Wednesday, February 4, 2015

පිංකම


සති පිරිත් පිංකමක් පවත්වා අවසානයේ පෙරහරකින් පසුව දේවදූතයා විසින් දොරකඩඅස්න කියන පිංකමක් ගමේ පංසලේ පැවැත්වුණා. පසුගිය සෙනසුරාදා එහි ගියේ පිංකමට සහභාගී වන බළාපොරොත්තුවෙන්. පෙරහැර පටන් ගත්තේ හවස හයට පමන. අලි ඇතුන් ඒ තරම් නොහිටියත් විවිධාකාර අංග ගණනාවක් පෙරහරේ තිබුණා. රයිගම ඉඳන් පොකුණුවිට බුරුම පන්සල දක්වා ගිය පෙරහැර ආපසු පන්සලට එනකොට මධ්‍යම රාත්‍රියට කිට්ටුවෙළා. පිංකමට සමගාමීව මල්වෙඩි සංදර්ශනයකුත් පැවැත්වුණා.

අපි පුංචි කාලේ වඳින්නට ගිය පංසලත් එක්ක සැසඳූවිට පංසලේ යටිතල පහසුකම් හුගක් දියුණුයි. බොහෝ තැන්වල බිමට සිමෙන්ති ගඩොල් අල්ලලා. විශාල සාංචි තොරනක් ඉඳි කරලා. ලොකු දේවාලයක් හදලා. පන්සල් බිම පුරාම LED බල්බ් සවි කරලා (පිංකමට). ඉස්සර නම් මේ වගේ පිංකමක් පැවැත්වෙන කොට පන්සලේ පහන් පත්තු කරලා, ලොකු බල්බ් වැල් කිහිපයක් ඇදලා බොහොම චාම් විදිහට තමයි සරසලා තිබුණේ. කාලයත් සමග දේවල් වෙනස් වෙනවා. ඒක වලක්වන්න බැහැ. ඒත් පංසලේ පිංකමක් මගුල් ගෙදරක් වගේ සැරසුවහම ඒකේ පොඩි නොගැලපීමක් තියෙන බව තේරෙන්නේ නැත්තේ ඇයි කියලයි මම කල්පනා කළේ. පල්ලිවල මංගල්‍ය වලදී නම් මේ වගේ සැරසිලි දකින්නට පුළුවන්. කොහොම වුනත් ඒකෙ නොගැලපීමක් අපට පෙනෙන්නේ නැහැ. පල්ලිය ගැන අපේ හැගීම් ගොඩ නැගෙන අනෙක් කාරනා වලට අමතරව පල්ලියේ විවාහයන් සිද්ධ කරනවා කියන එකත් එකක්.

70 දශකයේදී මේ වගේ පිංකමක් කරපු වෙලාවකදී හත්තොට්ටුවේගම මහත්තයාගේ වීදි නාට්‍ය සංදර්ශනයක් සංවිධානය කළේ අපේ තාත්තා. ඕනම දෙයක් නිර්ධය විදියට විවේචනය කරන්න පසුබට නොවුනු මේ නාට්‍යකරුවන් පන්සලේ හාමුදුරුවන් සතු දේපල ගැන පතුරු යනකම් කතා කළා මතකයි. ඒත් හාමුදුරුවෝ ඒකට උරණ වුණු බවක් නම් මතන නැහැ. කොහොම වුනත් මේ වගේ පොදු කටයුතු වලට සහභාගි වන කණ්ඩායමක් ගම්වල ඉන්නවා. ඒ ගොල්ල තමයි දායක සභා ආදියත් නියෝජනය කරන්නේ. අන්න ඒ කණ්ඩායමේ සංයුතිය නැත්නම් profile එක කලින් කලට වෙනස් වන බව කියන්නට පුළුවනි.     

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...