Monday, March 16, 2015

ටැම්පිට විහාරය


 

ගිය සතියට කලින් සති අන්තයේ අපේ පාසල් big match එක පැවතුණා. big match ගිය කාලයක් මතක නැහැ. යාළුවෙක් කතා කළ නිසා යන්න හිතාගෙන සිටියේ. අඩු ගානේ වරුවකට හරි. ඒත් හදිසි රාජකාරියකට අනුරාධපුරයට යන්න වුණා. ඉරිදා දවසේ රාජකාරි කරන්න සිදුවුනහම මුළු සතියම තරමක් අවුල් වනවා. මොකද කියනවා නම් ඉරිදා කරන්නට සැලසුම් කරපු දේවල් මග හැරෙන නිසා.

මේ අවුල ගැන සිතන එක යම් තරමකට හෝ යටපත් වුනේ අනුරාධපුරයට යන්න යටි හිතේ ඇති කැමැත්ත හන්දා. අනුරාධපුරය මගේ ජීවිතයට ඒ තරම් ලං වන්නේ අවුරුදු පහක් පමණ එහි රාජකාරි කරන්න ලැබුණු නිසා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරයට පහළින් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල නොගිය ගමක් නැති තරම්. වැවත් එක්ක බැුනු අනුරාධපුරේ ගැමියන්ගේ ජීවිත වලට ටිකක් හෝ ළං වන්න ඒ කාලේ ඉඩ ලැබුණා. මෑතකදී කියවපු හොරොව්පතානේ පළමුවැනි ඩීආරෝ පොතේ කතුවරයා ගේ අත්දැකීම් වලට වඩා වෙනස් වුනත් අනුරාධපුර රාජකාරී කාලය නැවත මතක් කරන්න දේවල් හුගක් ඉතිරි කරලා තියෙනවා. හපන්කම් වගේම මෝඩකම් ඒ අතරේ තියෙනවා. ඇස්වලින් කුළු එන තරම් සැර අව්ව, වැව් අද්දර කුඹුක් සෙවනේ සිසිලස, කුඹුරුවලින් එන මඩ සුව වගේම අඹ වාරෙට බඩ පැලෙන තරම් කෑහැකි අඹ, බැදපු වැව් මාළු,වැසි කාලෙට වාන් දමන වැව්, පොසොන් එකට තරුපහේ දන්සැල් වගෙම රැස් වන මිලියනයක් පමණ වූ බැතිමතුන්, හොරොව්පතානේ පළමුවැනි ඩීආරෝට වගේ මොර නම් ඒ තරම් ලැබුනේ නැහැ. අනුරාධපුරේ කිව්වහම එකපාරට මතක් වෙන දෙයින් සමහරක් ඒ.

බදුල්ලට යන්න ගියත් මේ වගේ මතකයන් සිහියට එනවා. ජීවිතේ යම් යම් සිද්ධිත් එක්ක අපට ඒ ඒ ස්ථාන වලට බැඳීමක් ඇති වන්නට පුළුවන්. ලංකාවේ විතරක් නොවෙයි පිටරටවල පවා එහෙම ස්ථාන තියෙන්න පුළුවන්. හේග් නුවර පටු මාවත් වලින් සැදුනු නගර මධ්‍යය අපට තාමත් මතකයි. මොස්කව් වල රතු චතුරශ්‍රය අද වුනත් බලන්න ආසාවක් ඇතිවෙනවා. ඒකට ප්‍රසිද්ධ ස්ථානයක් වන්නම ඹ්නා නැහැ. යුක්රේනයේ පල්තාවා නම් ප්‍රාදේශික නගරේ කුඩා මංමාවත් දිගේ නැත්නම් වර්ක්ස්ලා කියන ගංගාව අයිනෙන් යන රේල් පාර අසලින් ඇති පාරේ ඇවිද යන්න ඇත්නම් කියලා හිතෙනවා.  

ගිය සිකුරාදා නැවතත් හබරණට ගියා. අපි සහභාගී වීමට නියමිතවූ රැස්වීමට පෙර අවට තිබුණු පුරාවිද්‍යා ස්ථාන කිහිපයක් බලන්න ගියා. හබරණ ටැම්පිට විහාරය ඉන් එකක්. ටැම්පිට හදපු පුංචි විහාරගෙයකින් මේ පන්සල සමන්විතයි. ඒ කියන්නේ ගල් කණු මත ඉදිකරපු පන්සලක්. පිළිම ආදිය වේයන්ගෙන් ආරක්ෂා කරගන්නටයි ගංවතුරෙන් බේරෙන්ටයි මෙසේ ටැම්පිට විහාරය ඉදිකළ බව කීවත් ඒ පැහැදිලිකිරීම ඒතරම් සාධාරන යැයි මට හිතුනේ නැහැ. මා සමග  එහි ගිය පුරාවිද්‍යා නිලධාරීන් කීවේ සියවස් ගණනාවක් පන්සල සහ ඒ ආශ්‍රිත ශිල්පීන් විසින් ආරක්ෂා කෙරුනු මෙවැනි තැන් පුරාවිද්‍යාව විසින් භාර ගැනීමෙන් පසු අභාවයට යන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේනතුව සතු සම්පත් අනුව දහස් ගණනක් වූ මෙවැනි තැන් සියල්ල සංරක්ෂණය කොට පවත්වාගෙන යාම අභියෝගාත්මකයි. කෙසේ වෙතත් සීග්‍ර යෙන් වෙනස්වී ගෙන යන සමාජ ආර්ථිකයත් එක්ක අරවගේ සම්ප්‍රදායික ක්‍රමවේද පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක සිතිය යුත්තක්. නිවිහැනහිල්ලේ එක තැනකට වෙලා සිත එක්තැන් කරගෙන සීරුවට කරන්න අවශ්‍ය මේ වගේ වැඩ කරන්න හැකි අය අද හොයා ගන්නත් අමාරුයි.

ඊට අමතරව අළුත් ගොඩනැගිළි කිහිපයක්ම පන්සලේ තිබුණා. ඒවා නඩත්තු කිරීමත් හො මට්ටමක තිබුණේ නැහැ. සිකුරාදා දහවල් හන්දා වෙන්නැති පංසලේ තිබුණේ මලානික පාලු බවක්. එලියක් තිබුණේ එහෙ මෙහෙ ඇවිදිමින් සිටිය කුඩා සාමනේර හිමිවරුන්ගේ මූණේ විතරයි. ඒත් ලොකු හාමුදුරුවරුන්ගේ වයසට එනකොට ඒ එලියත් නැතිවෙලා යයි. මේ වගේ පන්සල් වලට ගියාම අනිත්‍ය සිහි කරන්නට අමුතුවෙන් බණ පොත් කියවන්නට ඕනා නැහැ.

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...