Wednesday, January 20, 2016

Train Halts


අද තයිපොංගල් උත්සවය පැවැත්වෙනවා. ඒ හන්දා නිවාඩු. කිහිප දෙනෙක්ම විටින් විට කිව්වා මතකයි විෂය කරුනුත් ආශ්‍රය කරගෙන පොතක් ලියන්නැයි කියා. පත්තරයකට ඒ වගේ කොලමක් ලියන්න කියා ආරාධනයකුත් ලැබුනා. ඒ කියන්නේ ආර්ථිකය සහ සංවර්ධනය ඇසුරු කරගෙන. සමහරක් මාතෘකා වෙනස් වෙන්න පුළුවන් වගේම ඒවා දිගේ ටිකක් එහාට යන්න පුළුවන් වුනත් මම බ්ලොග් එකේ ලියන දේ වලට සමානව තමයි එහෙම ලියුවත් ලියවෙන්නේ. සංඛ්‍යා ලේඛණ ආදිය වැඩිපුර හවුල් කරගන්නට පුළුවන්. මොකවත්ම නොකර ඉන්නවට වඩා මේකවත් (බ්ලොග් එක) ලියන එකෙන් යම්කිසි තරමකට ලිවීමේ ආසාව සන්සිදෙනවා. කියවන ඉතාම ස්වල්පදෙනෙක් හරි ඉන්න එක අනිත් හේතුවයි.

අපේ පුරාවිද්‍යා කණ්ඩායම ඊයේ පෙරේදාත් රයිගම ගවේෂණයට ගියා. මගේ ස්ථාන මාරුවත් සමග දැන් මට එහි යන්න ඉස්පාසුවක් නැහැ. ඒ ගැන සියුම් කණගාටුවක් තියෙනවා. මම මේ ගවේෂණයට සහභාගී වීමෙන් මට තේරුම් ගිය දෙයක් තමයි රටේ උරුමය තබා අපේ ගම වටපිටාවේ ඇති  ඓතිහාසික උරුමය පවා දැකබලා ගන්න කුඩා කාලේ අපට අවස්ථාවක් නොවූ බව. මම කලිනුත් සටහනක් කර ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඩී බී කුරුප්පු මහතාගේ පොතක එන පරිදි ඔවුන් කුඩාකාලේ පසලෙන් ගිය චාරිකාවකදි හොරණ ඇල්ලෙ කන්දේ තියෙන වනහාමිගේ ගල් ගුහාව බලන්න ගොස් තිබුණා. (ඔහු මුලින් අකුරුකර තිබුණේ හොරණ කිට්ටුව උඩුවේ පාසලක) වනහාමිගේ ගුහාව ප්‍රාග් ‍‍ ඓතිහාසික ලෙනක්. ඒ තබා වීදියගොඩ පංසල, වල්ගම වැව, පොකුණුවිට පංසලේ සෙල්ලිපිය හා බිතුසිතුවම් සහ රයිගම රාජධානියට අදාල බොහෝ තැන් මම දැක්කේ මේ ගවේෂණයෙදි. රමුක්කන පංසල වගේම ගුංගමුවේ ලෙන් විහාරය සහ ලෙනවර පන්සල්ද ඉතා වැදගත් බව අපේ කට්ටිය මට කිව්වා. මෙකී නොකී සේරම ටික එකතු කරළා හෙරිටේජ් ට්‍රේල් එකක් හදලා බ්‍රෝචර් එකක් නිර්මාණය කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඒකෙන් බාල පරම්පරාවට මේවා බලන්න රුකුලක් වන්න පුළුවන් වගේම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටත් පිටිවහලක් වේවි. දකුණු අධි‍වේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව මගින් මේ ස්ථාන වලට පහසුවෙන් ප්‍රවේශ වෙන්නත් පුළුවන්.

ජපානයේ එක්තරා ග්‍රාමීය දුම්රියපලක් පවත්වාගෙන යන්නේ එය පාවිච්චි කරන එකම එක පාසැල් දැරියක් නිසා බව පසුගියදා වාර්තා වුණා. අපේ දුම්රිය සේවයෙත් දුම්රිය ස්ථාන අතර ඇති සමහර නැවතුම්පල මේ වගේ මගීන් වෙනුවෙන් නිල නොවන වශයෙන් භාවිත වුණු බව අප අසා තිබෙනවා. (ඒ ගැන වැඩිය විස්තර කතා කරන එක හොදද මන්දා? ) විශේෂයෙන් ප්‍රධාන දුම්රිය වලට අමතරව දිවෙන මන්දගාමී දුම්රිය. මෙයින් සමහරක් නැවතුම්පල ඈත අතීතයේදී ‍තේ ආදී නිෂ්පාදිත පටවා ගන්න භාවිතා වුණු ඒවා.

 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...