Tuesday, July 16, 2019

පොත් හතක් අටක් ...


පොත් කිහිපයක් ලියන්න මුල පිරුවා කියලා කලින් සටහනේ ලියුවා. කලින්ම පටන් ගත් එක ඇත්තටම මගේ පොතකට වඩා අපේ තාත්තාගේ පුවත්පත් ලිපි එකතුවක්. පොතකට සෑහෙන තරම් පරන පත්තර වලින් ගත් ලිපි සිංහලෙන් ටයිප් කර අවසන්. එහෙත් එම ලිපි එකතු කරලා නිකම්ම පොතක් කරනවාට වඩා ඒකට අදට ගැලපෙන value add කිරීමක් කරන්න ඕනයි කියා හිතුවා. එක විදිහක් තමයි හැම ලිපියකටම පෙර හෝ පසුව ඒ සම්බන්ධ අද තත්ත්වය (මා දකින හැටි) කෙටියෙන් දැක්වීම. උදාහරනයක් හැටියට තාත්තා මොනරාගල රාජකාරි කරන කාලයේ එහි සමූපකාර වල ක්‍රියාකාරීව සිටීම නිසා සමූපකාරය ගැන ලිපි ගණනාවක්ම එහි තිබුණා. අපේ රටේ සමූපකාර ක්‍රමය කාලයත්  සමග පරිනාමනය නොවුනු නිසා අද ඇත්තේ තරමක් අක්‍රිය හෝ සීමිත වපසරියක. මා පුදුමයට පත් නොකරමින් තාත්තා මෙම අවශ්‍යතාවය පිළිබඳව ඒ කාලයේම ලියා තිබුණා. නෙදර්ලන්තය හා තවත් රටවල සමූකාර ක්‍රමය අදට ගැලපෙන පරිදි නවීකරනයෙන් යුතුව ඉතා සක්‍රියව ආර්ථිකයට දායක වන ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක වන බව අප දුටුවා.

මීට අමතරව අධ්‍යාපනය, සංස්කෘතිය, නාට්‍ය, දේශපාලනය ආදී විවිධ මාතෘකා ඔස්සේ ලියවුනු තාත්තාගේ ලිපි එහි අඩංගුයි. එහෙත් අර එකතු කිරීම ප්‍රමාද නිසා ඒ පොත එතනම නැවතිලා. ප්‍රධාන වශයෙන්ම එහෙම අළුත් දේවල් එකතු කිරීම ගැන මට තීරණයක් ගන්න බැරිකම නිසා කිව්වොත් හරි. ඒ අනුව කිහිපයක් ලියා අතහැර දැම්මා. ඒත් ඒ ලිපි එකතුවට යමක් කරන්න අවශ්‍යයි.

අනෙක් පොත රයිගම රාජධානිය ආශ්‍රිතව ලියූවක්. රයිගම රාජධානිය පිළිබඳ මූලාශ්‍ර සොයා ගැනීම එතරම් පහසු නැහැ. මහාවංශය මෙම කාලය පිළිබදව අතිශයින් නිහඬ බවයි පෙනෙන්නේ. ඊට අමතරව සොයා ගත හැකි මූලාශ්‍ර හරහා ලැබෙන තොරතුරු වල බොහෝ පටහැනි තැන් තිබෙනවා. මේවා ටිකක් නිරවුල් කරලා ලිවීමත් එක අරමුනක් වුණා. ඊට වඩා ප්‍රධාන අරමුණ වුණේ රයිගම ආශ්‍රිතව ඇති වාරි ශිෂ්ඨාචාරය පිළිබදව සොයා බැලීම. අප හිතන හැටියට මේ වාරි කර්මාන්ත රයිගම් බණ්ඩාර හෝ මෙහි සිටි ප්‍රෙද්ශීය පාලකවරුන් ලෙස සැලකෙන අලගක්කෝනාරවරුන්ගෙනුත් ඔබ්බට දිවෙනවා. මීට අමතරව මෙම ප්‍රෙද්ශයේ පිහිටා ඇති හුදකලා කඳු බොහොමයක ප්‍රාග් ඓතිහාසික වාසස්ථාන දකින්නට පුළුවන්.

මෙහි ඇති පැරනිම සෙල්ලිපිය ක්‍රි.පූ. 1 වන ශතවර්ෂයට අයත් බවයි පිලිගැනෙන්නේ. තව දුරටත් යටත් විජිත යුගයේ පවා සශ්‍රික ආර්ථිකයක් රයිගම තිබූ බවට සාධක තිබෙනවා. මේ කරුණු ආශ්‍රිතව සැඟවී ගිය රයිගම අතීතය ගැනයි ලියන්න අවශ්‍ය වුනේ. එහෙම ලියාගෙන යනකොට අර ඉතිහාස කතන්දර ටිකක් දිග්ගැස්සුනා. ඉතිහාසඥයින් හා පුරාවිද්‍යායින්ගේ සීමාව ඉක්මවන්නට ඇති අකමැත්ත හන්දා එය පොත නැවතුනා. එහෙත් අනවශ්‍ය දේවල් අයින් කරලා නැවත එය සකස් කරන්නට අවශ්‍යයි.  

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...