Saturday, March 3, 2018

මැකී ගිය මං


බොහොම කාලෙකට පස්සේ රයිගම් කෝරලයේ උතුරු සීමාවට යන්න ලැබුණා. ඒ කියන්නේ ඉංගිරිය සහ හඳපාන්ගොඩට. හඳපාන්ගොඩ ගනේඋඩ පන්සල ප්‍රෙද්ශයේ ඇති පැරණි විහාරස්ථානයක්. එහි විහාරගෙයි නුවර යුගයේ චිත්‍ර හොඳින් ආරක්ෂා වී තියෙනවා. පන්සලේ ගොඩනැගිලි රාශියක් තිබුනත් හාමුදරුවන් කිහිපදෙනෙක් පමණයි හිටියේ. පිරිවෙන් ගුරුවරයෙකු වූ පොඩිහාමුදුරුවන් පන්සලේ සහ ගමේ ඉතිහාසය පිළිබඳව බොහෝ කරුණු අපට කියා දුන්නා. පන්සලේ ඇති බණමඩුවේ ඇති තොරණේ ඉංග්‍රීසි රාජ ලාංඡනය ඇත්තේ විහාරයට ඉඩම් වෙන්කරදීමෙදී ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් කරපු මෙහෙයට කෘතගුන දැක්වීමක් හැටියට කියළා හාමුදුරුවන් කිව්වේ. ඒ කාලේ රත්නපුරයේ සිට කොළඹට ගැල් වලින් භාණ්ඩ ප්‍රවාහනය කරපු පාර වැටී ඇත්තේ මේ පන්සල අසලින්. ඒ කියන්නේ අද ඇති ඉංගිරිය මීපේ පාර. අවට ඇති සරුසාර තේ වගාවන් වගේම ඒ කාලේ දැනට වඩා වැඩිපුර තිබුණ රබර් වගාවෙනුත් පන්සල පෝෂණය වුණු ලකුණු දකින්නට තිබුණා. සෑහෙන්න තරම් පරන දෙමහල් ආවස ගෙයත් ඒයට සාක්ෂි දරනවා ඇති. මීට අමතරව ප්‍රෙද්ශයේ ඓතිහාසික වැදගත්කම වශයෙන් ජනප්‍රවාද වල එන රයිගම් බණ්ඩාර රජ්ජුරුවන්ගේ සඳවතී නම් බිසව සිටියා යැයි සැලකෙන මාලිගය තිබූ ස්ථානය හැටියට සැලකෙන මාලිගාතැන්න හඳුන්වන්ට පුළුවන් බව පොඩිහාමුදුරුවන් කිව්වා. අද එතන ඇත්තේ පොකුණක නටඹුන් පමණක් බවයි දැනගන්නට ලැබුනේ.

ආපසු එන ගමන වැටී තිබුනේ හඳපාන්ගොඩ - පෝරුවදණ්ඩ මාර්ගයෙන්. මේ අවට ඇති හැම ගමක්ම පාහේ විශේෂයෙන් රබර් වගාව හරහා ඇති වුණු අතීත සශ්‍රික කාලයක් පසුකර ආගමන සිහිගන්වන සලකුනු වලින් අනූනයි. ඒ එන අතරේ පාරේ වංගුවක් අසල කඳුගැටයක් උඩ ඇති පාසලට පාරේ යන ඕනම කෙනෙකුගේ ඇහැ යනවා. ඒ පාසලේ නම මාපුටුගල මහා විද්‍යාලය. මගේ මතකය නිවැරදි නම් 1960 ගණන්වල අග භාගයේදී අපේ තාත්තා මේ විදුහලේ ඉගැන්වීම් කළා. ඒ කාලයේ මෙය ප්‍රෙද්ශයේ ඉතා කීර්තිමත් පාසලක්. කලා අංශයෙන් පමනක් එවකට උසස්පෙළ තිබූ බවයි පෙනෙන්නේ. වැදගත්ම දේ තමයි ඒ කාලේ පංතිවල සිටි ශිෂ්‍යයින්ගෙන් බොහෝ දෙනෙක් විශ්ව විද්‍යාල වරම් ලබා ගැනීම. මා දන්නා තරමින් අපේ තාත්තා ඒ දිනවල ඉගැන්වූවේ ආර්ථික විද්‍යා විෂයය. පසුකාලයක තාත්තාගෙන් ඒ කාලේ උගෙන ගත් ගෝලයින් කිහිපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා.

මේ සියලු කාරනා හන්දා පාසලට ගොඩවදින්න ඕනා කියලා නිකමට හිතුනා. පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ල අර්ධකවාකාර හෝ බූමරංග හැඩයකින් යුක්ත යැයි කිව්වොත් නිවැරදියි. එහෙම වෙලා තියෙන්නේ පාසල පිහිටි ස්ථානයේ භූමි නිර්මානයට හොඳින් ගැලපෙන ලෙසයි. එහෙම පාසල් ගොඩනැගිලි අපි දකින්නේ ඉතා කළාතුරකින්. බොහෝවිට කරන්නේ ස්වභාවික භූමිනිර්මාණය නොසලකා type plan එකක් ගෙනල්ලා කන්ද කපා බුල්ඩොසර් කර ගොඩනැගිලි හදන එකයි. අර්ධකවාකාර ගොඩනැගිල්ලේ මැද කාර්යාල කාමරයක් තියෙනවා. ඒ විදුහල්පති කාර්යාලය වන්න ඕනා. දෙපැත්තේ පන්ති කාමර. මේ ප්‍රධාන ගොඩනැගිල්ලට අමතරව ඒ මට්ටමෙන්ම තවත් ගොඩනැගිල්ලක් සහ ඊට තරමක් පහලින් තවත් ගොඩනැගිල්ලක් තියෙනවා. සේරටම ඉහලින් බුදුමැදුර. පාසලට ජල සම්පාදනය කරන්නේ ගුරුත්ව ජල පද්ධතියකින්.  
 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...