Friday, July 28, 2017

නවාතැන් පල ඔබයි


 

තාවකාලිකව හෝ ගමේ සිට නැත්නම් මහගෙදර සිට රැකියාවට එන්න ලැබීම අළුත් අත්දැකීමක්. ඒ සදහා පැය එකහමාරක කාලයක් ගතවෙනවා. අබලන් වූ පාරවල, බස් නැතිව වරු ගනන් රස්තියාදු වුණු හැටි මතක් වෙනවා. ඒත්ඒ කාලේ දී අපි ඒක දුකක් ලෙස සිතුවේ නැහැ. දැන් පාරවල් බොහොම දියුණු වෙලා ප්‍රවාහන සේවාවන්ද සෑහෙන දියුණු වෙලා. ඉතා කුඩා අතුරු පාරවල් පවා කාපට් කරලා. මගේ ලියවිලි කියවන මගේ යාළුවෙක් මට කිව්වා වඩා පෞද්ගලික දේ කියලා හිතෙන දේවල් ලියන්න එපා කියලා, ඒකෙන් කාටවත් වැඩක් වෙන්නේ නැතිනම්. ඒක මම පිලිගන්නවා. ඒ අනුව බැලුවහම හිතේ තියෙන දේවල් යම් ආකාරයකට හෝ සැහැල්ලු කරගන්න ලියවිල්ල පාවිච්චි කරන්න බැරි වෙයි. පසුගිය ලියවිලි බැලුවහම ඒහෙම ලියවුණු ඒවාත් ඇති බව මතක් වෙනවා.

කල්පනා කරලා බැලුවොත් අපි ඔක්කොම ඉන්නේ තාවකාලික නවාතැන් වල තමයි. මැදිවියට එනවිටත් (ස්ථිර?)ගෙයක් දොරක් හදා ගන්න බැරි වුනහම අසාර්ථකයි කියලා අපි බොහෝ විට කියනවා. නමුත් අපේ සබ්බ සකලමනාව එක එක තැන් වල තියෙන කොට පොඩි අවුලක් තියෙනවා. අවශ්‍ය වෙලාවට පොත් එකතුවෙන් අවශ්‍ය පොත සොයා ගන්න බැරි වුනොත් හෝ අවශ්‍ය වෙලාවට අවශ්‍ය සංගීතයක් අහන්න බැරි වුනොත් හෝ චිත්‍රපට වීඩියෝවක් බලන්න බැරි වුනොත් වගේම කිසිම දෙයක් නොකර ඔහේ ඉන්න ඕන වුනොත් එහෙම කරගන්න බැරි වෙන එක අවුලක්. ඒ හන්දා තරමක් හෝ ස්ථිර නවාතැනක් තියෙන එක වටිනවා.

ඕස්ට්‍රේලියාවේ ජීවත්වුණු ඩී.බී. කුරුප්පු මහතා අභාවප්‍රාප්ත වූ බව දැනුම් දී තිබුණා. ඔහුගේ ජීවිතය අළලා ලියු පොත් වල පෞද්ගලික තොරතුරු නොසගවා ලියා තිබූ බව මතකයි. වයසට යන විට විවෘතභාවය වැඩි වෙනවා ඇති. ඒ වගේම දේවල් දිහා උපේක්ෂාවෙන් බලන්න අපි පුරුදු වෙනවා. (ඒ ඇරෙන්න වෙන කරන්න දේකුත් නැති වෙනවා.) හොරණ ඉපදුනු කෙනෙක් වශයෙන් මෑත ඉතිහාසයේ යම් යම් දේ දැන ගන්න මම කුරුප්පු මහතාට ඊ මේල් එකක් යැවූ විට ඉතා උනන්දුවෙන් මට පිළිතුරු එවා තිබුනේ ගිය අවුරුද්දේ බවයි මට මතක.

ඉරිදා අපි අපේ මාමා කෙනෙකුගේ පරන යාළුවකු හම්බ වෙන්න කරන කියන ගමට ගියා. ඒ සහා පානදුර රත්නපුර මාර්ගයේ ඉංගිරිය පසුකොට මඩල හන්දිය දක්වා ගොස් එතනින්  වම් පැත්තට හැරී කිලෝමීටර හය හතක් යන්න ඕනා. පානදුර- රත්නපුර මාර්ගයේ බොහෝ වාරයක් ගමන් කර ඇතත් මේ අතුරු මාර්ගයේ යන්න ලැබුණේ පලමු වතාවට. තවම නාගරීකරනයට අසුවී නැති ගම් පළාතක්. ඒ වගේම අපි බලන්න ගිය මාමාගේ යහළුවාත් ගමේකම් තවම තියෙන කෙනෙක්. විශ්‍රාමලත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. අපි ඔහුව බලන්න ගියේ ලොකුවට plan කරලා නොවෙයි. ඒකත් අර ඉබාගාතේ යන්න අවශ්‍ය වෙලාවක ඒකට ලැබුණු නිදහස පාවිච්චි කිරීමක්.

 

Saturday, July 1, 2017

කෙටි සටහන්

නිතිපතා ලියන එක මගහැරී ගියේ ගෙවල් මාරුව සහ ගෙදර තිබුණු laptop දෙකම අබලන් වීම හේතුවෙන්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘ඇත්ත යුත්ත පොත කියවන්නට ලැබුණා. එය 1955 දී  ප්‍රකාශයට පත් වූ පොතක්. එහි දක්වා ඇති බොහෝ දේවල් අදටත් වලංගුයි. එහි අපේ අඩුපාඩු යන පරිච්ඡේදයේ මෙසේ සදහන් වෙනවා.

‘ජාතික පුස්තකාලයයි කිවහැකි පුස්තකාලයක් අපට ඇතිතේම නැතිය.ජාතික රංග පීඨයක් අපට නැතිය. අපේ රටත් අතීතයත්, අපේ සංස්කෘතියත් සිහි කරවන ප්‍රධාන පන්තියේ විනොද ස්ඨානයක් අපට තවම නැතිය. කටුගෙය පවා එවැනි තැනක් ලෙස තවම හැදින්විය නොහැකිය. තවමත් එය කටුගෙයක්ම වන බැවිනි.  
මේ වගේ එහි තිබෙන බොහෝ පරිච්ඡේද අපට නැවත කියවන්න හැකියි. මොකද සමහර අංශවල යම් යම් දේ සිද්ධ වෙලා තියෙන බව පෙනුනත් ඔහු පෙන්නා දෙන මූලික ප්‍රශ්ණ වලට එයින් විසදුම් ලැබී ඇත්ද යන්න ප්‍රශ්ණයක් හන්දා.

නිවැරදි ප්‍රතිපත්ති හරහා සාමානයෙන් අමාරුයි කියා පෙනෙන දේවල් පවා වෙනස් කරන්න පුළුවන් බව කලිනුත් ලියා ඇති. සෞඛ්‍ය හේතු මත පැනී හා පළතුරු බීම වල සීනි මට්ටම අනිවාර්යයෙන් පෙන්වීමේ නීති මෑතදී ගෙනාවා. ඒත් එක්කම අධික සීනි සහිත බීම සියල්ලේම සීනි ප්‍රමාණය අඩුම ගානේ මධ්‍යම මට්ටමට ගෙනා බව දැකගන්නට ලැබුණා. ඒ විදිහට කල්පනා කළා නම් කුණු ප්‍රශ්ණයටත් විසදුම් සොයා ගන්න තිබුණා. පොලීතීන් සීමා කිරීමටත් ඒ වගේ තීරන විටින් විට ආවත් ඒවා යට ගියා.

ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට අවුරුදු පනහක් පිරුණා. අහස් ගව්ව සහ පාර දිගේ වැනි අනන්‍යතාවයකින් යුත් චිත්‍රපට කිහිපයක්ම ඔහු නිර්මාණය කළා. පාර දිගේ අපේ රටේ විචාරකයන් අපොහාසත් වුනු  බව ඔහු කියා තිබුණා. අවුරුද්දේ හොදම චිත්‍රපට 10 අතරටවත් එය අවේ නැතිලු. විචාරකයින් විතරක් නොවෙයි ප්‍රේක්ෂකයින් කී දෙනෙක් ඒක අල්ලා ගත්තාද කියන්න බැහැ. මොකක්දෝ ඉවක් හේතුවෙන් අපි ඒවා බලන්න ගියා. මැද මාවතේ තිබුණු එච්.ඩී. ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස් යන අධ්‍යක්ෂ වරුන් වගේම ටිකක් අමුතු රීතියක ගිය සුගතපාල සෙනරත් යාපාගේ ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපටත් අප ප්‍රිය කල පව මතකයි. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...