Friday, March 6, 2015

මානාකන්ද


ලංකාවේ පවතින පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව 250,000 කටත් වැඩියි කියලයි කියැවෙන්නේ. කොහොම වුනත් දැනට ගැසට් කර ප්‍රකාශයට පත් කළ ස්ථාන ගණන 3,000 ක් පමණ වෙනවා. කලින් පින්තූර දමපු මානාකන්ද තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරදන්කඩවලට ආසන්නව. කිලෝමීටර තුන හතරක් මරදන්කඩවල හන්දියෙන් ඇතුලට යන්න තියෙන හන්දා දේශීය හෝ විදේශීය සංචාරකයන්ගේ ඇස ගැටෙනවා අඩු බවයි පෙනෙන්නේ. මෙතන තිබුනයි කියන්නේ අනුරාධපුර යුගයේ ආශ්‍රමයක්. ඊට අදාල බොහොමයක් නටඹුන් (නිදන් හොරුන්ගෙන් බේරුණු ) එහි දකින්නට පුළුවන්. එහි ඇති කුගැට දක්වා මේවා විසිරී තිබෙනවා. මීට අමතරව දැනට මිනිසුන් ජීවත්වන, කුඹුරු කරන ගම්මානයෙත් පුරාවස්තු විශාල සංණ්‍යාවක් ඇති බව අපට කීවේ එහි පුරාවිද්‍යා කලාප භාර නිලධාරි. සමහරක් පුරාවිද්‍යා නටඹුන් මැදින් පාරවල් හෝ නිවෙස් ඉදිකරළා. මානාකන්දේ තියෙන නටඹුන් සංරක්ෂණය කලත් ලොකු පුරාවිද්‍යා භූමියක් වේවි. අනුරාධපුරේ වගේ තැන් වල ඉතින් හැම තැනැක්ම පුරාවිද්‍යා බිම් තමා. එතකොට මේවා ඔක්කොම සංරක්ෂණය කරන එක මූත්‍යමය වශයෙන් පමණක් නොවෙයි ප්‍රායෝගිකවත් කරන්නට අපහසු දෙයක්. ඒ හන්දා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ අවශ්‍යයි.

එදා අපි ගියේ මානාකන්දට නොවේ අවුකණ පිළිමයට හදන ආවරණ ව්‍යාපෘතිය නිරීක්ෂනයට හා රිටිගලට. මානාකන්ද බලන්න තීරණය කළේ අතරමගදි. මානාකන්දෙ තියෙන පුරාවිද්‍යා කලාප කාර්යාලයට විදුලිය ගන්න අවශ්‍යයි කියබු හන්දයි එය බලන්න ගියේ. මේ වගේ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට හා නඩත්තුවට වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් හා නිලධාරින් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ හන්දා අපට විකල්ප ක්‍රමවේද වලට යන්න අවශ්‍යයි. ඒත් මොනවගේ විකල්පද? යටත්විජිත බූදලයන්වූ ගොඩනැගිලි නම් PPP ව්‍යාපෘති ලෙස සංරක්ෂණය කරලා විවිධ කටයුතු සහා පාවිච්චියට ගන්න පුළුවන්. කොටුවේ Dutch Hospital එක සහ කුරුුවත්තේ රේස් කෝස් එක උදාහරන. ඒත් පුරාණ ආගමික නටඹුන් සහිත ස්ථාන වලදී තත්ත්වය සංකීර්ණයි. නීතිරීති පද්ධතියේ වගේම අපේ mindset එකත් වෙනස් කරගන්න එක ලෙහෙසි නැහැ.  

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...