Friday, November 29, 2013

අපේ කාලෙ වීරයින්
1976 දී පැවැත්වුණු නොබැඳි සමුළුව ගැන පාසල් වියේ මතකය තවමත් අවදි කරන්නට පුළුවනි. එදා ආපු නායකයින් බොහෝ දෙනෙක් අපේ රටේ ජනප‍්‍රිය චරිත බවට පත්වුණා. කර්නල් ගඩාපි, සැම්බියාවේ කෙනත් කවුන්ඩා, ටැන්සානියාවේ ජූලියස් නියරේරේ, යුගෝස්ලාවියාවේ මාර්ෂල් ටිටෝ සහ තවත් බොහෝ දෙනෙක් නම් කරන්නට පුළුවනි. මේ දේ මට මතක් වුණේ ළඟදි තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගී වුණු විදෙස් රාජ්‍ය නායකයින් ගැන එදා තරම් කාටවත් නිනව්වක් ඇති බවක් නොපෙනුණු හන්දායි. ඒකට හේතුව මොකක්ද කියලා සිතා බලන්නට වටිනවා. එක පැත්තකින් එදාට වඩා අද සන්නිවේදන ක‍්‍රම ඉතා දියුණුයි වගේම තොරතුරු ගලා යාම ඉතා සීඝ‍්‍රයි. එදා සන්නිවේදන මාධ්‍යය ප‍්‍රධාන වශයෙන් පුවත්පත සහ ගුවන් විදුලියට සීමා වීමම මේ තත්ත්වයට එක හේතුවක් වන්නට ඇති. 

මෙහි තවත් පැත්තක් ඇතිබව සිතන්නට පුළුවන්. මගේ මතකයට එන්නේ යම් කිසි මට්ටමකින් මේ නායකයින් සමග කිට්ටුවන්ත වූ මගේ හිතමිතුරන් මේ නායකයින් ගැන මා සමග පැවසූ දේවල්. ඝානාවෙන් පැමිණි ලිනුස් මගේ සමීප මිතුරකුව සිටියා. අපි අපේ රටවල සමාජය, ඉතිහාසය, දේශපාලනය වගේ මාතෘකා පිළිබඳව සාකච්ඡා කිරීමට සහ එකිනෙකා සමග බෙදාහදා ගැනීමට අප පුරුදුවී සිටියා. ඔහු ඝානාවේ තරුණ සංවිධාන නායකයකු ලෙස වරක් ගඩාපිගේ ආරාධනයෙන් ලිබියාවේ සංචාරයක නිරතවී තිබුණා. ඒ ගමනේදී ගඩාපි හමුවී (එක් දහස් නමසිය අසූව දශකෙය් මුල් වකවානුවේ) කතා කරන්නට ලැබුණු බව ඔහු කීවා. බටහිරට ගැති නොවුණු සහ අනුකරණයෙන් තොර තමන්ටම ආවේණික සංවර්ධන ප‍්‍රවේශයක් පිළිබඳ විශ්වාසයකින් ගඩාපි පසුවූ බවයි ලිනුස් මා සමග පැවසුවේ. එය අප‍්‍රිකානු ප‍්‍රවේශයක් කරගන්නට ඔහු වැර දැරුවා. ඒ අනුව ඔහු කලාපයේ තරුණයන් අතර එය ප‍්‍රචාරය කරන්නත් වෙහෙසුණා.

මීළඟට මට මතක් වුණේ මගේ ටැංසානියානු මිතුරන් 1999 අවුරුද්දෙ, ජුලියස් නියරේරේ ලන්ඩන් නුවර රෝහල්ගතවී ඉන්නා දවස් වල දුක්වූ අන්දම. නියරේරේ අසාධ්‍ය ලෙස රෝගාතුර වී රෝහල්ගත කර සිටින විට ටැංසානියානු මිතුරන් සිටියේ තමන්ගේ දෙමව්පියන්ගෙන් කෙනෙක් රෝගාතුර වූ විටක හැසිරෙන ආකාරයට.  තමන්ගේ නායකයාට ඔවුන්ගේ බැඳීම ඒතරම් දැඩි වුණා. එහෙම වුනේ ඇයිදැයි ඔවුන් විස්තර සහිතව මා සමග පැවසූවා. ඔහු වාසය කල නිවහන කොයි තරම් සරල එකක්දැයි ඔවුන් මට පෙන්නුවා. ඔවුන් නියරේරේ හැඳින්වූයේ Mwalimu යන නමින්. ස්වාහිලි බසින් එහි තේරුම ගුරුවරයා යන්න. ඇත්ත වශයෙන්ම වෘත්තියෙන් ඔහු ගුරුවරයෙක්.


No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...