Wednesday, December 29, 2021

මිනිසෙකු ඕනෑකර තිබේ



ප්‍රවීන ගීත පදරචකයකු සහ සාහිත්‍ය විචාරකයකු වන ධම්මික බණ්ඩාරයන් විසින් රචිත සිහින “සක්මන කාව්‍ය සංග්‍රහය මෑතදී කියවන්නට ලැබුණි. මා කිසිසේත්ම සාහිත්‍යකරුවකු හෝ සාහිත්‍ය විචාරකයකු නොවෙතත් මෙම කාව්‍ය සංග්‍රහය ගැන යමක් නොලියා සිටිය නොහැකි යැයි හැඟුනු බැවින් මෙම සටහන තබන බව පළමුවෙන් සඳහන් කළ යුතුවේ.

සිහින සක්මන දශක කිහිපයක කාලය හරහා අප ගෙන යන සොඳුරු සක්මනකි. එහෙත් එය හුදෙක් අතීතාවර්ජනයක් නොවේ. සමස්ථයක් ලෙස සිහින සක්මන,ජීවිතයේ අරුත සොයා යන තීර්ථ යාත්‍රිකයකුගේ ගමන සිහි ගන්වයි. එම ගමන් මගෙහි මං සලකුණු, නවාතැන්පොළවල්, සන්ධිස්ථාන සහ සැතපුම් කණු එකිනෙකින් ස්වායත්ත සිද්ධීන් නොව හේතුඵල සම්බන්ධයෙන් යුතු එකිනෙක තදින් බැඳී පවතිනඑක් දම්වැලක පුරුක් ලෙස හඳුනාගත හැකිවේ. මෙහි ඇති අනෙකුත් විශේෂත්වය නම් කවියා පාඨකයාට අවංක වීමත් ඔහු තමන් හට අවංකවීමත් කාව්‍යය පුරාවටම දැකගතහැකි වීමයි.

කවියා සිහින සක්මනට මුලපුරන්නේ කාලය විසින් අපේ ජීවිත වල සිදු කරන ලද පරිවර්තනය පිළිබඳ ගැඹුරු අරුතක් කරා අප ගෙනයමිනි. එහි හැඳින්වීමේ එන එක කවක් පහත පරිදිය.

 

“මට මොහොතක් අතීතයට යන්න            දෙන්න

කතා නොකර මගේ ලඟින් අයින්   වෙන්න

කරුණාකර පැලඳි ඔටුනු බිම         තබන්න

පපුවට කන තියාන දැන් අහන්          ඉන්න

 

භද්‍ර යෞවනයකු තුල ඇතිවන ප්‍රථම ප්‍රේමය අහිමි වීමේ වේදනාව හරහා මතුවන සිතිවිලි හා බද්ධ වූ ක්‍රියාදාමයක් වශයෙන් කාව්‍යය ආරම්භවේ. භද්‍ර යෞවනයේ ආදරය බොහෝකොට පරමාදර්ශීයය. පිරිසිදුය. එය මිල මුදල්, යාන වාහන, තරාතිරම් හෝ අනෙකුත් භෞතික සම්පත් වලින් හෝ පුහු පුරුෂාර්ථ වලින් විකෘති වී නොමැත. එය ප්‍රශස්ත මානව සම්බන්ධතාවයක් නොවේ නම් එයට ආසන්න අවස්ථාවක් යැයි සිතමි.

කවියා භද්‍ර යෞවන ප්‍රේමය හිමි වීමත් අහිමි වීමත් අතර සුන්දරත්වයක පැටළේ. එහෙත් එවැනි අත්දැකීම් සුන්දර ලෙස හැඟෙන එහෙත් අසුන්දර අවසානයක් කරා යොමුවිය හැකිය. ජීවිතයේ අනේක විධ ඉච්ඡාභංගත්වයන් සියදිවි නසා ගැනීමක් දක්වා ගමන් කළ අවස්ථා අපට කොතෙකුත් අසන්නට ලැබේ. තරුණ සිත් කලබලකාරී, රැඩිකල් වන බැවිනි.

කවියා මෙම අන්තයන් මෙනෙහි කරයි.

එක පැත්තකින් සුන්දර සංවේදී ජීවිත මෙන්ම අනෙක් පැත්තෙන් සියල්ලට ඉහලින් ඇති ආදරයේ මිහිරියාවත් කවියා සසඳයි. සිය සහකාරියත් සමග එක්ව සිය දිවි නසා ගත් ජපන් ජාතික විශිෂ්ඨ නවකතාකරුවකු වන දසයි ඔසමු මෙන්ම ප්‍රේමය නිසා මරණයට ලක්වූ දස්කොන් හරහා ජීවිතයේ තරුණ සිතක මනෝභාවයන්හි කැළඹිලි අපට පසක් කරයි.

“ දසයි ඔසමු.......

සියදිවි නසා ගැනීම

සාධාරණීකරණය කරලා

අන්තිමට ඔබත්

සියදිවි නසා ගත්තා

 

“උන්නු සඳ ඔබ මහ රජුගෙ මිතුරෙකු        වෙලා

බිසව හින්දා මිතුරු දම් ඔබ                                 විසිකළා

දන්න තරමට ආදරේ හැටි ඒ                       තමා

නැතිද දෙවරක් සිතා බැලුවේ                  ඔබතුමා

 

ජීවිතයේ මෙම සාමාජික මෙන්ම පුද්ගලානුබද්ධ හැලහැප්පීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට නම් යමෙකු හට මනා ජීවිතාවබෝධයක් තිබිය යුතුය.

කවියා එය අප වෙත ගෙන එන්නේ සියුම් හාස්‍ය රසයක් සමගිනි.

“ පවුල එක්ක රණ්ඩු වෙලා

            අපේ ගමේ කොට මාර්ටින්

            රේල්ලුවට බෙල්ල තිබ්බා

            හරියටම දවල් දොළහට

           

            පීල්ලේ රස්නෙට

            බෙල්ල පිච්චිලා

            කොට මාර්ටින් ගෙදර දිව්වා

 

මතුපිටින් බලන කළ සිහින සක්මනෙහි කතා නායකයා දිගින් දිගටම තැවෙන්නේ භද්‍ර යෞවනයේ ආදරය අහිමී වීම පිළිබඳවය.

            “............

            මිහිරියේ මගෙ මිහිරියේ

            ඔබට දැන් නම් මා අමතකව ඇතී

            ..............

           

එහෙත් කවියා භද්‍ර යෞවනයේ ආදරය අහිමි වීමේ වේශයෙන් තැවෙන්නේ ප්‍රාර්ථනා කළ එහෙත් අපෙන් දුරස් වෙමින් පවතින මිනිස්කම් පිළිබඳවද?ආදරයේ විවිධ පැතිකඩ කුස-පබා, දික්තල-කාලගෝල සහ දස්කොන්-ප්‍රමිලා වැනි උදාහරණ හරහා කවියා ගෙන එන්නේ මනුෂ්‍ය සබඳතාවලවිවිධ පරාසයන් සිහිගන්වමිනි. 

 

පූර්විකා වලින් පසුව පොතේ තුන්වන කවියෙන් ඔබ්බට කවියාගේ සක්මන ඇරඹේ. එහි ආරම්භක කවිය මෙම කාව්‍ය සංග්‍රහයේ යටිපෙළ පිළිබදව නැවතත් අපට සිහිගන්වන්නකි. එමෙන්ම එය අපූරු කවියකි.

 

“ඉරටත් හොරෙන් කාලය ගෙවුණ ඉක්මන

සදටත් හොරෙන් ඇන්දෙමි කදුළු සිත්තම

මලටත් හොරෙක් මල්වල සුවඳ එක්කම

කාටත් හොරෙන් අරඔමි සිහින සක්මන”

 

සුන්දර ගමින් ඇරඹෙන සක්මන ආනන්ද බෝඩිම හරහා නගරයේ කර්කශබව හා ගමේ සුන්දරත්වය මෙන්ම එහි වූ බැදීම් වලින් සැදි මනෝභාවයන් අතර දෝලනය වෙමින් ඉදිරියට ඇදේ.හැත්තෑව දශකයේ දී (විශේෂයෙන් එහි මුල භාගය) පවා නොයිඳුල් ග්‍රාමිය පරිසරයක් අප රටේ බොහෝ පළාත් වල තිබූ බව අතිශෝක්තියක් නොවේ. එයින් අදහස් වන්නේ හුදෙක් භෞතික පරිසරය නොව අව්‍යාජ බැඳීම් වලින් යුතු, බොල් පුරුශාර්ථ වලින් තොර සමාජීය වටපිටාවක් යන්නය. මේ පිළිබඳව තව දුරටත් විමසා බලමු

 

“හිත දුවයි ඈත වන්නියට........

කොණ්ඩ කිරා රං කිරා මාටින්

අඳයට කුඹුරු කරන

ණය ගැතියි උන්ගේ දහඩියට

 

ගමෙන් නගරයට එන මානවයකුගේ මනෝභාවයන් කවියා ආනන්ද බෝඩිම හරහා දිගහැර දක්වයි.

           

“ බැමිණිටියා සාය

එකළ මුළු මරදානට

            ඇවිදින ඇටසැකිලි

            තාප්පෙන් පැන ඇවිත්

            එබිකම් කරයි

            සශ්‍රික බත්මුල

දන්දී උන්ට

වතුර බොමි

දුකින් මෙන්ම

උන් ගැන

වෛරයෙන්”

 

ගමේ සශ්‍රීකත්වයත් සුන්දරත්වයත් අතරේ නගරයේ කර්කශභාවය මැද පාසලෙහි සරළකම මුසු වුනු උප සංස්කෘතිය හා එයට ආවේණික ප්‍රතාපවත් බවින් කවියා සැනසුමක් ලබයි. එයට දිවයිනේ හතර දිග්බාගයේ සිට පැමිණි සිසුන්ගේ සාම්‍යයසහ බෞද්ධ පරිසරයක් තුළින් ගොඩනැගුණු උප සංස්කෘතිය හේතු වන්නට ඇතැයි සිතමි. 

 

“මරියාකඩේ මැද

            සදාකල් වැජඹෙන

            මහා රන්කොත

            ආනන්දය

 

බෙහෙවින් ආයතනගත වූ පාසල් බෝඩිමෙන් ඉවත් වී නාගරික පරිසරයක බෝඩිමකට යාම එක් අතකින් අවදානමකි. දෙමාපිය ඇසුරින් වෙන්වු තරුණයෙකු හට නිදහස අසීමිත ලෙස ලැබුණු කළ එය සුන්දරත්වය සොයා යාම අරුමයක් නොවේ. එහෙත් සුන්දරත්වය විඳීමේ මාර්ග තෝරා ගැනීම සිදුවන්නේ අපේ සිතුවිලි හා වටපිටාව සමග ඇති කරන ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙසය. කවියා මේ දේවල් වලින් හෙම්බත්වී ඇති සේය.

 

“බෝඩිමේ                     ගැමුණුට

මලක් එතිලා                  හිත යට

තබා පොත                    ඇඳ යට

සිනාසෙයි බෝඩිමේ        වහලෙට

 

කවියාට විඳින්නට ලැබෙන අත්දැකීම් සුන්දර ඒවා නොවේ. මේ හැලහැප්පීම් අතරේ ආර්ථිකය විවෘත වීම පිළිබඳව කවියා සංවේදී වේ. විවෘත ආර්ථිකය නමැති අරුමෝසම් හීනය මිනිසුන්ගේ සිත් වසඟයට ගනී. වානිජ ආර්ථිකය ඉදිරියේ දියවී යන පුරුෂාර්ථ කවියා ඇස් පනා පිට දකී.

 

“වෙළෙන්දන් ළඟ

මිනිස්සු පොරකති

මිලදී ගන්නට නොව

මිලදී ගත හැකි දැයි බලන්නට”

 

“ නරඹා එක එක             විසිතුරු

   හරවා හිත උඩු                         යටිකුරු

   කළු කපුටා සුදු වන            තුරු

   කාසි සොයති එළිවන         තුරු”

 

මේ අතරේ 83 ජූලි කලබල වලින් ඇවිළුනු කොළඹ, කවියාගේ හද සසළ කරවයි. ජාතිවාදය හමුවේ මානූෂීයකම් දියවී යන දෙස කවියා බලන්නේ දොම්නසිනි.

 

“............

පුතා යැයි අමතා

හිස අතගා බේත් දුන්

ශිවනාදන් දොස්තර

වැටී සිටියා කානුවක් ළඟ

කවන්ධයක් ලෙස”

 

එහෙත් ලෝක ධර්මය නම් එක් සන්තාපයකින් බොහෝවිට අපේ තවත් සංතාපයක් තුනී වීමයි.

 

“විජිතා නොලැබුණු දුක

මොහොතකට තුනී වී

කියාගන්නට බැරි

මහා දුකක් ඇති විය.”

 

එතැන් සිට ලෝකය වෙනස් විය.

 

ජීවිතයේ සනාතන ධර්ම කාටත් පොදුය. මවගේ වියෝව ඔහුට තනිකමක් ගෙන එයි. තනිකමකදී සිතුවිලි දිවයන්නේ හදවතට සමීප ළබැඳීයාවන් වෙතය.  

 

“විජිතා ඔයා මා ළඟ හිටියා නම්

මගේ හිත හදා ගන්න තිබුණා”

 

කලබැගෑනි එන්නේ එකක් පසු පස එකක් එන්නාක් මෙනි. ජාතිවාදී කලබල වලින් ඇවිලුණු කොළඹ පසුව ත්‍රස්තවාදී බෝම්බ බියෙන් ඇලලී යයි. එය පාරාවලල්ලකි. ත්‍රස්තවාදයේ කුරිරුබව කවියා විදහා දක්වන්නේ අප හදවත් සසල කරමිනි.

 

“පිටකොටුවේ බෝ ගහ යට ලොතරැයි මල්ලී

වාසනාව ඇති හැමටම බෙදුවා      සල්ලී

අකුණු හඬක් නැඟුණා පිටකොටුවම හෙල්ලී

නුඹේ කැබලි තිබුණා බෝ අතුවල එල්ලී”

 

 

මේ අතරේ කවියා සරසවියගේ ඇසුරට එක්වේ. එකළ එනම් අසූව දශකයේ සරසවි සිසු සටන්,  තැන තැන මරණය පෙනෙන අඳුරු කාලපරිච්ඡේද අතරින් කවියාගේ ජීවිතයට සොඳුරුබවක් ගෙන එන්නේ ආදරයයි. ජීවිතයට මෙසේ මුහුනදෙන අතරම සමාජය හරිමගට ගැනීම සදහා වීදියට බසිමින් කලාව යොදාගැනීමේ උත්සාහයක ද ඔහු නිරතවේ. එහෙත් ප්‍රථිඵලය කුමක්ද?

“ගයමින් ගී

උගුර ලේ රහවනගුරු

වීදියේ රැඟුවෙමි

ලෝකය අප හිතූ පරිදි වෙනස් නොවී

එලෙසම පැවතිණි”

 

සරසවියෙන් සමාජයට පිවිසෙමින් ජීවිතවල දෙබිඩිකම්,දේශපාලන රැවටීම්, කුහකකම් වලින් හෙම්බත් වී සිටින විට කලාවෙන් එයට යම් අස්වැසිල්ලක් ලැබේ යැයි විශ්වාසයක් ඇතිවේ. ඒ අතරතුර කවියාගේ අත්දැකීම් තවදුරටත් සමාජයේ විවිධ පැතිකඩ හරහා දිවෙයි. ඒවා සියල්ල කතුවරයා යම් තීර්ථ යාත්‍රාවකට අවතීර්ණ කරවන බව පෙනේ.

 

මේ සියළු හැලහැප්පීම්, සම්ප්‍රයෝග විප්පයොග අතරින් ජීවිතය ඉදිරියට ඇදේ. එය යන්නන් වාලේ යන්නට නොදී කවියා ඒ පිළිබදව සවිඥානික වේ. යෞවනය මෙන්ම විවාහ ජීවිතයද අභියෝග වලින් තොර නොවේ. එහෙත් ජීවිතය ඉදිරියට යා යුතුය. කවියා එය ඉදිරිපත් කරන්නේ අපූරු යෙදුමකිනි.

            “මායි යසෝමයි

            වැල්ලෙ මාලිගා හැදුවා

තාමත් පොළී ගෙවනවා

ඒ මාළිගා වලට

 

ජීවිතයේ පසු අවස්ථාවලදීත් අපකී පරමාදර්ශීය පුද්ගල සම්බන්ධතාවයන් - ආදරය තබා ගන්නට වටපිටාව අපට ඉඩ සලසයිද?

 

“අර ඈත කන්ද දුරින් තිබෙන

හින්දයි ලස්සන

පුරහඳට වුණත් ළං වුනාම

කෝ ඒ ලස්සන

 

සමාජ-ආර්ථික තත්ත්වයන් විසින් කුළුගන්වන, පුහු පුරුෂාර්ථ පසුපස දුවන මිනිසුන් විසින් ජීවිතයේ අරුත වෙනස්ම තැනකට ගෙනයමින් සිටී.

 

“සංගීත පිට්ටනියක

විසිකළ කොන්ඩෝමයක

ආදරේ ගැබ්බරව සිටින විට

රේඩියෝ චැනල් එකකට

එක රැයින්

ආදරේ ප්‍රසූත කළ හැකිය”

 

මේ තොරතෝංචියක් නොමැති හැලහැප්පීම් වලින් වියුක්තව ලෝකය දැකීමට කවියා සමතෙකි. එකිනෙකා පරයා දිවයන ආර්ථික මාරුතයට අසුවී සුනු විසුනු වී යන මානුසික සබඳතා ගැන කවියා විටින් විට අපට මතක් කර දෙයි.

 

“...............................

අධිවේගි මාර්ගයක ඇරඹුමෙහි

යායුතු අතක් නොදැන මං මුළාව බලා සිටිමි

සංඥා එළි දල්වන

මේ වාහන වලට

හදවත් ඇත

මෙහි යන බොහෝ මිනිසුන්ට

හදවත් නැත

...............”

 

කාව්‍ය සංග්‍රහය පුරාම කවියා ගේ බස හැසිරවීමේදීත් ඇසූපිරූ තැන් සහ පොත් පත් ඇතුළු විවිධ මූලාශ්‍ර හරහා උකහා ගත් උපමා උපමේය යොදා ගැනීමේ දක්වන හැකියාව පාඨකයාගේ සිත් බැඳ ගනී. කතුවරයාගේ ජීවන දෘෂ්ඨිය ඉන්ද්‍රකීලයක් සේ සිහින සක්මන පුරාම යටින් දිවේ. කාව්‍ය සංග්‍රහය පුරාම උපුටා දැක්විය යුතු තවත් බොහෝ අපූරු කවි වෙතත් ලිපිය දිගු වීම වැලැක්වීමේ අරමුණින් ඒවා තවදුරටත් කියවීම පාඨකයාට බාර කරමි.

 

අප රටේ සමාජ ආර්ථික ඉතිහාසයේ වැදගත් පරිච්ඡේද කිහිපයක් සිහින සක්මනට විෂය වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. තරුණ නැගිටීම්, ආර්ථික පෙරලි, ත්‍රස්තවාදී කලබල ආදී විවිධ සිදුවීම් කෙතරම් වේගවත්ව සිදුවී ද යත් එම ප්‍රවාහය තුළ ගසාගෙන යනවා හැරෙන්නට ඒ පිළිබදව විචාර බුද්ධියකින් සිතන්නට තබා හැරී බලන්නටත් කාලයක් අපට ඉතුරු කර නැති සේය. එම සිද්ධි අත්විඳින්නට වීම භාග්‍යයක් ද නැති නම් අභාග්‍යයක් දැයි අපෙන් පෙරළා අසන්නට අපේ මනස යොමු කිරීමට මෙම කෘතිය සමත් වන බව සිතමි.     

 

වත්මන් පරපුරෙහි රසාස්වාදය යම් තරමින් පිරිහී ඇත්නම් එයට ප්‍රධාන හේතුව එම පරපුරෙහි භාෂා දැනීම පිරිහීම බව විශ්වාස කරමි. මුනිදාස කුමාරතුංග පඬිවරයා පෙන්වා දී ඇති පරිදි සහජ ශක්තීන්ගෙන් හා නීතිරීති වලින් තොර භාෂාවක් නිරූපනය කරන්නේ දුර්වල ජාතියකි. ජාතියක් ශිෂ්ඨසම්පන්න වීමට නම් භාෂාව ශිෂ්ඨසම්පන්න විය යුතුය. ඒ අනුව සාමාජික ආර්ථික ජනජීවිතයේ සියළු අංග හා භාෂාව තදින් බැඳී පවතින බව කිව හැකිය. කලාව පිරිහුණු කල, මානවයා එයින් ඈත්වූ තරමට මනෝභාවයන් පිරිහීමට කටයුතු යෙදේ ඒ හරහා මානව සබඳතා පිරිහීම නොවැලැක්විය හැකි වනු ඇත. සංවර්ධනය යැයි සිතා අප දිවයන ගමන අවසානයේ එහි ප්‍රතිලාභ විඳින්නට මනුෂ්‍යයකු ඉතිරි නොවනු ඇත. සිහින සක්මන මාන කිහිපයක් ඔස්සේ අපට පසක් කරන සත්‍යය එයයි.

 

 

සිරිකුමාර ගුණසිංහ

අතිරේක ලේකම්,

කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය

2020 පෙබරවාරි

Thursday, September 30, 2021

කියවන නුවණ

 


අද ඔක්තෝම්බර් පළමුවෙනිදා. ලෝක ළමා දිනය. ඊයේ මගේ හිත මිත්‍රයෙක් කතා කර ඇහුවා නිර්මානාත්මක අනාගත පුරවැසියන් බිහි කිරීමේ ලා ළමා ගීතයේ වැදගත්කම යන මාතෘකාව යටතේ කලාකරුවකු හැටියට මට කියන්න තියෙන්නේ මොකක්ද කියළා දැනගන්න කැමතියි කියලා. ඉතින් මේ ගැන -කලාකරුවෙක් නොවුනත්- මටත් යම් අදහසක් ප්‍රකාශ කරන්න පුලුවන් වුනත් මම කලේ අපේ තාත්තා ලියපු කුමාර සාහිත්‍යය කියන පොත මගේ මිත්‍රයාට තිළිණ කිරීම. ඒත් එක්කම තාත්තාගේ පොත අරමුණක් ඇතිව මා පළමු වරට කියෙව්වා. ඇත්තටම මේ පොත මහා පඬිවර මුනිදාස කුමාරතුංගයන් ගේ ළමා සාහිත්‍යය පිළිබඳව ලියවුනක්. ජීව විද්‍යාව, මනෝවිද්‍යාව ආදී විෂයන් හරහා කුමාරතුංග චින්තනය ගැන තාත්තා මේ පොතේ හොඳ විවරණයක යෙදෙනවා. මේ පොත 2013 දී දෙවන මුද්‍රණයක් මා මුල්වී සිදු කළත් එහි පිටපත් බොහෝ ගණනක් තවමත් ඉතුරුවී ඇති බව එහි ප්‍රකාශක ප්‍රවීන ගත්කතුවර තාත්තාගේ ත් මගේත් මිතුරකු වන (අවාසනාවකට මා ඔහු හඳුනාගන්නා විට තාත්තා මෙලොව හැර ගිහින්) සිරිසේන විතානගේ ශූරීන් මා සමග පැවසුවා. ඉතින් මා කල්පනා කළේ මම වුනත් ඒ පොත හරියට කියෙව්වේ ඊයේ හන්දා අනෙක් පාඨකයන් සමග අමනාප වීමට කරුණක් නැති බව.

සමහර විටක මේ වගේ පොතකට ප්‍රමාණවත් ප්‍රචාරයක් ලැබුනොත් අදාල ක්ෂේත්‍රය හදාරන විද්‍යාර්ථින් හො එය මිලදී ගන්න පෙළඹෙනු නොඅනුමානයි. මගේ පොත් වලින් පසුව ලියූ පොත් දෙකේම මගේ ජංගම දුරකථනය සඳහන් කර ඇති හන්දා ඉඳහිට මටත් රසිකයෙක් හො රසිකාවියක් මගේ පොත ගැන කතා කරනවා. එය ලියන්නෙකුට අප්‍රමාණ ධෛර්යක් ගෙන දෙන්නක්.

තාත්තා පත්තර වලට ලියූ ලිපි වල එකතුවක් බොහෝ දුරට සකස් කර අවසන් වුවත් එය සම්පූර්ණ කරන්නට විශේෂයෙන් එහි format එක මොනවගේ වෙන්න ඕනද කියන එක ගැන තවමත් ඉන්නේ දෙගිඩියාවක. ඊට අමතරව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ගහපු අධ්‍යාපන සඟරාවේ, රසවාහිනියේ, රවිරැස, දවස, සවස, ලංකාදීප, අකුර, සමූපකාරය, බුදුසරණ ඇතුළු පුවත් පත් සඟරා බොහොමයක තාත්තාගේ ලිපි පළවි තිබුණු බව කියන්නට පුළුවන්. මේ සමහරක් ඒවා දැන් සොයා ගන්න වෙන්නේ ජාතික ලේඛනාගාරයෙන්. එහෙත් එහි සුචිගත කිරීමක් නැති නිසා එයත් පහසු කාරියක් නොවේ. 


Monday, September 27, 2021

මේ සීත නිල්ලේ

 


සදුදා උදේට කළුතර සිට බණ්ඩාරගම රයිගමට ඇවිත් තමයි මේ දිනවල කාර්යාලයට පැමිණීම කෙරෙන්නේ. සතියේ දවස් පහ රයිගම ඉඳන් තමයි කාර්යාල ගමන. කළුතර සිට කොළඹට එන්න ගියොත් එකට වැඩි කාලයක් ගත වෙනවා වගේම අධික වියදමකුත් යනවා. බොහෝ විට කළුතර නාගොඩ කිට්ටුවෙන් පිහිටි අපේ ගෙදර සිට සඳුදාට රයිගමට එන්නේ කළුතර-වස්කඩුව සහ බණ්ඩාරගම හරහා. ඒත් ඉඳහිට දවසකට බෝම්බුවල-තෙබුවන අඟුරුවාතොට හරහා රයිගමට  එන පාර භාවිතා කරනවා. ඒ පාර වැටී ඇත්තේ සශ්‍රීක කුඹරු යායවල් ගෙවතු වලින් පිරි ඉතාම ග්‍රාමීය පරිසරයක් හරහා. නැතිනම් ඇත්තේ විශාල රබර් වතු. සමහර දිනෙක අඟුරුවාතොට සිට හොරණට ඇවිත් පොකුණුවිට හරහා රයිගමට එනවා. හොරණ හරහා එනවිට අඟුරුවාතොටත් රෙමුණ සහ හොරණ කිට්ටුවත් කඳුවැටි කිහිපයක් ආසන්නයෙන් පාර වැටී ඇත්තේ. හිමිදිරි පාන්දර හන්දා එතරම් උස් නොවූ ඒ කඳුවැටි මිහිදුමෙන් වැසී තියෙනවා දකින්නට පුළුවන්.

ඒහෙම එනකොට මතක් වන්නේ රාජකාරිය සඳහා කොළඹට පැමිණීමට පෙර බදුල්ල දිස්ත්‍රික්යෝ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ග්‍රාමීය පෙදෙස් වල කරපු රාජකාරී. බදුල්ලේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වටපිටාව නම් බොහොම සුන්දරයි. සීතල මීදුමෙන් වැසුනු පරිසරය, පිරිසිදු සුළඟ සහ ජලය වගේම මනහර උස්කඳුවැටි දියඇලි ආදිය කෙනෙකුගේ සිත භාවනාවකට පත් කරන්න තරම් පුළුවන්. දැන්නම් කන්තෝරුවක් කිව්වහම මතක් වන්නේ නාගරික පරිසයක් පමණයි. එහෙත් අරවගේ සුන්දර ග්‍රාමීය පරිසර වලත් රාජකාරී ස්ථාන තියෙනවා. ඒවයේ වැඩ කරන්න වාසනාවක් තියෙන්න ඕණා. (සමහරවිට කෘෂිකර්ම අංශයේ රාජකාරීයක නිරත් වුණා නම් එයට වැඩි අවස්ථාවක් තිබුණා)

බොහෝ වෙලාවට තනතුරෙන් තරමක් ඉහලට යනවිට රාජකාරී ස්ථාන පවතින්නේ නගරය ආශ්‍රිතව ඇති අමාත්‍යාංශ කාර්යාල වලයි. එහෙත් සමහර වෘත්තීන් සඳහා එය පොදු නැහැ. මගේ හිතමිත්‍රයෙක් ඉන්නවා සිවිල් ගුවන් සේවා අංශයේ ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන ඔහුගේ කාර්යාලය ඇත්තේ ලංකාවේ උසින් වැඩිම ස්ථානය වූ පිදුරුතලාගල කඳු මුදුනේ. අවුරුද්ද පුරාම පාහේ එහි පවතින්නේ අධික සීතලක්. ඒවගේම වටේට ඇත්තේ නොඉඳුල් රක්ෂිත වනාන්තරයක්. ඒ අතින් බැලුවහම ඔහු වාසනාවන්තයෙක්.

නොහොම වුනත් නගරය වටා ඒකරාශී වී ඇති රජයේ කාර්යාල හා කටයුතු යම් විදිහකට විමධ්‍යගත කරන්න පුළුවන් නම් එය නිලධාරීන්ගේ මානසික සෞඛ්‍යට පමණක් නොවේ තව බොහෝ ප්‍රශ්ණ වලට විසඳුමක් විය හැකියි.  

Tuesday, September 14, 2021

කලකට පස්සේ

ලිවීම කියන එක පොඩි දෙයක් වුනත් ලොකු බැරැරුම් දෙයක් වුනත් අවිච්චින්නව කරගන යන්න ඕන වගේම එයට දැඩි කැපවීමක් අවශ්‍යයි. පෙරත් කියා ඇති පරිදි වැඩ ගොඩක් කෙරෙන්නේ වැඩ ගොඩක් ඇති විටයි. එහෙත් ඒ තියරිය ටිකක් වෙනස් වුණු කාලයක් තිබුණා පසුගිය ටිකේ. ඒ දුම්රිය දෙපාර්තමෙන්තුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරපු මාස කිහිපය. අභියෝගාත්මකයි.ඒත් හැමදාම උදේ නැගිටලා සතුටින් වැඩට ගියේ. නිවාඩුවක් ගත්තෙම නැති තරම්. සෙනසුරාදා ඉරිදාත් බොහෝ විට වැඩ. බෙහෝවිට ක්ෂේත්‍රයේ. ගෙදර හිටියත් ටෙලිෆෝනයට විනාඩි කිහිපයක හෝ නිවාඩුවක් ලැබුනේ නැහැ. මට ලැබුණු වැඩ බැලීමේ වැටුපට වඩා වැඩියි අමතරව ගිය ටෙලිෆෝන් බිල. ඒක අතින් ගෙවන්නට ඕනා.

හොඳට හෝ නරකට මාස හතරකින් මට ඒ කාරියෙන් ඉවත් වන්න සිදුවුණා. අළුත් දේවල් කිහිපයක් පටන් ගත්තා. තවත් කිහිපයකට අඩිතාලම් දමා තිබුණේ. ඒවා ගැන දිගින් දිගට කතා කිරීම අවශ්‍ය නැහැ. රාජකාරී දිවියේ වෙනස්ම අත්දැකීමක් වගේම ඇඟට දැනෙන්න වැඩක් කරන්න පුළුවන් තැනක් යැයි කීම ප්‍රමාණවත්.

කෝවිඩ් වසංගතය හන්දා මේ සතියත් රට වසා තියෙන්නේ. මේ තත්ත්වය තුල ආර්ථිකය හැසිරවීම අභියෝගාත්මකයි. එහෙත් ඒ අභියෝගය තේරුම් ගත්තු බවක් නම් පෙනෙන්නේ නැහැ. එහෙම නැත්නම් ටිකක් Core එකෙන් ඈත් වෙලා Periphery එකේ ඉන්න හන්දා ඒ ඇත්තන් කරන දේවල් අපට පෙනෙන්නේ නැතුවා වත්ද? ඒත් කරන කියන දේවල් වලින් හෝ ඒවයේ outcome එකෙන් ඒ බව පෙනෙන්නට නැති එකයි ප්‍රශ්ණය. ඒව්වා ගැන වැඩිය ලියන්නට ගියොත් මගේ සීමා වලින් එලියට යන්න පුළුවන් හන්දා ඒකත් ඇති.

කොහොම වුනත් ජීවිතයම වෙලා ගෙන තියෙන මේ කම්මැලිකම නැත්නම් හුදෙකලාවෙන් මිදෙන්න මගක් අපි සොයා ගන්න ඕනා. සියළු දේ සැහැල්ලුවෙන් හිතන සැහැල්ලුවෙන් ක්‍රියා කරන තත්ත්වයකට මුළු රටම පත්වීගෙන යන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. පෞද්ගලිකවත් පොදුවේත් මේවාට විසඳුම් අපට සොයා ගන්න පුළුවන්ද? මේ තත්ත්වය මගේ හිතමිත්‍රයකු සමග කතා කරන වෙලාවකදී මට කිව්වේ තමන්ගේ passion එක හොයගෙන ඒ සදහා එල්ලවී වැඩ කරන්න කියා. මම තවමත් කල්පනා කරන්නේ මගේ passion එක විය හැක්කේ මොකක් ද කියා?   

Tuesday, February 9, 2021

රන් රෝස



පරිසරයේ සමහර දේවල් දකිනකොට යම් කාලෙක අපේ අත්දැකීම් සමග බැඳීමක් ඇත්නම් ඒවා සිහිවෙනවා.  ඇස්බැස්ටෝස් හෙවිල්ලපු උසින් අඩු වහලයක් සහිත කුඩා ගෙවල් දැක්කහම මට මතක් වන්නේ අනුරාධපුරයේදී අපි මුළින්ම සිටි ඇනෙක්සි. ඒ අපි පවුලක් හැටියට වෙනම ජීවත් වන්න පටන් ගත් කාලය නිසාත් නුහරු පරිසරය නිසාත් ඒ දවස් අපේ හිතේ තදින් ඇඳිලා ඇති බව හිතන්න පුළුවන්. අනුරාධපුරයේ පවතින උෂ්නත්වය අනුව ඇස්බැස්ටෝස් වහල එහෙට ගැලපෙන්නේ නැහැ වගේම වහල උසින් අඩුවීමත් ගැලපෙන්නේ නැහැ. රාත්‍රියේදී පවා විදුලි පංකා පාවිච්චි කළත් එහි තියෙන්නේ තද රස්නයක්. එවැනි ගෙයක් අද දැක්කත් මොකක්දෝ ලඟ හැගීමක් ඇති වනවා. ඒකෙන් තේරෙන්නේ අත්දැකීමක් කටුක වුවත් ඒ වටා ඇති බැඳීම් අපේ හිතට වැඩියෙන් බලපාන බව. මේ ගෙවල් වල හිටි දිනවල කුස්සියට අවශ්‍ය උපකරණ වගේම අත්‍යාවශ්‍ය ගෘහ භාණ්ඩත් එකින් එක ගත්තු හැටි තවම මතකයි. ඒවා ජීවිතේ අළුත් අත්දැකීම්. ශීෂ්‍යයකු හැටියිටත් එයින් සමහර දේ කරන්න අපට සිදු වුනත් මේවා දෙදෙනෙකු සමග බෙදා ගැනීම අළුත් දෙයක්. 

ඊයේ පෙරේදා උඩරට ගිහින් දවස් දෙක තුනක් ඉඳලා එනවිටත් මට එය සිහිවුණා. උඩරට තවත් බොහෝ සුන්දර තැන් ඇතත් අපි වැඩියෙන් යන්න කැමති ඒ ප්‍රදේශයට. මොකද අපේ ලමා කාලයේ අත්දැකීම් එයට බද්ධවී ඇති නිසා. ඒ කාලේ සිටි අපට වඩාත් සමීප වූ වැඩිහිටියන් අද එහි නැතත් ඒ බැදීම් අපේ හිත යට සැඟවී තියෙනවා.  නිම් වළලු පොතේ මෙවැනි අපේ සිත ඇඳි තැන් හෝ සිද්ධි බොහොමයක් ලියුවා. එහෙත් ඒවා ඉතාම කෙටියෙන් ලියුවේ.

මේ ටික ලියන්නට හිතුණේ රුසියානු සහ සෝවියට් ලේඛක කොන්ස්තන්තීන් පවුස්තොව්ස්කි ගේ පොත් දෙකක සිංහල පරිවර්තන කියවන අතරේ. පවුස්තොව්ස්කි ගේ පොතක් මුලින්ම කියවන්නට ලැබුණේ මෑතදී. ඒ අප මිත්‍ර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර විසින් පරිවර්තනය කරපු කෙටි කතා පොත් දෙකක්. ඊට පසුව පවුස්තොව්ස්කි ලේඛකයා විසින් නිර්මාණකරණය ගැන ලියවුණු රන් රෝස ලෙස සිංහලට පරිවර්තනය කර ඇති කෘතිය. මේවා කියවූ විට පවුස්තොව්ස්කි ශෛලියේ ඡායාවක් මා ලියූ කතාවලත් යන්තමින් හෝ ඇති බවයි මට හිතෙන්නේ. එය එසේ නම් සෝවියට් දේශයේ උගෙන ගැනීමත් බොහෝ රුසියන් පොත පත ඇසුරු කිරීමත් එයට හේතු වන්න ඇති. 

Thursday, January 14, 2021

පාසල් නාට්‍ය

 


මට මේ කතාව මතක් වුණේ තාත්තා බොහෝ කාලෙකට ඉස්සර වෙලා පාසල් නාට්‍යය ගැන පත්තරයට ලියූ ලිපියක් කියවද්දි

මම කිහිප වරක් ලියා ඇති කොළඹ පාසලට එන්න ඉස්සර වෙලා හිටියේ කුළුපන ගමේ තිබුණු කණිෂ්ඨ පාසලේ බව. එම පාසලේ පහේ පන්තිය දක්වා ඉගෙන ගත්තා. අපේ පන්තියේ හිටපු යාළුවන්ගේ නම් බොහොමයක් තාම මතකයි. එම පාසලෙන් අයින් වුණාට පස්සේ ඒ යාළුවන් අතරින් නැවත මුන ගැහුනේ එක් කෙනෙක් හො දෙන්නෙක් පමණයි.

හතර වැනි පන්තියේ අගදී හෝ පහේ පන්තිය මුලදී අපේ පන්තියට අළුත් සගයෙක් එකතු වුණා. ඔහුගේ නම පත්මසිරි. ඔහු පැමිණියේ පාසලට තරමක් දුරින් තිබුණු තට්ටු දෙකේ ගෙදරකින්. අපිට ආරංචි වුනු හැටියට ඔහු සිටියේ දෙමාපියන් සමග නොවේ. ඔහුගේ ඥාතී සහොදරයෙකුගේ ගෙදර සිට ඔහු පාසල් ආවා. ඔහු කලින් සිටි පාසල හෝ ප්‍රෙද්ශය ගැන අප දැන සිටියේ නැහැ. නැත්නම් දැන් මතක නැහැ. ඔහු ගතින් වගේම මනසිනුත් අපට වඩා මුහුකුරා ගිය බවක් පෙන්නුවා.

අපේ පාසලේ මාසයකට වරක් වගේ විවිධ ප්‍රසංගයක් වගේ එකක් තිබුණා. ලමයින්ගේ ගී සිංදු, නැටුම් නාට්‍ය ආදිය එහි රඟ දැක්වුණා. පත්මසිරි ආවට පස්සේ නාට්‍ය කිහිපයක් රඟ දක්වන්න අපි පෙළඹුණා. අධ්‍යක්ෂවරයා ඔහුයි. පැරණි ගම කතා වගේම එලොව ගිහින් මෙලොව ආවා නාට්‍යත් පෙන්වපු බව මතකයි. පත්මසිරිත් අපේ පන්තියේ හිටපු දක්ෂම ගැහැණු ළමයා වුනු වසන්තිත් එකතු වෙලා අකුරට යනවයි කියලා ටිකිරි අය්යා බැදි වලමයි ගීතය නාට්‍යානුසාරයෙන් පෙන්වපු හැටි මට අදත් මතකයි. මේ එකකට වත් ගුරුවරුන්ගේ ගුරුහරුකම් අපට ලැබුණේ නැහැ. එවැනි සාහිත්‍ය රසයක් දැකපු ගුරුවරයෙක් එහි නැති වුනා වෙන්න පුළුවන්.

කොහොම හරි මමත් කොළඹට ඇවිත් අවුරුද්දක් පමණ යනකම් පරන පාසලේ යාළුවන් සමග ලියුම් ගනුදෙනු කළත් පසුව එයත් නැතිවී ගියා. පත්මසිරි ගැනත් මතකය ඈත්වී ගියා. ඔහු පසු කාලෙක හෝ මෙම කලා ක්ෂේත්‍රයට ආවාදැයි කියන්න දන්නේ නැහැ. අදත් මම විශ්වාස කරන්නේ ඒ වයසෙදි පත්මසිරි පෙන්නුව හැකියාව ඉතා ඉහළ බවයි.

Tuesday, December 29, 2020

Spring cleaning

 


විවිධ හැලහැප්පීම් එක්කම අවුරුද්දක් ගෙවී ගියා. පසුගිය සති අන්තය දීර්ඝ එකක් වුනත් කිසියම් හෝ චාරිකාවක නිරත වෙන්න අවසරයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට ගෙදර генеральная уборка එකක් කළා. රුසියාවේ සිටි දවස්වල අවුරුද්දේ එක් දිනයක් යොදා ගෙන මේ වගේ කුණු රොඩු, සුන් බුන් අයින් කරන වැඩසටහනක් කරනවා. මතක හැටියට අප්‍රේල් මාසයේ දිනයක තමයි මෙය සිදු කලේ. අවුරුද්ද තිස්සේ හිතාමතා හෝ නොසිතාම එකතු වන අනවශ්‍ය දේවල් අයින් කරන එක තමයි මේ වැඩසටහනේ තේරුම. මේවගේ වැඩසටහන් නිතිපතා කරන්නේ නැති හන්දා අපේ ගෙවල් වල අයින් කරන්න තියෙන දේ බොහොමයි. ඒ නිසා දවස් කිහිපයක් වැඩ කලත් ඒ කාර්යය ඉවර කරන්න බැරි වුණා.

අවුරුද්ද ඉවර වෙන කොට හෝ ඔළුගෙඩි වල එකතුවෙලා තියෙන රොඩු බොඩුත් අයින් කරන්න පුලුවන් නම් හොඳයි. එයට නම් ගෙදර ඉඳන් කරනවාට වඩා අලුත් පරිසරයකට ගිහින් නිවාඩු පාඩුවේ කලොත් තමයි ප්‍රථිඵලදායක වන්නේ. සමහර විට පන්සලට ගිහින් සිල් ගන්න එකත් ඒ වගේ එක් ක්‍රමයක් වන්න ඇති. නමුත් අද නම් එය භාවිතා වන්නේ ඊට වඩා වෙනස් විදියකට කියලයි හිතෙන්නේ.    

විවිධ හැලහැප්පීම් හේතුවෙන් ලිවීමේ කාර්යයත් සෑහෙන්න අතපසු වුණා. ඉක්මනින් එය ආරම්භ කිරීමට අවශ්‍යයි. අඩුම ගානේ ලියපු පොත එලිදැක්වීමට හෝ යහළුවන් අතරේ බෙදා දීමටවත් බැරි වුණා. මුද්‍රණාලය තාබෙන පෙදෙසත් ලොක් ඩවුන් කරළා. පසුගිය සති කිහිපයේම අමතර රාජකාරියකුත් කරන්න සිදු වුනා. රියදුරෙකුගේ වැඩත් මටම කරගන්න වුණු හන්දා අතරමගදී කියවීම එහෙමත් නැවතුණා. සමහර වෙලාවට අතරමගදී කියවන්නට ලැබෙන්නේ පොහොම ස්වල්පයක් වුනත් එය දිනයකට හොඳ උත්තේජනයක්.

 

Wednesday, October 21, 2020

සෝවියට් සුවඳ

 

මේ දිනවල ඉරීනා මලෙන්කෝ විසින් රචිත Sovetica තුන් ඈඳුතු නවකතාවේ (චරිතාපදානය) දෙවෙනි කොටස (පළමු කොටසේ සිංහල දෙවන කොටස) කියවමින් ඉන්නේ. මේ කොටස කියවන විට සිතුනු දේ තමයි සෝවියට් සංගමය බිඳවැටීමේ පලවිපාක අපි හරියට දැක්කේ නැහැ කියන එක. ඒකට කාරනා කිහිපයක් හේතු වන්නට පුළුවන්. එක පැත්තකින් අපි සිටි යුක්රේනයට වෙනසේ සුළග හමන්න ඇත්තේ ටිකක් ප්‍රමාද වී. අපි ආපසු පැමිණි කාලය තුළ සියළු වෙනස්කම් අපට දකින්නට බැරිවීම. එමෙන්ම වෙනස්කම තදින්ම සහ සීඝ්‍රයෙන් බලපාන්නට ඇත්තේ මොස්කව් වැනි අධිනාගරික කලාප වලට වීම. ඒ ඒවා නාගරික වූ හන්දා පමණක් නොවෙයි. බොහෝ කොට පොදු අයිතියක්ව තිබූ නිෂ්පාදන සාධක සහ දේපල වලට අතපොවන්න හැකි සමාජ කොටස් එහි කේන්ද්‍රගතවී සිටිය හන්දා වෙන්න පුළුවන්.

කෙසේ නමුත් මලෙන්කෝ මේ පශ්චාත් පෙරිස්ත්‍රොයිකා යුගය තදින් හෙළා දකිනවා. සෝවියට් යුගයේ තිබූ විශිෂ්ට ලක්ෂණ තදින් අගයනවා. එහෙත් ඇය පිටරට වෙත යම් නැඹුරුතාවයක් ඇති බව කියන්න පුළුවන්. ඇයගේ අධ්‍යයන ක්ෂේත්‍රය වන්නේ අප්‍රිකා අධ්‍යයනය. උදාහරණයක් හැටියට (කතාවේ එන හැටියට) ඇය රුසියන් තරුණයන් ප්‍රිය කරන්නේ නැහැ. එහෙත් විදේශීය සිසුන් ඇයට සමීපයි. එයින් අදහස් වන්නේ නැහැ ඇය සෝවියට් ක්‍රමයට විරුද්ධයි කියා. සොවියට් ක්‍රමය බිහි කරන නිදහස් චින්තනයක් ඇති මිනිසාට ගැලපෙන සමාජ ක්‍රමය ඔවුන්වෙතින් ගිලිහෙමින් තිබුණා යැයි සිතන්නට පුළුවන්. ඒ හෙතුවෙන් ඇයට වෙනත් රටවල වීරචාරිකා සොයා යාමට සිදුවනවා වගෙයි පෙනෙන්නේ.

ඇය මුලින්ම නවතින්නේ නෙදර්ලන්තයේ. එහි යාමට පශ්චාත් පෙරිස්ත්‍රොයිකා සමයේ ඇයගේ කලකිරීම හේතුවනවා  නිසැකයි. නෙදර්ලන්ත සමාජය ගැන පසුව ඇය තදින් කලකිරෙනවා. පසුව ඇය අයර්ලන්තයට සංක්‍රමණය වනවා.

මේ අතරම ඉංජිනෙරු පී පී විජේසේකරගේ සංවර්ධනය අඩාල කරන භූතයා දුම්රිය ගිල ගැනීම නම් ප්‍රකාශනය නොවූ සේ පෙනෙන පොත කියෙව්වා. නිර්මාණශීලි රජයේ සේවකයකුගේ ඉරනම එයින් කියවෙනවා. මේ පොත් දෙකම නවකතා නොව සංවර්ධනය පිළිබඳ කියවීම් හැටියට සලකන්න පුළුවන්. 


Tuesday, October 13, 2020

To have and to lose

 



මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය මාසයේ පැවැත්වුනා. කොවිඩ් හො වෙනයම් හේතු හන්දා වෙනදා තරම් ජන සහභාගිත්වයක් තිබුනේ නැහැ. මටත් දින දෙක තුනක් එහි යන්නට හේතු යෙදුනා. මගේ අළුත් පොත මුද්‍රනය වී ඒහි ප්‍රදර්ශනය වීම හේතුවෙන්. (සති දෙකක්ඉ පමණ කාලයක් ඇතුලත පොත සකසා මුද්‍රනය කිරීම ආශ්චර්යයක්) ඉක්මනින් පොත නිම කිරීම නිසා ප්‍රකාශකයාට කරන කෘතගුණ දැක්වීමක් හැටියට මම ඒම කුටියේ ටික වේලාවක් රැඳී සිට මගේ මිත්‍රයන් පොත් ගන්න පැමිනි විට ඔවුන් හට සමරු සටහනක්ලියා දීම සිදුකලා. හදිසිය හන්දා පොත එලිදැක්වීමක් කළේ නැහැ. එහෙම පසුව කරන්නට සිතා ගත්තත් නැවතත් කෝවිඩ් උග්‍රවීම හන්දා එය දැන්ම තියන්න ලැබෙන එකක් නැහැ.

ඇත්තටම කිව්වොත්, මේකත් එක්තරා එලි දැක්වීමක් තමයි. වොෂින්ටන් නගරයේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට වරක් ගියවිට එහි විවෘත ශාලාවක් අයිනක මේසයක් තබා ගෙන ලමා පොතක් අලෙවි කරන අයෙක් මම දැක්කා. මම පොතක් මිලදී ගන්න ගියාම ඔහු කීවේ එය අළුත් පොතක් කියා. පොත කියවන්න දෙන්නේ කාටද කියලා අහලා නම් වලින් ම ආමන්ත්‍රණය කරලා ඔහු සමරු සටහනක් ලියා දුන්නා.

මෙවර ප්‍රදර්ශණයේදී අළුත් පොත් කිහිපයක්ම මිලදී ගන්න පුළුවන් වුණා. ඒ අතරින් ලුමුම්බාවේ හත් වසක් නැමැති කෘතිය සහ ඩී බී කුරුප්පු මහතාගේ ජීවන තොරතුරු ඇතුලත් පොත් කියවා නිම කළා. ලුමුම්බාව ගැන පොත ලියා තිබුණේ එස් ජයරත්න නම් කතුවරයෙක්. එහි විශේෂයෙන් මාක්ස්වාදය හා දර්ශනය පිළිබඳ සෝවියට් ඉගැන්වීම් පිළිබඳ බොහෝ විස්තර ඇතුලත්. ඩී බී කුරුප්පු මහතාගේ පොත් වලින් හොරණ ප්‍රදේශයේ අතීත සමාජ රටාව පිලිබඳ අවබෝධයක් ගන්න පුළුවනි. වරක් රයිගම් කෝරලයේ පැරණි තොරතුරු අසා ඔහුට ඊ මේලයක් යැවූ විට ඔහු හැරෙන තැපෑලෙන් උත්තර දී තිබුනා.

චින්ගීස් අයිත්මාතව් ගේ නවකතා වලින් පළමු වරට කියෙව්වේ පළමුවැනි ගුරුවරයා. ඒ් දශක කිහිපයකට කළින්. ඔහුගේ කෘති අතුරින් අළුතෙන්ම කියවපු ඒක තමයි To have and to lose කියන පොත. මිනිස්සුනගේ හැඟීම් සහ ඒ්වායේ ගතිකයන් පිළිබඳව අපූරුමාන දකින්නෙක් තමයි අයිත්මාතව්. මේ පොතේ ඔහු දිගහරින්නේ රියදුරෙකුගේ කතාවක්. රියදුරා එක පැත්තකින් අලුත් දේ සොයා යන්නෙක්. භාණ්ඩ ප්‍රවාහනය කාර්‍යක්ෂම කිරීම සඳහා ට්‍රක් රථයට ටේලරයක් යොදා කිර්ගීසියාවේ කඳුකර දුර්ග මාර්ග වල අත්හදාබැලීමක් ඔහු කරන්නේ හිතුවක්කාරකමින්. එය වැරදීයාම හෙතුවෙන් ඔහුගේ රාජකාරී ජීවිතයට එතරම් බලපෑමක් නොවන්නේ සෝවියට් ක්‍රමය හන්දා වෙන්න පුළුවන්. ඒත් එය ඔහුගේ පෞද්ගලික ජීවිතය උඩු යටිකුරු කරනවා.

අලුතින් ගත් තවත් පොත් කිහිපයක්ම තියෙනවා කියවන්නට. ජීවිතයේ විශේෂයෙන් රාජකාරීමය වශයෙන් අප්‍රසන්න කාල ගෙවා දමන්න හොඳ මිතුරෙක් පොත් පත්. ඊට සමගාමීම ලියන්න හිතුවත් ඒ සඳහා හිතේ නිස්කලංකබවක් හදා ගන්න අවශ්‍යයි.  

 

Wednesday, September 9, 2020

සයිබීරියාවේ ගිම්හානයක්

 Paying Guest in Siberia - Maria Hadow (Polish Deportations to Kazakhstan  1940)

මාරියා හැඩෝ Maria Hadow නම් ලේඛිකාවගේ ස්වයං චරිතාපදානයක් ලෙස ලියා ඇති Paying Guest in Siberia නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය කියවන්නට ලැබුණා. ඇය පෝලන්ත ජාතික කාන්තාවක්. දෙවන ලෝක යුද්ධය සමයේ සෝවියට් හමුදාව මගින් පෝලන්තයේ කොමියුනිස්ට් නොවන පුරවැසියන් හට සිදුවන ගැහැට පිලිබඳව එහි අඩංගු වනවා. හැම ගෙදරින්ම එක් අයෙක් තෝරා හරකුන් පටවන දුම්රිය මැදිරියක දමා සයිබීරියාවේ වැඩ කරන්න ඔවුන්ව යවනවා. දෙවන ලෝක මහා යුද්ධයේ අපි මෙතෙක් අසා නැති පැතිකඩක් එයින් අනාවරනය වනවා. යුද්ධයේ දේශපානිකත්වයත් සමග පරිපාලනය ක්ෂණිකව වෙනස්වන හැටි මෙහි අපූරුවට දක්වනවා. එකල සෝවියට් සංගමයේ කසාකස්ථානයේ ජීවන තත්ත්වය ගැන වැටහීමක් මෙමගින් ලැබෙනවා. කතාව පුරාම දිවයන්නේ මවක් සහ දුවක් අතර ඇති ආදරයේ නිම්හිම් නැති බව. මෙහිදී දුව අම්මා වෙනුවෙන් දරා ගන්නා දුක අප්‍රමාණයි. වින්සයන්ට් පෙරියප්පෙරුම ලේඛකයා විසින් සයිබීරියාවේ ගිම්හානයක් ලෙස සිංහලට කර ඇති පරිවර්තනය ඉතා ලගන්නා සුළුයි.   

Monday, August 17, 2020

දේවාල රාජකාරි

 

Soragune Devalaya | Flickr

පාසල් යන කාලයේ නිවාඩුවට හල්දුම්මුල්ලේ පිහිටි අම්මාගේ ගමේ ගිය ගමන් ගැන බොහෝ ලියා ඇති. වරක් එසේ නිවාඩුව ගත කරන අතරේ හල්දුම්මුල්ලට පහලින් ඇති සොරගුණේ දේවාලයේ වාර්ෂිකව පවත්වන පෙරහැර බලන්න ලැබුණා. ප්‍රදේශයේ ජනතාව එය හඳුන්වන්නේ කුඩා කතරගම දේවාලය කියා. කතරගම වගේම ගිණි පෑගීම්, කාවඩි නැටුම් ආදී අංග සියල්ලම මේ උත්සවයට ඇතුලත්. රාත්‍රියේ සීතලත් නොතකා බෙහෝ දෙනෙක් මේ උත්සවයට සහභාගි වන්නේ දේව භක්තිය සහ කෙලි සෙල්ලම් වලින් ලබන ආස්වාදය හේතු කොට ගෙන වෙන්න ඇති. තරුණ තරුණියන්ටත් මේක මිටෙන් ඇරපු කුරුල්ලන්ට වගේ නිදහස ලැබුණු කාලයක් බව පෙනෙන්න තිබුණා.  හිරිමල් වියේ හිටපු අපටත් උඩරටට අවේණික වූ රතුපාට කෙල්ලන්ගේ මල් හී සර වැදුනත් ඒවා දුර දිග ගෙනියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

මේ සියල්ල මතක් වුණේ පසුගිය දිනයක අපේ මාමා කෙනෙක් දුන්නු පණිවිඩයක් නිසා. පසුගිය කාලය තුළ දේවාලයේ රාජකාරි පැහැර හැර ඇති නිසා වහාම රාජකාරි කරන ලෙසත් එසේ නැතහොත් කුඹුරු ඉඩම් නීති මගින් ක්‍රියා කර පවරා ගන්න බවත් සොරගුනේ දේවාලයේ බස්නායක නිලමේ විසින් දන්වා ඇති හන්දා. ගමේ පවතින කතාවට අනුව නම් කුඹුරේ අස්වනු ලැබෙන්න කියලා ඒ කාලේ හිටපු මී මුත්තන් දේවාලෙට බාරයක් වෙලා තියෙනවා. සරු පලදාවක් ලැබුනොත් එයින් කොටසක් දේවාලයට දෙන්න පොරොන්දු වෙමින්. ඒක පසුව රාජකාරියකට හැරී ඇති බවයි කියන්නේ.

මේ දේවාල සම්බන්ධ සම්ප්‍රදායන් පසුව නීතිගතවෙලා තියෙනවා. විහාර දේවාලගම් පනත සහ 1870 අංක 4 දරන වැඩවසම් ආඥා පනතත් ඊට අදාලයි. ඒවා අනුව දේවාල පන්සල් වලට ඉඩම් වර්ග දෙකක් තියෙනවා. එකක් නින්ද නැතහොත් බණ්ඩාර ඉඩම්. අනෙක ප්‍රවේනි නැතහොත් රාජකාරි ඉඩම්. නින්ද ඉඩමක් නම් එය රජ්ජුරුවන් විසින් සන්නසකින් හෝ තුඩපතකින් පවරා තියෙනවා. රාජකාරි ඉඩම් පිලිබඳ ලැයිස්තුව තියෙන්නේ බස්නායක නිළමේ ලඟ. එය හඳුන්වන්නේ කොමසාරිස් ලේඛනය කියා.

රාජකාරි ඉඩම් සඳහා රාජකාරි කිරීම කුල අනුව විභේදනය වී ඇති බව පෙනෙනවා. උසස් කුලයේ අය වී කොටසක් දෙන විට පහත් යැයි සම්මත කුල වල අය හකුරු ලබා දීම, පන්දම් ඇල්ලීම්, කරත්ත බැඳීම් ආදිය කළ යුතු වෙනවා. ඒ අතරේ ආරංචි වුණු දෙයක් තමයි මහ සමන් දේවාලයේ රජකාරි සම්ප්‍රදායන් ගැන එයට අනුව එක්තරා කුලයක කාන්තාවන් බස්නායක නිලමේ ඉදිරියේ නිරුවතින් නටන්න ඕනෑලු. එය කරන්නේ රහසිගතව දොරවල් වසාගෙන.

කොහොම වුනත් මේවගේ මානව හිමිකම් පවා කඩවෙන රාජකාරී වෙනුවට ඒ සඳහා මුදල් ගෙවීමට හැකියාවක් සලසා දී තිබෙනවා. එහෙත් ඒ කාලේ නම් ඒ සඳහා ගෙවන්නට මුදල් නැතිවීම ප්‍රධාන ප්‍රශ්නයක් වන්න ඇති. කෙසේ වෙතත් මේ රාජකාරී ක්‍රමයන් ඉඩම් පරිහරනය කලමනාකරණයට යම්කිසි පිටිවහලත් වෙන්න ඇති. අඩුම ගානේ සියළුම ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීමට එය ඉවහල් වන්න ඇති.   

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...