Saturday, July 1, 2017

කෙටි සටහන්

නිතිපතා ලියන එක මගහැරී ගියේ ගෙවල් මාරුව සහ ගෙදර තිබුණු laptop දෙකම අබලන් වීම හේතුවෙන්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ‘ඇත්ත යුත්ත පොත කියවන්නට ලැබුණා. එය 1955 දී  ප්‍රකාශයට පත් වූ පොතක්. එහි දක්වා ඇති බොහෝ දේවල් අදටත් වලංගුයි. එහි අපේ අඩුපාඩු යන පරිච්ඡේදයේ මෙසේ සදහන් වෙනවා.

‘ජාතික පුස්තකාලයයි කිවහැකි පුස්තකාලයක් අපට ඇතිතේම නැතිය.ජාතික රංග පීඨයක් අපට නැතිය. අපේ රටත් අතීතයත්, අපේ සංස්කෘතියත් සිහි කරවන ප්‍රධාන පන්තියේ විනොද ස්ඨානයක් අපට තවම නැතිය. කටුගෙය පවා එවැනි තැනක් ලෙස තවම හැදින්විය නොහැකිය. තවමත් එය කටුගෙයක්ම වන බැවිනි.  
මේ වගේ එහි තිබෙන බොහෝ පරිච්ඡේද අපට නැවත කියවන්න හැකියි. මොකද සමහර අංශවල යම් යම් දේ සිද්ධ වෙලා තියෙන බව පෙනුනත් ඔහු පෙන්නා දෙන මූලික ප්‍රශ්ණ වලට එයින් විසදුම් ලැබී ඇත්ද යන්න ප්‍රශ්ණයක් හන්දා.

නිවැරදි ප්‍රතිපත්ති හරහා සාමානයෙන් අමාරුයි කියා පෙනෙන දේවල් පවා වෙනස් කරන්න පුළුවන් බව කලිනුත් ලියා ඇති. සෞඛ්‍ය හේතු මත පැනී හා පළතුරු බීම වල සීනි මට්ටම අනිවාර්යයෙන් පෙන්වීමේ නීති මෑතදී ගෙනාවා. ඒත් එක්කම අධික සීනි සහිත බීම සියල්ලේම සීනි ප්‍රමාණය අඩුම ගානේ මධ්‍යම මට්ටමට ගෙනා බව දැකගන්නට ලැබුණා. ඒ විදිහට කල්පනා කළා නම් කුණු ප්‍රශ්ණයටත් විසදුම් සොයා ගන්න තිබුණා. පොලීතීන් සීමා කිරීමටත් ඒ වගේ තීරන විටින් විට ආවත් ඒවා යට ගියා.

ධර්මසේන පතිරාජ ගේ කලා දිවියට අවුරුදු පනහක් පිරුණා. අහස් ගව්ව සහ පාර දිගේ වැනි අනන්‍යතාවයකින් යුත් චිත්‍රපට කිහිපයක්ම ඔහු නිර්මාණය කළා. පාර දිගේ අපේ රටේ විචාරකයන් අපොහාසත් වුනු  බව ඔහු කියා තිබුණා. අවුරුද්දේ හොදම චිත්‍රපට 10 අතරටවත් එය අවේ නැතිලු. විචාරකයින් විතරක් නොවෙයි ප්‍රේක්ෂකයින් කී දෙනෙක් ඒක අල්ලා ගත්තාද කියන්න බැහැ. මොකක්දෝ ඉවක් හේතුවෙන් අපි ඒවා බලන්න ගියා. මැද මාවතේ තිබුණු එච්.ඩී. ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස් යන අධ්‍යක්ෂ වරුන් වගේම ටිකක් අමුතු රීතියක ගිය සුගතපාල සෙනරත් යාපාගේ ඉන්දුට මල් මිටක් වැනි චිත්‍රපටත් අප ප්‍රිය කල පව මතකයි. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...