Friday, March 7, 2014

අපේම මව් රට

ඊයේ පෙරේදා දවසක ගුවනින් කොළඔ සිට මැදවච්චිය දක්වා ගොස් එන්නට හැකිවුණා. ඒ රාජකාරියක් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින්. පළමු වරට හෙළිකොප්ටරයකින් ගමන් කිරීමත් අළුත් අත්දැකීමක්. විශේෂයෙන් ගුවන් නියමුවන් දෙන්නා කඩදාසි සිතියමක් බලමින් ගමන් මාර්ගය නිවැරදි කරගනිමින් යන එක හරිම අපූරුයි. ගුවන් යානයකින් යනවාට වඩා හුඟක් පහළින් යන නිසාත් අඩු වේගයෙන් යන නිසාත් මෙහිදී රටේ භූමි පරිභෝජනය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මුලින්ම දැනෙන දේ තමයි බිමදි අපි කොහොම දැක්කත් අපේ රට හුඟක් කොළ පාටයි කියන එක. ඊළඟට අපේ භූමි පරිභෝජන රටාව අපිට බිමින් පේනවාට වඩා පිළිවෙළකින් යුතු බව. මම පිළිවෙළක් කියා අදහස් කලේ නියමිත කෘෂිකාර්මික ප‍්‍රමිතීන් අනුගමනය කොට වගා කිරීම ආදිය. කොහොම වුණත් මේ රටාව කුරුණෑගල පැත්තට කිට්ටු වන විට ඉතා හොඳ මට්ටමට ඇවිත් ඉන් එහාට යන කොට තරමක් දුර්වල වේගන යන බව දකින්න පුළුවන්.


අනුරාධපුරයට උඩින් යන විට මෑත ඉදිකිරීම් වලට සාපේක්ෂවල අපේ පැරණි ඉදිකිරීම් වන රුවන්වැලි සෑය, අභයගිරිය සහ ජේතවනාරාමය කැපී පෙනෙනවා. රජරටට උඩින් යනවිට භූමිය පුරාම විසිරී ඇති වැව් දකින්නට පුළුවන්, කලා වැවල නුවර වැවල තිසාවැවල මහකනදරාව වගේ වැව් පහසුවෙන් අඳුරා ගන්නට පුළුවන්. අතර මගදි පෙනුණු වාරි ඇලවල් දැදුරුඔය ව්‍යාපාරයේ කියලා හිතන්න පුළුවන්. කෙත් වතු වලට අමතරව රේල් පාරවල් දිගේ යන කෝච්චි, කුඩා නගර, කඩමණ්ඩි ආදිය උඩින් යන විට සිතෙන්නේ මේවා මීටත් වඩා පිළවෙලකට හදා ගන්නට අපට පුළුවන් කියන හැඟීම.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...