Wednesday, August 27, 2014

අම්මා


ඉරිදා මහරගමදී පැවැත්වුණු උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා කෘතිය දොරට වැඞීමට යන්න සූදානමින් සිටියත් යන්න බැරි වුණා. මගේ සගයෙකුට කතා කළත් ඒකට මනාපයක් ලැබුණේ නැත්තේ සන්නස්ගලගේ ලියුම් කියුම් පිළිබඳව නොකැමැත්ත මත. කොහොම වුණත් සඳුදා ගෙදර යන ගමන් පොත ගන්නට පුළුවන් වුණා. රැ දොළහ විතර වෙනකොට පොත කියවලා ඉවර කළා. පොත කියවලා ඉවර කරනකොට ආපු හැගීම විස්තර කරන්න තරමක් අමාරුයි. එක පැත්තකින් බැලුවහම ෂොක් වුණා කිව්වොත් හරි. මොකද සාමාණයයෙන් ඇඳට වැටෙන්නත් පෙර නින්ද යන මට එදා නින්ද ආවේ සෑහෙන පමා වී. හැට හැත්තෑව දශක වල උඩරට එහෙම නැත්නම් ඉහළ ඌවේ ගම්මානයක හරස්කඩද අපි දකින්නේ කියන පැනය අපට ඇති වෙනවා. ඔහු කියන හපුතලේ අවට තියන ගම්මාන ගැන කාලේ යම්තමින් හෝ ඇසුරක් අපට තිබූ හන්දා එය මට වඩාත් සංවේදී වුණා. එහිදී අපි විඳි සුන්දරත්වය යටින් තිබුණේ මෙච්චරම කටුක කතාවක්දැයි මට හිතා ගන්නට බැහැ. හැබැයි ජීවිතය හිතන තරම් සුන්දර නොවන බව අපට දකින්නට තිබූ යම් යම් දේ වලින් තේරුණා.

කොතැනක හෝ වැරැද්දක් ඇති බව පෙනුණත් එකපාරටම එය අල්ලා ගන්නට අමාරුයි. විශේෂයෙන් සමාජය පිළිබඳ අදහස් වලදී කතානායකයා දක්වන පුරුෂාර්ථ පිළිබඳ ගැටලු තිබුණත්, සමහරක් සිද්ධි ඉදිරිපත් කරන විලාසය පිළිබඳ ගැටලු තිබුණත් පොතේ බොහෝ තැන් අපට කිට්ටුයි නැත්නම් අපේ හැඟීම් වලට කිට්ටුයි. ජීවිතය හරහා ගෙනෙන සමහරක් උපමා අපූරුයි. උදාහරණයක් හැටියට ලොරියකට පස්සෙ පටවන බඩු ඉස්සරවෙලාම බානවා කියන එක. එක් පධාන පශ්නයක් තමයි කතානායකයාට අම්මාව තරම්ම මග හැරුණේ ඇයි කියන එක. අප කාට කාටත් ජීවිතේ බොහෝ දේවල් මග හැරෙනවා. ඒත් කොයි තරමටද සහ එක් එක්කෙනා ඒවාට කොයිතරම් සංවේදීද යන්න වෙනම කාරණයක්. ඒවා පිළිඹිඹු කරන්නේ අපේ ආකල්ප හා සාරධර්ම බවයි මගේ හැඟීම.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...