Tuesday, May 7, 2019

මේ විසිතුරු හැර කොතැනක යන්නද


මම කිහිප වතාවක් ලියා ඇති මම මුලින්ම ගිය පාසල ගැන. ඒක නැවත මතක් වුණේ උසස් පෙළ පන්තියේ එකට හිටපු සගයෙක් පාසලෙන් අස් වුනාට පස්සේ පළමු වතාවට සමාජ මාධ්‍යක් හරහා හමු වීම මගින්. පුදුමය කියන්නේ පන්තියේ එක් එක් බංකු වල ළමුන් ඉඳගෙන හිටි පිළවෙල පවා ඔහුට මතක තිබීමයි. මට පිළිවෙළ නොවෙයි නමින් කිව්වාහම යාළුවන් බොහෝ දෙනෙක් ගේ මූනත් මතක නැහැ. ඊට වඩා බොහෝ කලකට පෙර පහේ පන්තිය දක්වා ගිය පාසලේ යාළුවන් මට මතකයි.  ඒ පන්තියේ හිටපු ළමයි ගණන 25 ක් පමණ වීම සහ අපේ උසස්පෙල පන්තියේ සිසුන් 75 කට වඩා වැඩියෙන් සිටීමත් එයට හේතු වන්න පුළුවන්.

මම කුඩා කාලේ ගිය පාසලේ පින්තූරයක් ලඟදි දැක්කා. එහි landscape එක බොහෝ දුරට වෙනස් වෙලා වගෙයි.  පාසලේ පිටුපස පහලින්ම පිහිටි පිට්ටනිය අසලින් ගලා ගිය කුළුපන ඇල පිටාර ගැලුවහම පිට්ටනිය යට වෙන එක නවත්වන්න දැන් retaining wall එකක් හදලා. පිට්ටනිය ඒ අනුව උස් කරලා ඇති. ඉස්සර පිට්ටනියට ගියාම නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ ගල්ඒදඬුගොඩ කඳුවැටිය. පන්තියේ සමහර ළමයින්ගේ ගෙවල් පිහිටා තිබුණේ ඒ කඳුවැටියේ. ඒ ගොල්ලන් තම තමන්ගේ ගෙවල් තියෙන ඉසව්ව අපට පෙන්නුවත් කිලෝමීටරයක් විතර ඈතින් තියෙන කඳු වැටියේ තුරු වදුල අතරින් ගෙවල් අඳුරා ගන්න අමාරුයි.
පාසලේ පිට්ටනියට බස්නාහිර පැත්තෙන් උස් බිමක් තිබුණා. ඒකේ කෙළවරක ගල් දෙබොක්කාවක් තිබුණා. ගල් දෙබොක්කාවත් එක්ක තිබුණු විශාල ගහ පසුව කපා දැම්මා. අනෙත් හරියේ වැඩිපුරම තිබුණේ එළවළු පාත්ති සහ විශාල ජම්බෝල ගහක්. ඒ පැත්තේ කෙළවරට වන්න බට පඳුරු තිබුණා. වෙසක් එකට පාසලේ එල්ලන්න කූඩු හැදුවේ ඒ බට වලින්. පාසලේ පිටුපස පිට්ටනි වලට ඔබ්බෙන් ලඳු කැලෑවක් තිබුණා පොල්ගස් කිහිපයක් එක්ක. පාසලේ ගස් කැපිලි, ළිං ඉහිලි, වැට බැඳිලි, වගා කෙරිලි ඹක්කොම කළේ ළමයින්. තරමක් බරපතල දේවල් වැඩැහිටි ශිෂ්‍යයන්ට පැවරී තිබුණා.

පාසලේ ක්‍රීඩා තරග තියෙන කොට මීටර සියය දිවීම වගේ ඉසවු සඳහා අර ලඳු කැලෑ ඉඩම පාවිච්චි කළා. ඒ සඳහා කැලෑව මැද්ද ඉතුරු වෙන්න වටේ එළිකර තිබුණා. ලඳු කැලෑවට එහායින් කුඹුරක් තිබුණා. දැන් මතක් කරන විට පමණක් නොවෙයි ඒ දිනවලත් ඒ පරිසරයේ සුන්දරත්වය අද මතක් කරනවාට වඩා එදා අපි අත්වින්දා.

Sunday, May 5, 2019

සැහැල්ලුව


අළුත් අවුරුද්ද සම්බන්ධයෙන් පේලි කිහිපයක් ලියුවත් එය ඉවර කරන්නට බැරි වුණා. පාස්කු ඉරිදා ත්‍රස්තවාදි සිද්ධියෙන් හැමෝගෙම සිත්සතන් කැළඹුණා. ඒක ඉතා අවාසනාවන්ත සිදිධියක්. ඒ සිද්ධිය හරහා රටේ නොයෙකුත් ආයතන හා සංස්ථා (පුළුල් අර්ථයෙන්) වල තත්ත්වය සහ ක්‍රියාකාරිත්වය පිළිඹිඹු වුණා කියන්න පුළුවන්. හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගන්න එක හැමවිටම හරියන්නේ නෑ වගේම සමහරක් දේ වලදී කොහෙත්ම හරියන්නේ නෑ.

රටක ජනතාවකට හැම තිස්සෙම බයෙන් සැකෙන් ඉන්න වෙනවා කියන එක Healthy නැහැ හැම අතින්ම. කෙනෙක් බනින්න පුළුවන් මිනිස්සුන්ට ඉක්මනට දේවල් අමතක වනවා කියළා. ඒත් කවුද කැමති හැම තිස්සෙම බයෙන් සැකෙන්, සෝදිසියෙන් ඉන්න. එක් එක් ප්‍රජාවන් අතරේ සැකයක්, තරහක් හට ගැනීම ඊටත් වඩා භයානකයි.

අපට අයත් කුඩා ඉඩමක තිබුණු රබර් ගලවලා පොල් වවන්න සූදානම් කළා. නියමිත විදිහට පෝර්ම පුරවලා (දවසක් නිවාඩු දමාගෙන) උපදෙස් පරිදි වලවල් කපලා ඒවාට පොල්ලෙලි දමලා සකස් කළා. දැන් මාස 6 ක් වෙනවා ඒත් තවම පැල ලැබුණේ නැහැ. දෙවරක් මම කාර්යාලයට ගියා. වැස්ස ආවහම දෙන්නම් කිව්වා. දහ පාරකට වඩා කෝල් කරන්න ඇති.කළින්නම් පැළ සම්පූර්ණයෙන් නොමිලේ දුන්නා. දැන් මිලෙන් බාගයක් ගෙවන්න ඹ්නා. එහෙම වෙලාත් පැල ලබා දෙන්න උනන්දුවක් නෑ. රජයේ සේවකයන් ගේ ව්‍යාප්ති සේවයේ ප්‍රමිතිය ගැන වෙන කතා ඹ්නා නැහැ. මේක තමයි රටේ හැම ආයතනයක්ම වෙලා ගත්ත වැඩකරන විලාශය.

මානසික සහ කායික වෙහෙසත් වැඩි නිසාම ගිය සිකුරාදා නිවාඩුවක් දැම්මා. උදේම පන්සලට ගිහිල්ලා හාමුදුරුවන් එක්ක කතා කළා. ටිකක් හරි මනස කලබල වූ වෙලාවට පන්සලකට යාම - ඉස්සර නම් හිතුනේ ටිකක් ගොන්පාට් කියලා.හාමුදුරුවන් එක්ක කතා කිරීමෙන් සිත නිවෙන්න උපකාරී වන බව මට ප්‍රායෝගිකව තේරිලා තිබෙනවා. සාමාන්‍යෙයන් අපි කතා කරන්නේ රට තොට දේශපාලනය ගැන වුනත්, හාමුදුරුවන් ඹ්නම මාතෘකාවකට වෙනස් prospective එකක් ගේනවා. 

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...