Thursday, March 29, 2018

රා සේ පි


පුංචි කාලේ තාත්තට එන ලියුම් වල කවරයේ රා.සේ.පි. කියළා මුද්‍රණය කරලා තිබුණු එක අපට ඒ ලියුම ගැන සහ තාත්තා කරන වැඩය ගැන යම් ගෞරවයක් මුසු හැඟීමක් ඇති වුණේ. ඒත් එහි තේරුම නියමාකාරයෙන් තේරුණේ පසු කාලයක. අපේ දෙව්පියන් ද රජයේ සේවකයන් වූ නිසාත් දන්නා කියන නෑදෑ හිතමිතුරු පවුල් වල අයත් අතර බහුතරය රජයේ සේවකයින් වූ නිසාත් අපේ අනාගත රැකියාව ලෙස රජයේ සේවය තෝරා ගැනීමට අපට නැඹුරුතාවයක් ඇතිවූ බව සිතන්න පුළුවන්. ඒත් ඇත්ත කාරණය නම් එහෙම අරමුණක් කවදාවත් නොතිබූ බවයි. හැබැයි අන්තිමේදි නතර වුණේ රජයේ සේවයෙම තමයි. මම පෞද්ගලික අංශයේ සම්මුඛ පරීක්ෂණ ගණනාවකට ගියත් ඒවාට තේරුණේ නැහැ. ඒ අතුරතුරේ තමයි රජයේ තරග විභාග වලට ලියන්න අවස්ථාව ලැබුණේ.
අපේ රටේ  රජයේ   සේවය ලෝකයේම විශාලම රජයේ සේවයක් හැටියට කුප්‍රසිද්ධයි. ඒ කියන්නේ ඒක පුද්ගල රජයේ සේවක අනුපාතය ඉහලම නැත්නම් වඩාත් ඉහළ ඇති රටක් හැටියට. ඒ වගේම රාජකාරි වෙලාව පැහර හරින, වැඩ හරියට නොකරන, පගා ගහන, වැඩ බැරි සහ තවත් බොහෝ විශේෂණ පද වලින් අපේ රටේ රජයේ සේවකයන් හඳුන්වනවා. ඒවා අඩු වැඩි වශයෙන් වැරදි නැතුවත් ඇති. අවුරුදු තුනක් පමණ පරිපාලන කටයුතු වලට පමණක් සීමාවූ රජකාරියක් කරන කාලයේ අපේ කාර්යාලයේ සේවකයන් පැය අටෙන් කරන වැඩ ගැන මම සෑහීමට පත් වුනේ නැහැ. එත් එක් එක්කෙනා ගැන වෙන වෙනම සිතුවහම ප්‍රශ්ණයේ මුල් සොයා ගන්න පුළුවන් වුණා. උදාහරනයක් ලෙස මැදිවියේ හිටපු එක් ලිපිකරු මහතෙක් එන්නේ දුම්රියෙන් දවසට කිලෝමීටර 150 කිට්ටු ගානක් එහා මෙහා යන්න වෙනවා එයාට. හිමිදිරි පාන්දර නැගිටලා බත් උයලා බැඳගෙන එන්නේ. උදේ පානදරින් බත් කන්න බැරි හන්දා උදේටත් මුලක් බැඳගෙන එනවා. දුම්රිය පමා වුණේ නැත්නම් කන්තෝරුවට වෙලාවට ඇවිත් කැන්ටිමට ගිහින් බත්මුල කාලා ප්ලේන්ටියකුත් බීලා නැවත එනකොට විනාඩි 30-40 ක් ගිහින්. ඊට පස්සේ ඇවිත් පයිල් එකක් ඇරලා වැඩ පටන් අරන් ඒකේ විෂයට අනුගතවෙනකොට දවල් කෑම වෙලාව ලංවෙලා. දවල්ට කෑම වෙලවත් අර විදිහමයි. ගෙදර යන කොට රෑ වන හන්දා ගෙදරට අවශ්‍ය සිල්ලර බඩු හෝ දරුවන්ගේ බඩු බාහිරාදිය ගන්න සතොසට හෝ තවත් තැන් වලට හවස් වරුවේ යන්න වෙනවා. මොකද ගෙදර යන කොට ඒ පලාතේ කඩ වහලා. මේ කිව්වේ ටිකයි තවත් බොහෝ දේවල් අස්සේ තමයි මේ රාජකාරිය කෙරෙන්නේ.  ඒක සාධාරනීකරණය කරන්න යනවා නෙමෙයි. ඒත් මම ඒගොල්ලන්ට තදින් දොස් කියන එක පසුව නැවැත්වූවා. ඊට වඩා ඒ දේවල් කලමණාකරනය කරගන්න පොඩි හරි උදව්වක් කලාම ඒගොල්ලන්ගේ කාර්යසාධනය වැඩිවෙන බව පෙනුනා.
රජයේ සේවකයෙක්වීම වාසියක් ද අවාසියක්ද වාසනාවක්ද නැත්නම් අවාසනාවක්ද කියන්න මම දන්නේ නැහැ. මට නම් සාමන්‍යෙයන් සංචාරය කරන්න නොහැකි වන රටවල් ගණනාවකට යන්න හැකිවීමම වාසනාවක්. අනෙක් පැත්තෙන් සතියකට මට යාළු මිත්‍රාදින්ගෙන් එන ඉල්ලීම් ගාන ගැන මට කල්පනා වුනේ. එයින් සමහරක් කරන්න පුළුවන් ඒවා සමහරක් කරන්න බැරි ඒවා. එකක්වත් මගේ රාජකාරී සීමාව තුල තියෙන ඒවා නෙවෙයි. කවුරුහරි සහෝදර නිලධාරියෙකුට නැත්නම් ප්‍රධානියෙකුට කියලා කරගන්න තියෙන දේවල්. ඒ විදිහට හැමදෙනාටම ඉල්ලීම් එනවාද දන්නේ නැහැ. සමහරවිට මට මතක නැහැ. එකම නිලධාරියෙකුට එක වගේ ඉල්ලීම් සතියකට දෙපාරක් කරන එක අමාරු වැඩක්. අප්‍රසන්න වැඩක්. ඒත් ඉල්ලීම කරන කෙනාට ඒක තේරෙන්නේ නැතිව ඇති. මේක වාසනාවක්ද අවාසනාවක්ද මම දන්නේ නැහැ. ඒත් තව කොනෙකුට අසාධාරනයක් වන විදිහේ උදව්වක් නම් මම කරන්න උත්සාහ ගන්නේ නැහැ. එක් පැත්තකින් ඒ වගේ උදව් නෙකලාම බැනුම් අහන්න වෙනවා වගේම ඒ උදව්ව නිසා තව පාර්ශවයකට සිදුවන අසාධාරණයක් නිසා අහන්න වන බැනුම් බරපතලයි. සමාජය දියුණු වන විට නැත්නම් ආයතනීකරනය වන විට මේවගේ අවිධිමත් ඉල්ලීම් නැතිව යනවා ඇති.

මට මතක්වුනේ රුසියාවේ ඉන්න කාලේ මගේ මිතුරු මිතුරියන්ට සැතපුම් තුන්හාරසීයක් හෝ ඊටත් එහා ඉන්න දෙමව්පියන් නගරාන්තර දුම්රිය වල ගාඩ්වරු (බොහෝවිට වරියන්) අතේ එවන පාර්සල්. එම පාර්සල් තැපෑලෙනුත් ඒ විදිහමටම එවන්න පුළුවන් වුනත් මේ ක්‍රමය ඉක්මන් හන්දා කෑම වගේ දේවල් එවන්න පුළුවන් වීම වාසියක්. අනෙක් පැත්තෙන් මේක ගනුදෙනුව සිදුවන අය එකිනෙකා දන්නා හෝ ඒ වෙලාවේ අඳුරාගත් අය නිසා ඒකේ යම් හෘදයාංගම බවක් තියෙනවා. තුන්වන වාසිය තමයි පාර්සලයට උත්තර වශයෙන් හැරෙන තැපෑලෙන් පාර්සලයක් ලැබීමේ වාසියත් මේ ක්‍රමයේ තියෙනවා. ඒ වුනාට මම හිතන්නේ මේ ක්‍රමය යුරෝපයේ ඇත්තේ රුසියාවේ විතර වෙන්න ඇති. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...