Monday, October 28, 2019

අළුත්වූ මතක


දවස් කිහිපයකට උඩදී මරදාන හරහා යන්න සිදුවුනා. මාර්ග තදබදය අධික හන්දා මරදාන පාර දෙපැත්තේ තියෙන කඩ හොඳින් බලා ගන්න පුළුවන් වුණා. මුලින්ම නේවාසිකාගාරයට ගිය දවසේ මරදානේ තවමත් තියෙන ලී බඩු සාප්පුවකින් කොහු මෙට්ටයක් ගන්න සිදුවුණා. තාත්තා තමයි ඒ ලී බඩු සාප්පුව එහෙම තෝරා ගත්තේ. (මරදානේ ලී බඩු සාප්පු කිහිපයක් තිබුණා.) ඊළඟට නැවත වරක් මරදානට යන්න වුණේ ඉබ්බෙක් ගන්න. සල්ලි පිරිමහගැනීමට අවශ්‍ය හන්දා ඉතා කුඩා ඉබ්බෙක් ගත්තා. ඒකෙන් ඇති වන්නේ සංඛේතාත්මක ආරක්ෂාවක්. අනෙක් අතට අපේ සූට් කේසයේ හෝ සයනාගාරයේ එක කොනකට වෙන්න පේලියට තබා තිබූ අපේ කබඩ් වල සොරෙන් ගන්න තරම් වටිනා භාණ්ඩ තිබ්බෙත් නැහැ. මේ කඩ වලින් ගත්තු අළුත් භාණ්ඩ අපේ හිතට ගෙනාවේ අමුතු හැඟීමක්.

නැවත වරක් තාත්තා ආ වෙලාවක මරදානේ තිබෙන චීන කඩයකින් මේස් බැනියමක් හෝ යමක් ගත්ත බව මතකයි. මරදානෙන් යන හැම විටකට මේ භාණ්ඩත් එක්ක බැඳී තිබුණු අර අමුතු හැඟීම සිහියට එනවා. ඒක විස්තර කරන්න ටිකක් අමාරුයි. එක පැත්තතින් පළවෙනි පාරට ගෙදර තිබුණු සාමූහික අයිතියෙන් ඈත් වෙලා පෞද්ගලික අයිතීන් ලැබීම.  අනෙක පුංචි කාලේ ගෙදරම ඉඳලා නේවාසිකාගාරයක නවතින්න වුනාම ඇති වුනු කාන්සිය හා පාළුව සමග මේ හැඟීම් මිශ්‍ර වෙලා ඇති. තවත් පැත්තකින් හය දෙනෙක්ගෙන් සමන්විත පවුලේ වියදම් කළමනාකරණය කර ගන්න දෙමව්පියන් ගත්ත උත්සාහය පිළිබද හැඟීමකුත් එහි ඇති.

වයසින් මුහුකුරා යනවිට මේ හැඟීම් ක්‍රමයෙන් තුනී වී යනවා. ඒවා ජීවිතයේ අනෙකුත් ප්‍රශ්ණ හා හැලහැප්පීම් වලින් විසථාපනය වනවා ඇති. එහෙත් සිතේ කොහේ හරි කොනක ඒවා තැන්පත් වී ඇති බව මේ වගේ අහම්බෙන් ඇති වන සිද්දි වලින් පෙනෙනවා.    

පසුගිය සති කිහිපයේම ධම්මික බණ්ඩාර නම්වූ අපේ සගයා සහ ප්‍රවීන ගීතරචකයාගේ ගීතාලංකාර නම් වූ සංගීත රස වින්දන වැඩසටහන සංවිධානය සඳහා වෙහෙසෙන්නට වුණා. සෙනසුරාදා නාලන්දේ ශ්‍රවනාගාරයේ එය පැවැත්වුනේ. ප්‍රේකෂකයන් සංඛ්‍යාව අපි බළාපොරොත්තු වුණු තරමට නැති වුනත් වැඩසටහන සාර්ථකව පවත්වන්නට හැකි වුණා. වැඩ සටහන යෝජනා කරපු වෙලාවේ මගේ අදහස වුණේ තරමක් කුඩා ශාලාවක මිතුරන් අතරේ තියෙන වැඩසටහනක් ලෙස සීමිත පිරිවැයක් යටතේ මෙය පවත්වන්න. අනෙක් අයගේ අදහස් වලටත් ගරු කරන්න අවශ්‍ය හන්දා ලොකු වැඩකට යොමු වුණා. නමුත් අවසාන ප්‍රථිඵලය මම හිතූ තැනින් වැඩිය ඈත් වුණේ නැහැ. එහෙත් අපට අතින් පාඩු වුණේ නැහැ.

වැඩ සටහන ඉවර වෙන කොට රාත්‍රී 10.30 පමන වුන හන්දා කාලෙකින් හමුවුණු යහළුවන් එක්ක හෝ දොඩමලු වන්න වෙලාවක් හෝ නොමැති වුණා.

Wednesday, October 16, 2019

සෝමවතිය


බොහෝ කාලයකට පස්සේ වන්දනා ගමනක් යන්න අවස්ථාව ලැබුණා. ඒ පොළොන්නරුවේ සෝමවතී රජමහා විහාරයට. පළමු වතාවටයි එහි යන්න ලැබූනේ. එහෙත් සෝමාවතිය අභය භූමියට බම් මීට කළින් යන්න ලැබුණා. අනුරාධපුරයේ රාජකාරී කරන කාලයේ සෝමාවතී අභයභූමිය මැද තිබුණු වැව් දෙකක් ප්‍රතිසංස්කරණය කිරීම එවකට රාජකාරී කළ ව්‍යාපෘතිය මගින් සිදු කෙරුණා. ඒ සඳහා අරමුදල් ලබා දුන්නත් නිලධාරීන් කිසිවෙක් එම වැව් දැක තිබුණේ නැහැ. එයට හේතුව මෙම අභය භූමිය එවකට කොටි රජදහනක්ව පැවතීමයි. ඒ නිසාම පදිංචිකරුවන් එම ගම්මාන අතහැර ගොස් තිබුණා. එහෙත් ගොවිතැන් පමණක් කෙරී තිබුනා. කුඩා හමුදා අනුඛණ්ඩයක් එම වැව් අසල ස්ථාපනය කොට තිබුණා. අප එහා යන් විට අපට ආරක්ෂාව සැපයුවේ එම කුඩා හමුදා කඳවුරෙන්.

සෝමාවති රජමහා විහාරය ඇත්තේත් අභයභූමිය අද්දරයි. ලඟ ඇත්තේ සුංගාවිල කියන් ගම. ඒ හන්දා සමීපයේ ජනාවාස නැහැ. පන්සල දක්වා ඇති විදුලි වැට සමීපයට වල් අලින් පැමිනෙනවා. ඊට අමතරව මෙම පංසල් භූමිය ගංවතුරෙන් ද යටවන බව කියවෙනවා. නමුත් පුංචි කඩමණ්ඩියක් එහි තිබුණා. එහි එන වන්දනා නඩ වලට නවතින්න විශාම ශාලා සංකීර්ණයක් ම තනා තිබෙනවා. වායු සමනය කළ කාමර පවා එහි අඩු ගාස්තුවකට ලබා ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ දකුණු දළදාව සෝමවතී චෛත්‍යයේ තැන්පත් නොට ඇති බව සඳහන්. ඒ වගේ බුදුරැස් විහීදීම වගේ ආශ්චර්යන් මෙහි සිදුව ඇති බව කියවෙනවා. ඒ සම්බන්ධ ඡායාරූපද එහි දක්වා තිබෙනවා. නායක හාමුදරුවන් බණ කියද්දී මෙම ආශ්චර්යන් ගැන පුන පුනා කියන්නේ බැතිමතුන් වැඩි පිරිසක් ගෙන්වා ගැනීමට වන්න ඇති.  

කොටින්ගෙන් තිබූ තර්ජන නොතකා හාමුදුරුවන් පංසල ආරක්ෂා කොට ගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව දෙක හෝ තුන්වන සියවසට අයත් සෙල්ලිපි එහා දකින්නට පුළුවන්. එහෙත් ඒවායේ ලියවී ඇතිතේ මොනවාද කියා දක්වන පුවරුවක් හෝ එහි දකින්නට නැහැ. එහි පූජා වතාවත් වලට සහභාගී වෙලා ඉරිදා දවල් වරුවේ පොළොන්නරුවටත් ගිහින් ආපසු කොළඹට එනකොට රාත්‍රී 12 ට කිට්ටු වෙලා. දවස් දෙකක් නිර්මාංශිකව සිටීමත් හොඳ යෙක් වුණා.  

                                          දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය


සෝමවතී චෛත්‍යය


පොළොන්නරුවේ නටඹුන්





ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...