ලියන්න බොහෝ
දේ තිබුනත් ඒකට ඉස්පාසුවක් තියෙන්න ඕනා. පසුගිය දවසක පාසලේ අපේ උසස් පෙළ කණ්ඩායමේ
හමුවක් තිබුණා. එදා හැමදාම එන අයට වඩා වැඩියෙන් කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ
අතරින් මට විශේෂ වුණේ වෙනදා හමුවලට නොඑන (අවම වශයෙන් මා ගිය ඒවට නොආ) අපේ නේවාසික
සගයන් කිහිප දෙනෙකුගේ පැමිණීම. දශක කිහිපයකට පසු වුවත් ඔවුන් හඳුනා ගන්නට මට අපහසු
වුණේ නැහැ. එහෙත් ඔවුන්ගෙන් නම් බළාපොරොත්තුවූ තරම් උණුසුම් ප්‍රතිචාරයක් ලැබුණේ
නැහැ. මම ඇඳලා ගිය
ඩෙනිමයි කොලපාට ඉරි කමිසයයි, ඒ වගේ රාත්‍රී සාදයකට ගැලපෙන්නේ නැතැයි ඔවුන් සිතුවාද
මන්දා. ඒ හන්දා මම
ඔවුන්ගෙන් ඈත්වී වෙනත් මිතුරු කැලකට සමීප වුණා. ටිකක් වැදීගෙන එනකොට ඒ දවස්වල බෝලයා නමින්
හැඳින්වූ අපේ
නේවාසික මිතුරා ඇවිත් නැවතත් මා නේවාසික මිතුරු පිරිස අතරට එක්කරගෙන ගියා. එහි
හිටියා අපට වසරකින් වැඩිමල් අපේ සගයකුගේ සහෝදරයෙක්. මම ඇත්තටම ඔහුව එකපාරට ඇඳින්නේ නැහැ. ඒත් ඔහු
මාව අඳුනාගත්තා
විතරක් නෙමෙයි ඔහුහට මා ඒ දවස්වල ලියූ සටහනක ඔහුගේ නමට යටින් සරසවි පිවිසුම් පෙළ
කියා ලියා තිබූ බව මතක් කළා. එතකොටලු ඇත්තටම ඹහුට තේරුණේ ඹහු ඉන්නේ උසස් පෙළ
පන්තියේ කියලා. කොච්චර පරන මතකයක් ඹහු දරාගෙන ඉන්නවාද කියන එක මා පුදුමයට පත්කළා.
විශේෂයෙන් අපේ වැඩිමල් අය්යලා අතර මම එතරම් ජනප්‍රිය චරිතයක් නොවීත්.
මේ අතරතුරේ
අපේ සංගමයේ ලේකම් සහෝදරයා ඇවිත් මා වැඩකරන තැන ආදිය ගැන වර්ණනවක් කළා. එයින් පසුව
සියල්ල කනපිට පෙරළුනා වගෙයි. ඉන්පසු සියළු දෙනා මා සමග කතා කරන්නට බොන්නට
උනන්දුවක් දැක්වූවා. ඒත් ඒ වෙනකොට මගේ උනන්දුව හීන වෙලා ගිහින්. සමහරක් යාළුවන්
අතර පුංචි කාලේ තිබුණු සරළ සිත් කොහේ ගිහින්ද කියලා හිතුණා.
No comments:
Post a Comment