Sunday, March 6, 2016

බොල් වී අහුරු...

අජන්තා රණසිංහයන්ගේ වියෝවත් සමග ඔහු ලියූ මියුරු ගීත බොහොමයක් කාලයකට පස්සෙ අහන්නට ලැබුණා. වික්ටර් රත්නායක සහ සිසිර සේනාරත්න ගයන මංගල මල්දම, සනත් සහ මල්කාන්ති ගයන මතකද සිරි දළදා වැන්දා, සනත් ගෙම ආදර සැමරුම්, පෙමාතුර හැඟුම්, ඔබට වසඟවූ ඒ අතරින් කිහිපයක්. ඔහු ලියා ඇති චිත්‍රපට ගී අද්විතීයයි. මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා ගයන කීන දං මිටක්, දුහුළු මලක් චිත්‍රපටයේ එන බොඳ මීදුම් සහ රන් කෙන්දෙන් ගීත. රූකාන්ත ගැයූ සිහින දැනී දැනී දැනෙනවා, වසන්තයේ දවසක් චිත්‍රපටයේ එන දෙ‍දුන්නෙන් එන සමනලනේ මට මතක් වෙනවා.  

සමහරු එදා පීචං ගායකයකු ලෙස හැඳින්වූ ජෝතිපාල නම්වූ  අසාහාය ගායකයා හට ඔහු ලියූ ගීත අමරණීයයි. ඔහුගේ ප්‍රතිභාවට අමතරව එයින් පෙන්වන්නේ ඔහුගේ අදීන බවයි.  ඔහු ලතා වල්පොල සමග ගැයූ තවත් චිත්‍රපට ගීයක් වන රුවන් වලා විමානේ අදටත් ජනප්‍රියත්වයේ ඉහලම තලයේ තියෙන ගීයක්. ඕනෑම සුහද හමුවකදී නින්ද නේන රාතියේ සහ පායා ඇයි හිනැහෙන්නේ ඇහුනේ නැත්නම් ඒක අඩුවක්.
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ..
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ..

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..

දවස් තුනක සති අන්තයක් ලැබුනේ සුදාට මහ ශිව රාත්‍රිය යෙදෙන හන්දා. ඒ අවසරයෙන් රයිගම රාජධානියේ චාරිකා කරන්න සිතුවා. මුලින්ම ගියේ ඔලබොඩුවේ ජයවර්ධනාරාම පන්සලට. පානදුර රත්නපුර මහපාරේ පොකුණුවිට හන්දිය පසු කළ විට හමුවන හන්දියෙන්  වමට හැරී කිලෝමීටර දෙක තුනක් ගියාට පසු හමුවන හන්දියෙන් වමට ඒ කියන්නේ ගෝනපල පැත්තට හැරී ටික දුරක් ගියවිට පන්සල හමුවෙනවා. පන්සල බොහොම පිළිවෙලයි.  එහි විහාරගෙයි චිත්‍ර නුවර යුගයේ. එහි තවත් බොහෝ දේ නරඔලා දවල් කෑමත් පන්සලෙන්ම කාලා අපි ආවේ හොරණ නගරයට.

අපි පුංචි කාලේට වඩා අද නගරය විශාල වෙලා වගේම ඇහිරිලා තදබද වෙලා වගෙයි පෙනෙන්නේ. පුංචි කාලේ දී ළමයි කිව්වේ හොරණ පුස්තකාලයත් තක්ෂිලා ප්‍රාථමිකයත් අතර මුහුදු උල්පතක් ඇති බවයි. එය කොන්ක්‍රීට් දමා වසා ඇත්තේ මුහුද ගොඩගැලීම නතර කරන්නයි. ඒ හරිය ආදි කාලෙදීත් වගුරු බිමක් වන්නට ඇති. එය බලන්නට ගිය වෙලාවේ තමයි දැක්කේ එතන තිබූ පරන ක්ලබ් එක වසා දමා තියෙනවා. ඒ දවස් වල තක්ෂිලාවට ගිය සහෝදරයින් ගේ තවත් එක පාරිභාෂික වචනයක් තමයි ක්ලබ් එක. මොන ආකාරයෙන් වුනත් සමහර වෙලාවට තක්ෂිලා ප්‍රාථමිකය ඇරෙන තෙක් අපි ක්ලබ් එකේ ආලින්දයේ නැවතී ඉන්නට පුරුදු වෙලා සිටියා වගේ මතකයි. ඊට ටිකක් ඉහලින් තක්ෂිලා කනිෂ්ඨයේ ගේට්ටුව ල තනා තිබූ පිරිමි සහ ගැහැණු ළමයෙකුගේ රූප අදටත් ඒ වගේම තියෙනවා. ක්ලබ් එක පැත්තේ ඉන් මහපාර පැත්තට ඇවිත් පාර පැන්න ගමන් කොලපාට සුදුපාට තීරු ඇලා තිබූ Elephant House ඒ දවස් වල කඩය තිබුණා. ඒ හරියේ පාරෙන් අනික් පැත්තේ ලොකු මාර ගස් යට ගල් සියඔලා විකුණනවා. මගේ හිත ගිහින් නැවතුනේ අතිශය සුන්දර අතීත සැමරුමක. වටපිටාව වෙනස් වෙලා තියෙන්නේ මහජන පිට්ටනියේ පැවිලියන් එක ඇතුළු අළුත් ගොඩනැගිලි රාශියක් මතුවී ඇති හන්දා. පිට්ටනියට උඩින් තිබුණු දුල්මිනි සිනමා ශාලාව අද නැහැ. ඒ දිනවල නම් දුල්මිනි සහ අශෝකා සිනමා ශාලා හොරණ නගරයේ prominent ස්ථාන. අද නම් සිනමා ශාලා වහ ගෙන වෙනත් ස්ථාන ප්‍රමුකත්වයට ඇවිල්ලා.


හොරණ නගරය පසු කරගෙන අපි ගියේ බුලත්සිංහල පැත්තට. අපේ අරමුණ බුලත්සිංහල මහ පන්සල බැලීම. ගෝවින්න කොබවක ආදී රබර් වතු සහ කුඹුරු ගහන සුන්දර ගම්මාන පහු කර ගෙන අපි ඈගල්ඔයට ආවා. තවකිලෝමීටර දෙකක් විතර බුලත්සිංහල පැත්තට ගිය විට වම් පැත්තට ඇති අතුරු පාරෙන් පන්සලට ගිය හැකි. එහි විහාරගෙයි චිත්‍රත් නුවර යුගයට අයිතියි. ඒවා සංරක්ෂණය කරන්න අවශ්‍යයි. අපි ආපසු ගමන ඈගල්ඔයෙන් දකුනට හරවලා බෝතලේගම හල්වතුර ආදී ගම් හරහා ඉංගිරියට ආවා. හල්වතුරේදි තමයි ඒ පාරෙන් එන විට කළු ගඟ හමු වන්නේ. ඒ හරියේ ගඟ ගලන්නේ උස් කඳු වැටි දෙකක් මැද්දෙන්. හරිම සුන්දර දර්ශණයක්. එතැන තිබුණු කඩයෙන් උණු පරිප්පු වඩේ කාලා අපි පිටත් වුණා. ඉංගිරියේ සිට හොරණ දක්වා එන විට හමු වූ තේ කම්හල් වල අලෙවි සැල් තිබුණත් ඒවා සෙනසුරාදා ට වහලා. ඒ හන්දා හිතා හිටියත් අපට තේ ගන්නට ලැබුනේ නැහැ. සේරම ඉවරවෙලා මහ ගෙදරත් ගිහින් කොළඹට එන කොට රෑ වෙලා. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...