Monday, December 29, 2014

මාම කැච්චක් හොඳමයි! (ආයුබොවන්)


පසුගිය විසිපස්වෙනිදා අපි ගියා දඹානට. උදේම ගියේ පින්නවලට. අවුරුදු ගානකට ඉස්සර වෙලා ගියාට වඩා එහි යටිතල පහසුකම් වැඩිදියුණු කරලා. එම ස්ථානය විශේෂයෙන් විදේශිකයන් අතර ඉතා ජනප්‍රිය හන්දා එහි ආදායමත් මේ වැඩිදියුණුවට හේතු වන්න ඇති. ඊට පසුව කඩුගන්නාවෙ වැලමිට වංගුවේ නවත්තලා දවල් කෑම ගත්තා. එතන පරිසරය හරිම සුන්දරයි. එපිටින් පෙනුන කඩුගන්නාව කන්දේ බිංගෙවල් හරහා දුම්රිය යනවා එතනට පෙනෙනවා. මිටියාවතේ පහල ඇති බයිබල් රොක් එක ඇතුළු සියළු කඳු මීදුමෙන් වැසී ගිහින්. හන්දියෙන් උඩට යන අතුරු පාර පටන් ගන්න තැන වහලා තිබුණු පෙට්ටි කඩේ ලෑලි බංකුව උඩ ඉඳගෙන අපි ගෙනියපු බත්මුල් ලිහා ගෙන කෑවා. හුග කාලෙකට පස්සේ ගමනකදී ගෙදර හදපු බත්මුල් කෑවේ.

ඊට පස්සෙ නුවරට ගිහින් දළදා මාලිගාව වැඳලා මහියංගනයට යන්න පිටත්වුණා. අපි සැළසුම් කළේ දහඅට වංගුව පාරෙන් මහියංගනයට යන්න. වික්ටෝරියා වේල්ල හරියට ගියාම ආරංචි වුණේ ඒ පාර වහලා කියළා. දැන් විකල්ප දෙකයි. තැන්නෙකුඹුරට ආපසු කිලෝමීටර 30 ක් විතර ඇවිත් රජමාවතේ ආපසු මහියංගනය දෙසට යන එක. නැත්නම් වික්ටෝරියා වේල්ල උඩින් රජමාවතට මාරුවන එක. ඒත් ඒ සඳහා විශේෂ අවසරයක් ගත යුතුයි. ඒ වන විට හවස හයත් පහුවෙලා. අවසරය ඉක්මණින් ලබා ගත් හන්දා අපි වික්ටෝරියා වේල්ල උඩින් ගියා. වාන් දමන වික්ටෝරියා වේල්ල නොදුටු ඇස් මොකටද කියළා හිතෙන තරම් සුන්දර දසුනක්. ඊටම සරිලන විදිහට එයට ප්ලෑෂ් ලයිට් එල්ල කර තිබුණා. ඊට පසුව අපට හමුවුණු රන්දෙනිගල වාන් දමන දර්ශනයත් ඉතා අලංකාරයි.

දොඹ සූරන වැස්සේ අපි ආඳාඋල්පත නාගදීප වැව් ඉස්මත්තෙ පිහිටා තිබූ අපේ නවාතැනට ගියා. ඒක පුරාවිද්‍යා සර්කිට් බංගලාවක්. පසුවදා උදේත් එක දිගටම වැස්ස. නාගදීප වැව වාන් දමනවා බලන්නත් අපි ගියා. අල්ලන මාළු මිළදී ගන්නත්, වැව වාන් දමනවා බලන්නත් සෙනග පිරිලා හිටියා.

අපේ ප්‍රධාන ඉලක්කය දඹානට යාම. ඒත් දඹානට යන පාරත් තැනින් තැන වතුරෙන් යටවෙළා. කොහොම හරි දඹානට ගිහින් දැනට වැඩිදියුණු කරමින් පවතින වරිග මහ ගෙදර හෙවත් ආදිවාසී කෞතුකාගාරෙ බැලුවා. නායක ඇත්තන්ගේ පස්වන පුතාවන හීන්බණ්ඩා ඇත්තෝ තමයි කටුගෙයි භාරකරු. ඒත් ඔහු හිටියේ සාමන්‍ය ඇඳුමෙන් සැරසී. අපි නායක ඇත්තන්ගෙ ගෙදරට ගොඩවැදිච්ච වෙලාවේ අපිට හමුවුණු නායක ඇත්තන්ගේ ලොකුපුතා නම් හිටියේ සම්පූර්ණ වැදි ඇඳුමෙන්. ඔහු අපිත් එක්ක කතා කළෙත් ඒ භාෂාවෙන්.

මිනිත්තුවක් ඇතුලත දඹාන FM එකේ සජීවි සංවාදයකට සම්බන්ධ වන්න අපිට ලැබුණා. ඒකේ විකාශන මැදිරිය පිහිටා තියේනනේ දෙහිඅත්තකණ්ඩියේ. ඒ කටුගෙයි ඉදිරි කටයුතු සම්බන්ධයෙන්. ආදිවාසී අනන්‍යතාවයත් රැකගෙන කටුගෙය වැඩිදියුනු කරන ආකරය ගැනයි අපි සාකච්ඡා කළේ. සජීවිව එයට සම්බන්ධ වුනේ මොබයිල් ෆෝන් එකක් හරහා.  

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...