Wednesday, August 27, 2014

අම්මා


ඉරිදා මහරගමදී පැවැත්වුණු උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා කෘතිය දොරට වැඞීමට යන්න සූදානමින් සිටියත් යන්න බැරි වුණා. මගේ සගයෙකුට කතා කළත් ඒකට මනාපයක් ලැබුණේ නැත්තේ සන්නස්ගලගේ ලියුම් කියුම් පිළිබඳව නොකැමැත්ත මත. කොහොම වුණත් සඳුදා ගෙදර යන ගමන් පොත ගන්නට පුළුවන් වුණා. රැ දොළහ විතර වෙනකොට පොත කියවලා ඉවර කළා. පොත කියවලා ඉවර කරනකොට ආපු හැගීම විස්තර කරන්න තරමක් අමාරුයි. එක පැත්තකින් බැලුවහම ෂොක් වුණා කිව්වොත් හරි. මොකද සාමාණයයෙන් ඇඳට වැටෙන්නත් පෙර නින්ද යන මට එදා නින්ද ආවේ සෑහෙන පමා වී. හැට හැත්තෑව දශක වල උඩරට එහෙම නැත්නම් ඉහළ ඌවේ ගම්මානයක හරස්කඩද අපි දකින්නේ කියන පැනය අපට ඇති වෙනවා. ඔහු කියන හපුතලේ අවට තියන ගම්මාන ගැන කාලේ යම්තමින් හෝ ඇසුරක් අපට තිබූ හන්දා එය මට වඩාත් සංවේදී වුණා. එහිදී අපි විඳි සුන්දරත්වය යටින් තිබුණේ මෙච්චරම කටුක කතාවක්දැයි මට හිතා ගන්නට බැහැ. හැබැයි ජීවිතය හිතන තරම් සුන්දර නොවන බව අපට දකින්නට තිබූ යම් යම් දේ වලින් තේරුණා.

කොතැනක හෝ වැරැද්දක් ඇති බව පෙනුණත් එකපාරටම එය අල්ලා ගන්නට අමාරුයි. විශේෂයෙන් සමාජය පිළිබඳ අදහස් වලදී කතානායකයා දක්වන පුරුෂාර්ථ පිළිබඳ ගැටලු තිබුණත්, සමහරක් සිද්ධි ඉදිරිපත් කරන විලාසය පිළිබඳ ගැටලු තිබුණත් පොතේ බොහෝ තැන් අපට කිට්ටුයි නැත්නම් අපේ හැඟීම් වලට කිට්ටුයි. ජීවිතය හරහා ගෙනෙන සමහරක් උපමා අපූරුයි. උදාහරණයක් හැටියට ලොරියකට පස්සෙ පටවන බඩු ඉස්සරවෙලාම බානවා කියන එක. එක් පධාන පශ්නයක් තමයි කතානායකයාට අම්මාව තරම්ම මග හැරුණේ ඇයි කියන එක. අප කාට කාටත් ජීවිතේ බොහෝ දේවල් මග හැරෙනවා. ඒත් කොයි තරමටද සහ එක් එක්කෙනා ඒවාට කොයිතරම් සංවේදීද යන්න වෙනම කාරණයක්. ඒවා පිළිඹිඹු කරන්නේ අපේ ආකල්ප හා සාරධර්ම බවයි මගේ හැඟීම.

Tuesday, August 12, 2014

ඇසළ අසිරිය

පසුගිය සිකුරාදා නිවාඩුවක් අරගෙන නුවර ගියේ පෙරහැර බලන්න. ගෙදර අයත් සමග හිතවතුන් කිහිප දෙනෙකු මේ ගමනට එකතු වුණා. පාසල් නිවාඩු කාලය හන්දා කොළඹින් ඈත් වෙලා පැය කිහිපයක් හෝ ගත කරන්නත් අපට මේක අවස්ථාවක් වුණා. කැබ් සර්විස් එකකින් වෑන් එකක් හයර් කළේ රිය පැදවීමේ වගකීමෙනුත් අපි සියළු දෙනාට නිදහස් වන්න අවශ්‍ය වූ හන්දා. කොළඹින් දවල් දොළහ වීමට පෙර පිට වුනත්, කිරිබත්ගොඩ හරියේ පාර කාපට් කිරීම නිසා ඇතිවී තිබූ තදබදයට අසුව කඩවතට යනකොටත් හවස දෙක පසුවෙළා. කෑගල්ල හරියට එනකොට පටන් ගත්ත හීන් පොද වැස්ස පේරාදෙනිය කිට්ටු කරනකොට මොරසූරන වැස්සක් බවට පත්වෙළා. අපට ‍පෙරහැර බැලීමට වෙන් කළ ආසන තිබූ හන්දා හදිසි වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අතරමග කඩුගන්නාව කන්ද නගිද්දී පාර අයිනේ තම්බා විකුණන බඩ ඉරිගුවල රහ බලන්නටත් අපට ‍පුළුවන් වුණා. හවස හය පමණ වන විටත් වැස්ස තුරල් වී නොතිබුණු හන්දා අප සිටියේ තරමක දෙගිඩියාවකින්. ඒත් ටෙන්ට් ඇතුළේ වාඩිවී සිටි පිරිස වගේම වැටෙන් එහා වැව් ඉවුර දිගට කුඩ ඉහලාගෙන සිටි පිරිසගේ මුහුණු වලත් එහෙම දෙගිඩියාවක් ඇති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. සවස හතට විතර මාලිගාව අසලින් එනකොටත් අලි ඇතුන් බොහොමයක් සිටියේ කිතුල් බඩ කමින්. තව සුළු වෙලාවකින් පෙරහැර පටන් ගන්නා බවක් අපට පෙනුනේ නැත්තේ ඔවුන්ට ආයිත්තම් පවා අන්දවා නොතිබූ හන්දා. ඊට අමතරව පෙරහරේ යන දහස් ගණනක් වූ ශිල්පීන් එක් රොක්වී සිටින තැනක් අපට පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ කොහොම වුනත් සවස හතහමාරට පමන පෙරහැර පටන් ගන්න කොට එතෙක් තිබූ මහ වැස්ස සිහින් පොදක් බවට පත්වෙළා. මුලින්ම කළේ පෙරහැර යන මාවත කහ වතුර බවුසර යොදාගෙන සේදීම. එක පාරටම ආයිත්තම් වූ අලිඇතුන්, කසකරුවන්, බෙර සහ තම්මැට්ටම් කරුවන්, විලක්කු අතින් ගත් අය, බොරුකකුල් කරුවන්, නොයෙකුත් නැටුම් ශිල්පීන් ආදී මෙකී නොකී පිරිවර සමග පෙරහැර ඇදී ආවේ උල්පතකින් වතුර ගලන්නා වාගේ. කිලෝමීටර ගණනක් දිග පෙරහැර එතෙක් වෙලා කොහේද තිබුණේ කියන පැනයයි අපේ ඔලුවට ආවේ. දළදා කරඞුව මාලිගාවෙන් එළියට වඩම්මනකොට සිහින් පොදත් හොඳටම තුරල් වෙළා. සතර දේවාල කරඞු පෙරටු කරගත් සතර දේවාල පෙරහර අප සිටි තැන පසු කරන කොට මධ්‍යම රාතියට කිට්ටු වෙළා.
දහස් ගණනක් සෙනග පිරී සිටියත් කිසිම කලබලයක්, ගාල කඩාගෙන දිවීමක් කොතනකවත් පෙනෙන්නට නැහැ. මිනිස්සුන්ගෙන් වගේම අලි ඇතුන්ගෙනුත් මේ සංයමය අපි දැක්කා. අප සිටි නැරඹුම් පීටිකා වල සවිකර තිබූ රූපවාහිනී තිර තුලින් ‍මාලිගාව මගින් විකාශය කරපු සජීව වැඩසටහන දකින්නට පුළුවන් වුණා වගේම එය Wi-Fi free පෙදෙසක්.  දියවඩන නිළමේ නිලංග දෑල මහතා කියලා තිබුණා වගේ එක් පෙරහර වාරයක් ඉවරවුණු දවසේ පටන්ම ඊලග පෙරහැරට සූදානම් වීමේ අරුමය තමයි අපි මේ දකින්නේ. මේ තරම් විශාල සංස්කෘතික සංදර්ශනයක් එකවර දැක ගන්නට පුළුවන් අවස්ථා ලෝකයේ කොහේ හෝ තියෙනවාදැයි මා දන්නේ නැහැ. වතාවත් මුල් කරගත් අති විශාල සංස්කෘතික සංදර්ශනයක් වූ ඇසළ පෙරහර මේ තරම් හොදින් සංවිධානය කිරීම ගැන අපට ඇතිවන්නේ සද්ධාසම්පන්න සතුටක්.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...