Tuesday, May 7, 2019

මේ විසිතුරු හැර කොතැනක යන්නද


මම කිහිප වතාවක් ලියා ඇති මම මුලින්ම ගිය පාසල ගැන. ඒක නැවත මතක් වුණේ උසස් පෙළ පන්තියේ එකට හිටපු සගයෙක් පාසලෙන් අස් වුනාට පස්සේ පළමු වතාවට සමාජ මාධ්‍යක් හරහා හමු වීම මගින්. පුදුමය කියන්නේ පන්තියේ එක් එක් බංකු වල ළමුන් ඉඳගෙන හිටි පිළවෙල පවා ඔහුට මතක තිබීමයි. මට පිළිවෙළ නොවෙයි නමින් කිව්වාහම යාළුවන් බොහෝ දෙනෙක් ගේ මූනත් මතක නැහැ. ඊට වඩා බොහෝ කලකට පෙර පහේ පන්තිය දක්වා ගිය පාසලේ යාළුවන් මට මතකයි.  ඒ පන්තියේ හිටපු ළමයි ගණන 25 ක් පමණ වීම සහ අපේ උසස්පෙල පන්තියේ සිසුන් 75 කට වඩා වැඩියෙන් සිටීමත් එයට හේතු වන්න පුළුවන්.

මම කුඩා කාලේ ගිය පාසලේ පින්තූරයක් ලඟදි දැක්කා. එහි landscape එක බොහෝ දුරට වෙනස් වෙලා වගෙයි.  පාසලේ පිටුපස පහලින්ම පිහිටි පිට්ටනිය අසලින් ගලා ගිය කුළුපන ඇල පිටාර ගැලුවහම පිට්ටනිය යට වෙන එක නවත්වන්න දැන් retaining wall එකක් හදලා. පිට්ටනිය ඒ අනුව උස් කරලා ඇති. ඉස්සර පිට්ටනියට ගියාම නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ ගල්ඒදඬුගොඩ කඳුවැටිය. පන්තියේ සමහර ළමයින්ගේ ගෙවල් පිහිටා තිබුණේ ඒ කඳුවැටියේ. ඒ ගොල්ලන් තම තමන්ගේ ගෙවල් තියෙන ඉසව්ව අපට පෙන්නුවත් කිලෝමීටරයක් විතර ඈතින් තියෙන කඳු වැටියේ තුරු වදුල අතරින් ගෙවල් අඳුරා ගන්න අමාරුයි.
පාසලේ පිට්ටනියට බස්නාහිර පැත්තෙන් උස් බිමක් තිබුණා. ඒකේ කෙළවරක ගල් දෙබොක්කාවක් තිබුණා. ගල් දෙබොක්කාවත් එක්ක තිබුණු විශාල ගහ පසුව කපා දැම්මා. අනෙත් හරියේ වැඩිපුරම තිබුණේ එළවළු පාත්ති සහ විශාල ජම්බෝල ගහක්. ඒ පැත්තේ කෙළවරට වන්න බට පඳුරු තිබුණා. වෙසක් එකට පාසලේ එල්ලන්න කූඩු හැදුවේ ඒ බට වලින්. පාසලේ පිටුපස පිට්ටනි වලට ඔබ්බෙන් ලඳු කැලෑවක් තිබුණා පොල්ගස් කිහිපයක් එක්ක. පාසලේ ගස් කැපිලි, ළිං ඉහිලි, වැට බැඳිලි, වගා කෙරිලි ඹක්කොම කළේ ළමයින්. තරමක් බරපතල දේවල් වැඩැහිටි ශිෂ්‍යයන්ට පැවරී තිබුණා.

පාසලේ ක්‍රීඩා තරග තියෙන කොට මීටර සියය දිවීම වගේ ඉසවු සඳහා අර ලඳු කැලෑ ඉඩම පාවිච්චි කළා. ඒ සඳහා කැලෑව මැද්ද ඉතුරු වෙන්න වටේ එළිකර තිබුණා. ලඳු කැලෑවට එහායින් කුඹුරක් තිබුණා. දැන් මතක් කරන විට පමණක් නොවෙයි ඒ දිනවලත් ඒ පරිසරයේ සුන්දරත්වය අද මතක් කරනවාට වඩා එදා අපි අත්වින්දා.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...