Monday, December 9, 2013

කොච්චි මිරිස්

පාර්ලිමේන්තුවේ අයවැය විවාද යන අතරේ අපේ දවසත් හරිම කාර්ය බහුල වුණා. ඒත් ඒ අතරතුර යම්කිසි සටහනක් තියන්න හිතුවා.
අද අම්මා ගෙදරින් බත් උයාගෙන ඇවිත් තිබුණා. වෑංජන් එකක් වශයෙන්  තිබූ අල බැදුමට කොච්චි මිරිස් කරලුත් දාලා තිබුණා. මතක හැටියට කොච්චි මිරිස් කෑවේ අවුරුදු ගණනාවකට පස්සේ. ඉස්සර නම් කොච්චි මිරිස් අපි නිතර කෑවා. දැන් නොපුරුදු බව හින්දද කොහෙද දැවිල්ල වැඩියෙන් දැනෙනවා. ගමේ පාසලේ ඉගෙන ගත් කාලේ විවේක කාලයේදී අපට ලැබුණු ඇදිහැස බිස්කට් අපි කෑවේ පාසල් වත්තේ වවා තිබූ සුදු කොච්චිත් එක්කයි. ඒ දවස් වල මොනවා කෑවත් සැරට කෑමටයි අපි හුරු වෙලා හිටියේ. කොච්චි අඹරලා හදා ගත්තු ලුණු මිරිසක් එක්ක පාන් කාලක් කන එක අපිට බොහොම හුරු දෙයක්. සමහර කුරුල්ලනුත් දැවිල්ල නොතකා කොච්චි කෑමට ප්‍රිය කරන බව ඒ දවස්වල අපි දැක්කා. සාමාන්‍යයෙන් කොළපාට වන කොච්චි මිරිස් වලට අමතරව විවිධ කොච්චි වර්ගත් තිබුණා. ප්‍රමාණයෙන් තරමක් ලොකු සුදු කොච්චි ඉන් එක වර්ගයක්. ගෙදර පපඩම් බදින වෙලාවට පපඩම් බැදලා ඉවර වුනහම කොච්චි මිරිස් කරල් ගොන්නක් කොළ කිහිපයකුත් එක්කම කඩා ගෙන ඇවිත් බැද ගත් විට රස නහර පිනා යන බැදුමක් හදා ගන්නට පුළුවන් වුණා. උදේ කෑමට කඩල තම්බපු දවසට එය තෙම්පරාදු කරන්නට අබ වලට අමතරව ප්‍රධාන වශයෙන් යෙදුවෙත් කොච්චි කරල්.


ආර්ථික මධ්‍යස්ථානයට ගියහම විකුණන්නට තබා තියෙන කොච්චි දැක්කත් ඒවයේ උපයෝගිතාවයක් මතක් නොවන හන්දා මිලදී ගන්න පුරුද්දක් මට ඇතිවුණේ නැහැ. ඒත් ඒවාට නගරයේ තවමත් හො ‍ඳ ඉල්ලුමක් ඇති බවට ඇති හොඳම සාධකය නම් ඒවා‍යේ මිල. සමහර දවස්වල උදේට පාර අයිනේ දමා ගොස් තිබෙන තොවිල් තටු දුටුවහම මතක් වන්නේත් සමහර පුරුදු සමහර අය අත් නොහැර ගමෙන්  නගරයට ගෙනැවිත් ඇති බව. මා අදහස් කලේ අළුත් පරිසරයක හැසිරෙන්නට සමහරුන්ගේ ඇති නොහැකියාව ගැන නම් නොවේ. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...