පසුගිය සතියට
කළින් සතියේ ඉරිදා දවසම ගෙවුනේ ගාල්ල කොටුව තුළ. ගාල්ල කොටුව තරම් සංචාරක ආකර්ශණයට
ලක්වූ අන් ස්ථානයක් ලංකාවේ නැති තරම්. උදේ ඉදන් රෑ වන තුරුත් තොර තෝංචියක් නැතුව
දේශීය හා විදේශීය සංචාරකයින් එහි එනවා දකින්නට පුළුවන්. අපේ රාජකාරිය
දවල් දොළහට ඉවර වුණා. නැවත වැඩසටහනක් තිබුණා හවස හයට මේ පැය කිහිපය වැඩි වශයෙන්ම
ගෙවුනේ ගාලු කොටුව තුළ.
සංරක්ෂණය කර
විවෘත කරපු Dutch Hospital එක සිත් ගන්නා
තැනක්. එහි සංරක්ෂණ ඉදිකිරීම් වල නිමාව වගේම විවෘත කර ඇති රෙස්ටොරන්ටු, බීරහල් ඇතුලු
අලෙවිහල් වල පෙනුමද, ප්‍රමිතියද ඉහල මට්ටමක තියෙනවා. ඉහල මධ්‍යම පන්තියේ යැයි
සිතිය හැකි දේශීය සංචාරකයින්ද විදේශීය සංචාරකයින්ද බීර බොන්න, දිවා ආහාරය ගන්න
වගේම ටිකක් වෙලා විවේක ගන්නත් මෙහි ඇවිත් ඉන්නවා දකින්නට පුළුවන්.
අපි දිවා
ආහාරය ගත්තේ ගාල්ල කොටුව තුලවූ ඉහල මට්ටමේ හෝටලයක. විදේශිකයන් විසින් පවත්වාගෙන යන
මෙවැනි හෝටල් ගණනාවක් එහි තිබෙනවා.
කොටුවේ ඇති ප්‍රදීපාගාරයට
කිට්ටුවෙන් ඇති බැස්ටියන් එකේ බොහෝ සෙනග රැස්වී සිටින්නේ එහි සිට අඩි තිහක්
හතලිහක් පහලින් තියෙන ගල්පර වලින් ගහන වතුරට පනින තරුණයින් බලන්නට. ඒක ත්‍රාසජනක
ක්‍රීඩාවක්. ඒ හරියේ තියෙන කලබලය ටිකක් නිවිහැනහිල්ලේ බලා ඉන්න හිතුනා. ඒ අතරින්
සිරුරේ අග පසග බොහොමයක් නිරාවරනය වන්න ඇඳපු හැඩකාර විදේශික තරුණියන් කිහිප දෙනෙකුම
නෙත ගැටුනා. එතකොට මතක් වුනේ තරුණ කාලය. ඇත්තටම කිව්වොත් මගේ තරුණ කාලෙට වඩා “ඇගේ” තරුණ කාලේ කිව්වොත් නිවැරදියි.
ඔය අතරතුරේ
ගාල්ලට කිට්ටුවෙන් පිහිටි පවුලේ ඥාති නිවෙසකටත් ගොඩ වන්න වෙලාව හොයා ගත්තා. පුංචි
කාලේ ආගිය තැනක් වුනත් ඒ වටපිටාවත් ඒ හා බැඳුන චරිතත් දැන් බොහෝ
ඈත් වෙලා. ඒ සංහිදියාව ආයිත් සොයා ගන්න ලැබෙන එකක් නැහැ. මේ වේගවත් සමාජ රටාව තුළ
ඒ දිහා ආපසු හැරිලා බලන්න හෝ කාටවත් වෙලාවක් නැහැ වගෙයි.
රාත්‍රියේ
තිබුණු මඩකලපුවේ සිට පැමිණි පාසල් ළමුන්ගේ විවිධප්‍රසංගය ඉවරවෙලා දක්ෂිණ අධිවේගී
මාර්ගයට පින්සිද්ධ වෙන්න රෑ දොලහට ගෙදරට එන්න පුළුවන් වුණා.