක් සන්තාපයකින් බොහෝවිට අපේ තවත් සංතාපයක් තුනී වීමයි.

 

“විජිතා නොලැබුණු දුක

මොහොතකට තුනී වී

කියාගන්නට බැරි

මහා දුකක් ඇති විය.”

 

එතැන් සිට ලෝකය වෙනස් විය.

 

ජීවිතයේ සනාතන ධර්ම කාටත් පොදුය. මවගේ වියෝව ඔහුට තනිකමක් ගෙන එයි. තනිකමකදී සිතුවිලි දිවයන්නේ හදවතට සමීප ළබැඳීයාවන් වෙතය.  

 

“විජිතා ඔයා මා ළඟ හිටියා නම්

මගේ හිත හදා ගන්න තිබුණා”

 

කලබැගෑනි එන්නේ එකක් පසු පස එකක් එන්නාක් මෙනි. ජාතිවාදී කලබල වලින් ඇවිලුණු කොළඹ පසුව ත්‍රස්තවාදී බෝම්බ බියෙන් ඇලලී යයි. එය පාරාවලල්ලකි. ත්‍රස්තවාදයේ කුරිරුබව කවියා විදහා දක්වන්නේ අප හදවත් සසල කරමිනි.

 

“පිටකොටුවේ බෝ ගහ යට ලොතරැයි මල්ලී

වාසනාව ඇති හැමටම බෙදුවා      සල්ලී

අකුණු හඬක් නැඟුණා පිටකොටුවම හෙල්ලී

නුඹේ කැබලි තිබුණා බෝ අතුවල එල්ලී”

 

 

මේ අතරේ කවියා සරසවියගේ ඇසුරට එක්වේ. එකළ එනම් අසූව දශකයේ සරසවි සිසු සටන්,  තැන තැන මරණය පෙනෙන අඳුරු කාලපරිච්ඡේද අතරින් කවියාගේ ජීවිතයට සොඳුරුබවක් ගෙන එන්නේ ආදරයයි. ජීවිතයට මෙසේ මුහුනදෙන අතරම සමාජය හරිමගට ගැනීම සදහා වීදියට බසිමින් කලාව යොදාගැනීමේ උත්සාහයක ද ඔහු නිරතවේ. එහෙත් ප්‍රථිඵලය කුමක්ද?

“ගයමින් ගී

උගුර ලේ රහවනගුරු

වීදියේ රැඟුවෙමි

ලෝකය අප හිතූ පරිදි වෙනස් නොවී

එලෙසම පැවතිණි”

 

සරසවියෙන් සමාජයට පිවිසෙමින් ජීවිතවල දෙබිඩිකම්,දේශපාලන රැවටීම්, කුහකකම් වලින් හෙම්බත් වී සිටින විට කලාවෙන් එයට යම් අස්වැසිල්ලක් ලැබේ යැයි විශ්වාසයක් ඇතිවේ. ඒ අතරතුර කවියාගේ අත්දැකීම් තවදුරටත් සමාජයේ විවිධ පැතිකඩ හරහා දිවෙයි. ඒවා සියල්ල කතුවරයා යම් තීර්ථ යාත්‍රාවකට අවතීර්ණ කරවන බව පෙනේ.

 

මේ සියළු හැලහැප්පීම්, සම්ප්‍රයෝග විප්පයොග අතරින් ජීවිතය ඉදිරියට ඇදේ. එය යන්නන් වාලේ යන්නට නොදී කවියා ඒ පිළිබදව සවිඥානික වේ. යෞවනය මෙන්ම විවාහ ජීවිතයද අභියෝග වලින් තොර නොවේ. එහෙත් ජීවිතය ඉදිරියට යා යුතුය. කවියා එය ඉදිරිපත් කරන්නේ අපූරු යෙදුමකිනි.

            “මායි යසෝමයි

            වැල්ලෙ මාලිගා හැදුවා

තාමත් පොළී ගෙවනවා

ඒ මාළිගා වලට

 

ජීවිතයේ පසු අවස්ථාවලදීත් අපකී පරමාදර්ශීය පුද්ගල සම්බන්ධතාවයන් - ආදරය තබා ගන්නට වටපිටාව අපට ඉඩ සලසයිද?

 

“අර ඈත කන්ද දුරින් තිබෙන

හින්දයි ලස්සන

පුරහඳට වුණත් ළං වුනාම

කෝ ඒ ලස්සන

 

සමාජ-ආර්ථික තත්ත්වයන් විසින් කුළුගන්වන, පුහු පුරුෂාර්ථ පසුපස දුවන මිනිසුන් විසින් ජීවිතයේ අරුත වෙනස්ම තැනකට ගෙනයමින් සිටී.

 

“සංගීත පිට්ටනියක

විසිකළ කොන්ඩෝමයක

ආදරේ ගැබ්බරව සිටින විට

රේඩියෝ චැනල් එකකට

එක රැයින්

ආදරේ ප්‍රසූත කළ හැකිය”

 

මේ තොරතෝංචියක් නොමැති හැලහැප්පීම් වලින් වියුක්තව ලෝකය දැකීමට කවියා සමතෙකි. එකිනෙකා පරයා දිවයන ආර්ථික මාරුතයට අසුවී සුනු විසුනු වී යන මානුසික සබඳතා ගැන කවියා විටින් විට අපට මතක් කර දෙයි.

 

“...............................

අධිවේගි මාර්ගයක ඇරඹුමෙහි

යායුතු අතක් නොදැන මං මුළාව බලා සිටිමි

සංඥා එළි දල්වන

මේ වාහන වලට

හදවත් ඇත

මෙහි යන බොහෝ මිනිසුන්ට

හදවත් නැත

...............”

 

කාව්‍ය සංග්‍රහය පුරාම කවියා ගේ බස හැසිරවීමේදීත් ඇසූපිරූ තැන් සහ පොත් පත් ඇතුළු විවිධ මූලාශ්‍ර හරහා උකහා ගත් උපමා උපමේය යොදා ගැනීමේ දක්වන හැකියාව පාඨකයාගේ සිත් බැඳ ගනී. කතුවරයාගේ ජීවන දෘෂ්ඨිය ඉන්ද්‍රකීලයක් සේ සිහින සක්මන පුරාම යටින් දිවේ. කාව්‍ය සංග්‍රහය පුරාම උපුටා දැක්විය යුතු තවත් බොහෝ අපූරු කවි වෙතත් ලිපිය දිගු වීම වැලැක්වීමේ අරමුණින් ඒවා තවදුරටත් කියවීම පාඨකයාට බාර කරමි.

 

අප රටේ සමාජ ආර්ථික ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කිහිපයක් සිහින සක්මනට විෂය වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. තරුණ නැගිටීම්, ආර්ථික පෙරලි, ත්‍රස්තවාදී කලබල ආදී විවිධ සිදුවීම් කෙතරම් වේගවත්ව සිදුවී ද යත් එම ප්‍රවාහය තුළ ගසාගෙන යනවා හැරෙන්නට ඒ පිළිබදව විචාර බුද්ධියකින් සිතන්නට තබා හැරී බලන්නටත් කාලයක් අපට ඉතුරු කර නැති සේය. එම සිද්ධි අත්විඳින්නට වීම භාග්‍යයක් ද නැති නම් අභාග්‍යයක් දැයි අපෙන් පෙරළා අසන්නට අපේ මනස යොමු කිරීමට මෙම කෘතිය සමත් වන බව සිතමි.     

 

වත්මන් පරපුරෙහි රසාස්වාදය යම් තරමින් පිරිහී ඇත්නම් එයට ප්‍රධාන හේතුව එම පරපුරෙහි භාෂා දැනීම පිරිහීම බව විශ්වාස කරමි. මුනිදාස කුමාරතුංග පඬිවරයා පෙන්වා දී ඇති පරිදි සහජ ශක්තීන්ගෙන් හා නීතිරීති වලින් තොර භාෂාවක් නිරූපනය කරන්නේ දුර්වල ජාතියකි. ජාතියක් ශිෂ්ඨසම්පන්න වීමට නම් භාෂාව ශිෂ්ඨසම්පන්න විය යුතුය. ඒ අනුව සාමාජික ආර්ථික ජනජීවිතයේ සියළු අංග හා භාෂාව තදින් බැඳී පවතින බව කිව හැකිය. කලාව පිරිහුණු කල, මානවයා එයින් ඈත්වූ තරමට මනෝභාවයන් පිරිහීමට කටයුතු යෙදේ ඒ හරහා මානව සබඳතා පිරිහීම නොවැලැක්විය හැකි වනු ඇත. සංවර්ධනය යැයි සිතා අප දිවයන ගමන අවසානයේ එහි ප්‍රතිලාභ විඳින්නට මනුෂ්‍යයකු ඉතිරි නොවනු ඇත. සිහින සක්මන මාන කිහිපයක් ඔස්සේ අපට පසක් කරන සත්‍යය එයයි.

 

 

සිරිකුමාර ගුණසිංහ

අතිරේක ලේකම්,

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

2020 පෙබරවාරි

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...