Tuesday, July 16, 2019

ඇසල සිතුවිලි


හදිසියේ මිතුරකුගේ අම්මා කෙනෙකුගේ පොතක් එළි දැක්වීමක කතාවක් කරන්න ආරාධනාවක් ලැබුනා. මම බෑ කිව්වේ ඒ සඳහා සූදානම් වන්න එක දිනයක් මදි හන්දා. මොකද ඕනම දෙයක් කරත්දි ඒ සඳහා උපරිම දෙයක් කරන්න උත්සාහ කරන හන්දා මට වෙලාව අවශ්‍යයි. අන්තිමේදි බල කරපු හන්දයි බාරගත්තේ. අනෙක් අතට පොත මුද්‍රණය ආදිය සඳහා මම යම් තරමකට දායක වුණා. මේ අවස්ථාව පොත් එලි දැක්වීමකට වඩා ගුරු උපහාර උලෙලක් බවට පත්වුණා. මම කතා කරපු දේවල් එතනට ගැලපුනේ නැහැ. ඒත් කතාව සහමුලින්ම වෙනස් කරන්නට මට ඕනා වුනේ නැහැ. පොතේ කවි ගැන කෙටි විවරනයක් කරන ගමන් මම කියන්න උත්සාහ කලේ කලාව කා සදහාද කියන ප්‍රශ්ණය සහ මිනිසුන් ගේ සහජ කුසලතාවන් කලක් යන කොට මොට වී යන හැටි කියන දේවල්. ඒ ටික හදා ගන්නත් මට කලින් දවසේ රැ නිදි මරන්න සිදු වුණා.
සමහර වෙලාවට මේ වගේ දේවල් වලට ගියාම ඉතිරිවන්නේ කලකිරීමක්. දහසක් වැඩ අස්සේ මගේ උපරිම උත්සාහය ගත්තා කියන එක විතරයි ඉතුරුවෙන සතුට. ඒත් ඒක දන්නේ මම විතරයි. ඒත් මේ වගේ තැන් තැන් වල සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කරපු කතා කරන කතා එකතු කරන්න කියලා මට කිව්වේ යාලුවෙක්. පස්සේ කාලෙක බැලුවහම ඒවට වටිනාකමක් තියෙන්නත් පුළුවන් අනෙක් අතට ඒවා කරත්දි සිතූ සිතිවිලි කාලයක් යද්දි අමතක වෙලා යන්න පුළුවන් හන්දා.

අද ඇසල පෝය දා. සතිය මැද අමතර නිවාඩුවක් ලැබුනහම ඒක බෝනස් එකක්. සාමාන්‍ය සති අන්තයක් සතියේ දවස් පහ හෝ ඊටත් වඩා කාර්ය බහුලයි. අපි ඒ තරම් කාර්යබහුල වී සිටීමේ තේරුම කල්පනා කළොත් ලොකු උත්තරයක් හොයා ගන්නත් අමාරුයි වගේ. ඒ මොක වුනත් නිකන් ඉන්න එක ඊටත් වඩා අමාරුයි. මම අදහස් කළේ යමක නියැලී නොමැතිව ඉඳීම අමාරුයි කියන එක.

තවත් එක් පොතක් සම්පූර්ණ කරන්න උත්සාහ කරන ගමන් තවත් කිහිපයකට අත ගැහුවා. ඒ හන්දාම ඒ හැම එකක්ම පරක්කු වන බව ඇත්ත. අන්තිමේදී අවුරුදු ගණනාවකට ඉස්සර අවට පරිසරය සහ නිරීක්ෂන ආශ්‍රයෙන් කොපි පොතක ලියපු සටහන් වලට අඩුවැඩිය එකතු කරලා කුඩා පොතකට සෑහෙන තරම් දේවල් එකතු කර ගන්නට පුළුවන් වුණා. එයට චිත්‍ර එකතු කරන්නට සිතූ නිසා ඒ පිලිබඳ ප්‍රවීනයකුට ඒ කටයුත්ත බාර දුන්නා. ඔහු අඳින්නේ තරමක් හෙමින්. ඒ හන්දා තව මාසයක් පමණ යන කොට චිත්‍ර ඇඳීම ඉවර කරන්න පුළුවන් වෙයි කියළා හිතන්න පුලුවන්. ඒ වෙනකොට පොතේ අඩු වැඩි තැන් පුරවලා පුලුවන් විදිහට ඔප මට්ටම් කරළ ගන්න පුලුවන් වෙයි. කොහොම කළත් කොළඹ පොත් ප්‍රදර්ශණයට පසුව තමයි පොත මුද්‍රණය සඳහා දිය හැකි වන්නේ. මොකද මේ කාලය පොත් මුද්‍රණකරුවන් ඉතා ඉහල අලෙවියක් ඇති ප්‍රසිද්ද කතුවරුන්ගේ පොත් මුද්‍රණය සදහා තම කාලය යොදවන බැවින්.



No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...