Wednesday, March 26, 2014

ඇඳුම්
පහුගිය
සති අන්තෙක ගෙදර පරණ ලට්ට ලොට්ට අස්පස් කළා. ඇඳුම් අල්මාරි අස්කළේ බොහොම කාලෙකින්. මීයන් බෝවන හන්දා දැනට පවිච්චියට ගන්න බැරි ඇඳුම් ඔක්කොම ඉවත් කරන්න සිදුවුණා. පුතාලා පුන්චි කාලේ ඇඳපු ඇඳුම් සහ කාල වලදි අපි ඇඳපු ඇඳුම් අවුස්සන කොට හිත අතීතයට ගියේ නිතැතින්ම. සමහර ඇඳුම් වල මතක සටහන් අතරේ කොයිතරම් බැඳීම් තිබුණද?. මට සමහරක් ඇඳුම් දැක්කහම ඒවා සහ බැඳුණු සිද්ධි වගේම හා බැඳුණු සුවඳවල් පවා මතක් වෙනවා. ඒත් අද සමහරක් බැඳිම් දියාරු වෙලා ගිහින්.
ඊළඟට අස්කළේ පුතාලගෙ පරණ පොත්පත්. ඒවත් විසි කරන්න ලෝබයි. පුතාලගෙ පුන්චි කාලේ පොත් පත් චිත්ර ආදිය හැකි පමණ තියා ගත්තා.
අපේ පුන්චි කාලේ වුණු ඇඳුම් සම්බන්ධ සිද්ධි හුඟක් තියෙනවා. කුඩා කාලෙදි අපේ ඇඳුම් සමහරක් ගමේ ලොන්ඩරියට දුන්නා පිරිසිදු කරන්න. වරක් අපි ඈත පලතක තිබුණු මගුල් ගෙදරක යන්න ලෑස්ති වෙලා සඳහා ඇඳුම් ලොන්ඩරියට දුන්නා.සාමාන්යයෙන් වන පරිදිම ලොන්ඩරියෙන් ඇඳුම් දෙන්න පරක්කු වුණා. හන්දා අපේ ආතා ගිහින් ඇඳුම් ඉක්මනට ඕනා කිව්වා මඟුල් ගෙදරක යන්න ඇති හන්දා. එතකොට ලොන්ඩරියේ කෙනා කීවේ මඟුල් ගෙදෙරක අඳින්න තරම් හොඳ ඇඳුමක් එහි නොතිබුණු බවයි. ආතාත් දෙවෙනි වෙන්න කැමති වුණේ නැහැ. ආතා කිව්වෙ මඟුල් ගෙදර තියෙන්නෙ ඈත පළාතක හන්දා ඇඳුම් මගට අඳින්න පවිච්චි කරන බවයි.

Friday, March 7, 2014

අපේම මව් රට

ඊයේ පෙරේදා දවසක ගුවනින් කොළඔ සිට මැදවච්චිය දක්වා ගොස් එන්නට හැකිවුණා. ඒ රාජකාරියක් සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින්. පළමු වරට හෙළිකොප්ටරයකින් ගමන් කිරීමත් අළුත් අත්දැකීමක්. විශේෂයෙන් ගුවන් නියමුවන් දෙන්නා කඩදාසි සිතියමක් බලමින් ගමන් මාර්ගය නිවැරදි කරගනිමින් යන එක හරිම අපූරුයි. ගුවන් යානයකින් යනවාට වඩා හුඟක් පහළින් යන නිසාත් අඩු වේගයෙන් යන නිසාත් මෙහිදී රටේ භූමි පරිභෝජනය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. මුලින්ම දැනෙන දේ තමයි බිමදි අපි කොහොම දැක්කත් අපේ රට හුඟක් කොළ පාටයි කියන එක. ඊළඟට අපේ භූමි පරිභෝජන රටාව අපිට බිමින් පේනවාට වඩා පිළිවෙළකින් යුතු බව. මම පිළිවෙළක් කියා අදහස් කලේ නියමිත කෘෂිකාර්මික ප‍්‍රමිතීන් අනුගමනය කොට වගා කිරීම ආදිය. කොහොම වුණත් මේ රටාව කුරුණෑගල පැත්තට කිට්ටු වන විට ඉතා හොඳ මට්ටමට ඇවිත් ඉන් එහාට යන කොට තරමක් දුර්වල වේගන යන බව දකින්න පුළුවන්.


අනුරාධපුරයට උඩින් යන විට මෑත ඉදිකිරීම් වලට සාපේක්ෂවල අපේ පැරණි ඉදිකිරීම් වන රුවන්වැලි සෑය, අභයගිරිය සහ ජේතවනාරාමය කැපී පෙනෙනවා. රජරටට උඩින් යනවිට භූමිය පුරාම විසිරී ඇති වැව් දකින්නට පුළුවන්, කලා වැවල නුවර වැවල තිසාවැවල මහකනදරාව වගේ වැව් පහසුවෙන් අඳුරා ගන්නට පුළුවන්. අතර මගදි පෙනුණු වාරි ඇලවල් දැදුරුඔය ව්‍යාපාරයේ කියලා හිතන්න පුළුවන්. කෙත් වතු වලට අමතරව රේල් පාරවල් දිගේ යන කෝච්චි, කුඩා නගර, කඩමණ්ඩි ආදිය උඩින් යන විට සිතෙන්නේ මේවා මීටත් වඩා පිළවෙලකට හදා ගන්නට අපට පුළුවන් කියන හැඟීම.

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...