Sunday, January 9, 2022

ගැහැනු ළමයි සමග කරුණාසේන ජයලත් නැවත කියවමු

 ජනවාරි මස 10 වැනි දිනට යෙදෙන කරුණාසේන ජයලත් ජන්ම දින සැමරුම වෙනුවෙනි


භද්‍ර යෞවන වියේ හැඟුම් වලින් අප මුසපත් කළ නවකතාවක් සහ එය මුල්කොට ගෙන තැනූ හද බැඳගත් චිත්‍රපටයක් ලෙස “ගැහැනු ළමයි හැඳින්විය හැක. ගොළු හදවත නම් නවකතාවෙන් යෞවන ප්‍රේමය පිළිබඳ නව මානයක් ගෙන එන්නට කරුණාසේන ජයලත් සූරීන් සමත් වූහයි සිතමි. පසුකාලීනව ඔහු විසින් ලියනු ලබන ගැහැනු ළමයි නවකතාව යොවුන් ප්‍රේමයේ චමත්කාරය හරහා අද්‍යතන සමාජ යථාර්තයන් කරා අපගේ මනස මෙහෙයවන බව පෙනේ. 

යොවුන් ප්‍රේමය නව යෞවනයන් දෙදෙනෙකුගේ සිතෙහි ඇතිවන අතිශය චමත්කාරජනක ස්වභාවික හැඟීමක් නැති නම් බැඳීමක් නම්, සමාජයේ විවිධ ගාමක බලවේග විසින් එවැනි බැඳීමක් අකාරුණික ලෙස සුණු විසුණු කොට දමන අයුරු කතුවරයා අප වෙත විදහා දක්වන්නේ හේතු සාධක සහිතවය. මෙම නවකතාවට මුල් වන කාලය ලෙස 1950-60  දශක සැලකිය හැකිය. කතාව දිගහැරෙන්නේ කොළඹට ආසන්න කුඩා නගරයක් සහ ඊට නුදුරින් පිහිටි ගමක් වටාය.  මෙවැනි ගම්, නගර ආශ්‍රිතව එකල ධනවතුන් වූයේ නම් බොහෝ කොටම ඒ ඉඩම්හිමියන් හෝ ඒ හරහා ඇති කරගත් ව්‍යාපාර හිමිකරුවන් බව පෙනේ. ඊට අමතරව ගම්මාන වල ගැමියන් අතර සමාජයේ යම් ඉහල මට්ටමකට නැගීමේ අරමුණ සහිත එනම් සුළු ධනේස්වර අදහස් වලින් හෙබි පවුල් සිටි බවට ගැහැණු ළමයි දෙස් දෙයි. ඔවුන් සිල්ලර වෙළඳාමේ නිරතවන්නන්හෝ රජයේ යම් යම් රැකියා වල නිරත වන්නන් විය හැකිය. පොලියට මුදල් දීම සහ උගස් ගැනීම වැනි කටයුතු වලද ඔවුන් නියැලේ. සෙස්සන් එදිනෙදා කුලී වැඩ, පොලවල බඩු වෙළඳාම හෝ එවැනි වෙනත් රැකියා වල යෙදෙන දරිද්‍රතාවයෙන් බැට කන පවුල් වෙති.

එවැනි පහල පන්තියේ පවුලක දැරියක් වශයෙන් ගැහැණු ළමයි කතා නායිකාව - කුසුම් බාල කාලයේ අනෙක් ඕනෑම ළමයෙකු මෙන්ම තමා අවට දකින විසිතුරු දේ ඉල්ලා අඬයි. දරිද්‍රතාව පිළිබඳ හැඟීම් කුඩා ළමයිනට නැත.

“අම්මේ මට බෝනික්කෙක් ගෙනත් ඕනෑ.

“අම්මේ අර ගෙදර ළමයටත් බෝනික්කෙක් ඉන්නව.....මටත් එකෙක්.......

“කෙල්ලේ ගුටි නොකා ඉඳින්.”

“තාත්තා පසුදින ඇයට බෝනික්කකු සාදා දෙයි. එය කදුරු ලීයෙන් කපන ලද එකකි. කුසුම්ලාට හැමදාම ජීවිතය විඳින්නට වන්නේ මේ ලෙසටම ද? කතාව පුරාම එක් අතකින් දිවෙන්නේ මෙම අරගලයයි.

බොහෝ පවුල් වල සහෝදර සහෝදරියන් ගත්කළ පවුලේ බර පිළිබද හැඟීම් හෝ එයට උර දීම සම්බන්ධයෙන් එකිනෙකා අතර වෙනස්කම් පවතී. වයසින් වැඩෙත්ම කුසුම්ට පවුලේ අගහිඟකම් දැනෙන්නට ගනී. එයට අනුගතව අරපිරිමැස්මටත් හුරු වන ඇය පවුලේ වැඩිහිටි දරුවා ලෙස දෙමව්පියන් විසින් ජීවත්වීමට ගන්නා ව්‍යායාමයට හැකි අයුරින් සහය වීමටත් පසුබට නොවේ.

ශිෂ්‍යත්වය සමත්වී නගරයේ පාසල වෙත යන විට ඇයට අළුත් ඇඳුම්, සපත්තු මේස්, ටයි ආදිය ලැබේ. අළුත් සමාජය වෙත ඇය පියමනින්නේ ඕනෑම ළමයෙකු මෙන් ලැබුණු අළුත් දේ වලින් ද සිත පුරවා ගෙනය,

“ සතුටින් උතුරන හදවතක් මිස අනාගතය පිළිබඳ පැහැදිලි, නිශ්චිත බළාපොරොත්තු හෝ චේතනා හෝ මා වෙත නොවීය. මම ඇඳුම් වල තාන් සුවඳින් ඔකඳ වීමි.  ඇය කියයි. දරිද්‍රතාවයේ සෙවනැලි මොහොතකට පහව යයි.  

අහල පහල යමක් කමක් ඇති පවුලක් සමග කුළුපග ලෙස ඇයි හොඳයිකම් පවත්වන්නට කුසුම්ලාගේ පවුලට දුප්පත්කම බාධාවක් නොවේ. ඇයගේ යහපත් ගතිගුණ සියළු දෙනාම අගය කරති. කුඩා කාලයේ එම ඇසුර ඇයගේ ඉගෙනීමටත් පිරිමි ලමයින් සමග ඇසුර නිසා සබකෝලය ආදිය දුරු වීමටත් උපකාරී වෙයි. එහෙත් වයසින් වැඩෙත්ම ඇයටත් නොදැනුවත්වම ඇයගේ ශ්‍රමය යම් අන්දමක සූරාකෑමකට ලක්වේ. එහෙත් ඇය වැඩවල යෙදෙන්නේ කැමැත්තෙනි. එසේ උදව්කිරීම නතර වන්නේ ඇය හා යටකී නිවසේ වැඩිමල් පුතා වන නිමල් අතර ඇතිවන ආදරය ඔහුගේ දෙමව්පියන්හට හෙලිවීමත් සමගය. ගම් වල පිරිත් ගෙවල්, තොවිල්පලවල් ආදිය තරුණ තරුණියන් හට හමුවීමටත් නිදහසේ තම අදහස් කියාපෑමටත් ඉඩහසර ලබාදෙන තෝතැන්නක් වැනිය. රාත්‍රියේ තේ, කෝපි සෑදීමටත් ඒවා සංග්‍රහයත් බෙහෝ විට පැවරෙන්නේ තරුණියන්ටයි. වැඩිහිටියන් වෙනත් වැඩ කටයුතු සමග කාර්ය බහුල වන විට රහස් කතා කර ගැනීමට තරුණ තරුණියන් හට නිදහසක් ලැබේ. කුසුම් හට ද යෞවන ප්‍රෙමයේ ප්‍රථම හී සර වදින්නේ එවැනි අවස්ථාවකදීය.

නිමල් ගේ දෙමව්පියන් ඇයගෙන් වැඩ ගන්නට, ඇයට ආදරයෙන් කතා කරන්නට හා ඇසුරු කරන්නට සූදානම් වුවත් තම පුතා දුප්පත් පවුලක ගැහැණු ළමයකු කසාද බඳිනවාට කිසිසේත් එකඟ නොවේ. එය ඔවුන් නගින්නට සිටින හිනිමගේ අඩියක් පසුපසට බැසීමකි.

මෙම සමය විශාල සමාජ පරිවර්තනයකට මුල්වූ යුගයක් බව පෙනේ. සමාජයේ පහල තලයන්හි සිටි පවුල් වල දරුවන්ට උසස් අධ්‍යාපනය සඳහා දොරටු විවර වෙයි. සමහර විටෙක එම දරුවන්ගේ දෙමව්පියන් හට ඉගෙනීම පිලිබඳ දැනුම් තේරුම් මද විය හැකිය. ඒ හේතුව නිසාම අධ්‍යාපනය නාමයෙන් හෝ ඒ සඳහා නාගරික පරිසරය සමග ගැටීම මගින් සහ නව සමාජ ප්‍රවනතා හරහා තරුණ තරුණියන් වැරදිසහගත සහ නොයෙකුත් අපචාර කරා යොමු වීමද ජීවිතයම කඩාකප්පල් කර ගැනීම් ද සිදුවිය හැකි බව කතුවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අලුතින් සිතන්නට පෙළඹෙන තරණ පරපුරක් ඇති වීම හොඳ ප්‍රවනතාවකි. සම වයසේ පාසල් මිතුරන් අතර පාසලේදී කෙරෙන වාද විවාද හරහා තරුණ පරපුර මුහුණ දෙන ගැටළු සහ අනාගතය පිලිබද ඔවුන් කෙරෙහි ඇති අවිනිශ්චිතතාවය පිළිබඳ හැඟීම් ද පල වේ. වාමාංෂික අදහස් මුල් කොට ගෙන මෙවැනි ප්‍රශ්න සඳහා තිරසාර පිළිතුරු සොයන්නට ඔවුන්ගේ මනස යොමුවේ. පාසල තුළ ළමයින් අතරේ වුවද, ගුරුවරුන් අතරේ ද ඇති නැති පරතරය හා බැඳුනු වෙනස්කම් හා සැලකිලි නැතුවා නොවේ. එහෙත් ඒ හැලහැප්පීම තුළ වුවද නොසැලී ඉගෙනීම් කටයුතු වල යෙදීමට මෙන්ම සමාජයේ හැසිරීමටද කෙනෙකු දක්ෂ විය යුතුය.

පාසලේ ඉගෙනීමේ කටයුතු, බාහිර ක්‍රියාකාරකම් මෙන්ම නේවාසිකාගාරයේ කාලසටහන තුලට අනුගතව වැඩකරන්නට වීමෙන්ද පාසල් වියේ සිටින යෞවනයකුගේ කාන්සිය, තනිකම හා ජීවිතයේ කම්කටොලු පිළිබඳ හැඟීම් සමනයවී යයි. දුප්පත් පවුලකින් පැමිණි ශිෂ්‍යයෙකුට නම් නේවාසිකාගාරයේ ආහාර සහ පහසුකම් උවමනාවටත් වඩා එහා ගිය ඒවා විය හැක. 

කතානායිකාව මෙන්ම වටා සිටින චරිත ද ක්‍රමිකව පරිනාමයට ලක්වෙති. කුඩා කාලයේ බොහෝ දඟ ළමයෙක් පසුව තැන්පත් වෙන්නාක් මෙනි. එය ජීවිතයේ ස්වභාවයයි.

ජයලත් සූරින් යුවතියකගේ හැඟීම් විදහා දැක්වීමේ ලා පුදුම එලවන තරම් සමත්කම් දක්වයි.  

විටෙක ඒ අහිංසක සිතුවිලි හරහාය.

“සමහර දවසක කමලාවතීගේ ගෙදරදී දවාලට බත් කන්නට ගිය කළ මට නංගිලා සිහිපත් වූහ. එදාට මට බත් උගුරේ හිර වෙයි. නංගිලා නැතිව තනිව ම බත් කෑම ගැන වන්දි වශයෙන් මම ලොසින්ජර හෝ කෙසෙල් ගෙඩි හෝ මට ලැබුණු දෙයින් කොටසක් ඉතිරි කර ගෙදර ගෙන ආවෙමි.

තවත් විටෙක දැරියන් අතර ඇතිවන මානුෂික බැඳීම් තුලිනි.

“පද්මිණී සේනාරත්න හා මම මේ වාරය අවසාන වන විට හොඳම හොඳ මිතුරියෝ වීමු. අපගේ වයසේ ගැහැනු ළමයින් අතර ඇතිවන මෙවැනි ආශ්‍රයන්හි පුදුම බැඳීමක් ද රසවත්කමක් මෙන්ම බොළඳකමක්ද ඇත. අපි නොදැක ඉන්නට බැරි තරමට එකිනෙකා වෙත බැඳුනෙමු.

මෙවැනි අවස්ථා කතාව තුළ බොහෝ ඇත. කතාව අවසාන වන්නේ නැත්නම් පොතේ පළමු පිටුව ආරම්භයේ කුසුම්ගේ සිතුවිලි මෙසේ දිගහැරේ.

“මට නින්ද නොයන්නේ වේදනාවකින් නොවේ. සවස කඳුළු ටිකක් වැටුණු බව සැබවි. ඒවා හැඟීමකින් උපන් කඳුළු යයි මම නොසිතමි. සමහර විට ඒ ගැහැනු ගතියට වැටුණු ඒවා විය යුතුය.

එදත් අදත් අප අතර කුසුම්ලා කොතෙකුත් සිටිති. සියළු දුක්ඛ දෝමනස්සයන් දරා ගෙන ඔවුන් තම ජීවිතත්, ඇසුරේ සියල්ලන්ගේ ජීවිතත් එළිය කරති. ජිවිතාබෝධයත් තමා පිළිබඳ විශ්වාසයත් සමග කැපවීම හා නිර්මාණශිලිබවත් එක්වූ කළ ජීවිත සුන්දර වේ. එහෙත් තමන්ට පාලනය කළ නොහැකි කරුණු හේතුවෙන් කෙනෙකු පරාජයන්ට, පසුබෑම්වලට හා කලකිරීම් වලට පත් විය හැකිය. දිගින් දිගටම බාහිර ලෝකයෙන් බැට වැදුනත් ඉන්ද්‍රඛීලයක් සේ නොසැලෙන ගුණයෙන් යුතුව ඒවාට මුහුණු දෙන්නට ඔවුහු සමත් වෙති. ඔවුහු අඳුරු නිවෙස් එලිය කරති. කළු වලා තුළ රිදී රේඛා මතුකර ගනිති.

කරුණාසේන ජයලත් සූරින් ගැහැනු ළමයි නවකතාවට ඈඳුනු තවත් කතා දෙකක් “පිරුණු හඳක් සහ හතුරු හිතක් ද නිර්මානය කරමින් මෙම සංවාදය, චරිත අතර මෙන්ම සමාජය තුළ ඇතිවන ගැටුම් හරහා තවදුරටත් ඉදිරියට ගෙන යයි.

අවසාන වශයෙන් කිව යුත්තේ “ගැහැනු ළමයි අදටත් විශේෂයෙන් තරුණ පරපුර විසින් කියවිය යුතු නවකතාවක් බවයි. ඒ තුලින් ජීවිතයට ගුරුහරුකම් ලබා ගන්නටම නොව ජිවිතයේ චමත්කාරය, ආනන්දය මෙන්ම විප්‍රලම්භ ශෘංගාරය ද නොඅඩුවම විඳිය හැකි හෙයිනි. එය අප හදවත් වලට ආමන්ත්‍රණය කරන හෙයිනි. කලා කෘතියකින් කළ හැකි බොහෝ දේ ගැහැනු ළමයි  හරහා කරුණාසේන ජයලත් සූරීන් ඉටු කොට ඇතැයි අපට සිතේ.

 

සිරිකුමාර ගුණසිංහ

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...