Sunday, January 24, 2016

රේල් බස්

මම කලින් සටහනක ලියා ඇති ලංකාවේ පුංචි කෝච්චි අතීතය ගැන. ඊයේ පත්තරේ පුංචි කෝච්චියක් ගැන විස්තරයක් තිබුණා. ඕස්ට්‍රේලියාවට අයත් ටස්මේනියාවේ දැනටත් පාවිච්චි වන එවැනි පුංචි කෝච්චියක් ගැනයි එහි තිබුනේ. හැබැයි ප්‍රවෘත්තිය වුනේ එහි කාන්තා රියදුරෙක් වැඩකිරීම සම්බන්ධවයි. ඇය විසින් එහිදී ලංකාව ගැනත් කියා තිබුණා. තවත් එවැනිම රේල් පාරක් තමයි ඉන්දියාවේ ඩාජ්ලින් මාර්ගය. එය වැටී ඇත්තේ එම බ්‍රෑන්ඩ් නමින්ම හැදින්වෙන සුන්දර තේවතු හරහා. මේක කියන කොට මතක් වුනේ, ගිය සුමානේ කැළණි වැලි මාර්ගයේ (පුංචිකාලේ හිතුවේ කැළණි ග‍ගේ වැලි හන්දා ඒ නම දාලා තියෙන්නනේ කියළා) කොස්ගම සිට ‍මහරගමට රේල් බස් සේවාවක් පටන් ගැනීම. ඩිමෝ බස් දෙකක් පිටුපස්සෙන් එකට ඈදලා තමයි මේ රේල් බසය තනා ඇත්තේ. කලකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකරපු නව නිපැයුමක් වන මෙය මා දන්නා තරමින් කුරුණෑගල-මහව ආදී සීමිත දුම්රිය ස්ථාන කිහිපයක් අතර පමණක් ධාවනය වුණා. මෙය ප්‍රචලිත නොවීමට ප්‍රධාන හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර පවතින කුල භේදයක් බවයි ආරංචි. එන්ජින් ඩ්‍රයිවර්වරුන් මේවා පදවන්න අකමැති පාටයි. එකක් තමයි එහි රියදුරු කැබින් එකක පහසුකම් නැතිවීම. අනික ඔවුන් බස් රියදුරන් මට්ටමට වැටීම. එහෙම නම් ඒවාට වෙනම රියදුරු කාණ්ඩයක් හරි බදවා ගෙන මෙම රේල් බස් ප්‍රචලිත කරන්න තිබුණා. මෙම පසුබිම තුල විශිෂ්ඨ නව නිපයුමක් වැඩක් නොගෙන තියෙන මට්ටමට වැටිලා. මෙම රේල් බස්, දුම්රිය අඩු උඩරට මාර්ගය ඇතුළු අනෙක් මාර්ග වලත් තෝරාගත් දුම්රිය ස්ථාන අතර ධාවනය තිරීම හැම පැත්තෙන්ම නුවනක්කාර වැඩක්. දුම්රිය එන්ජින් පවා නිෂ්පාදනයද කලකට ඉහතදී සිදු කළ අපිට මේ රේල් බස් මීටත් වඩා නවීකරනය කරගන්න එක අමාරු වන එකක් නැහැ. රේල් පාරවල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමත් අත්‍යාවශ්‍යයි. ලංකාවේ පුංචි කෝච්චි දුවපු කාලේ එම මාර්ග වලම ලොකු කෝච්චිත් දුවන්න අමතර රේල් පීල්ලක් එකතු කිරීමත් විශිෂ්ඨ සිතුවිල්ලක්.

Wednesday, January 20, 2016

Train Halts


අද තයිපොංගල් උත්සවය පැවැත්වෙනවා. ඒ හන්දා නිවාඩු. කිහිප දෙනෙක්ම විටින් විට කිව්වා මතකයි විෂය කරුනුත් ආශ්‍රය කරගෙන පොතක් ලියන්නැයි කියා. පත්තරයකට ඒ වගේ කොලමක් ලියන්න කියා ආරාධනයකුත් ලැබුනා. ඒ කියන්නේ ආර්ථිකය සහ සංවර්ධනය ඇසුරු කරගෙන. සමහරක් මාතෘකා වෙනස් වෙන්න පුළුවන් වගේම ඒවා දිගේ ටිකක් එහාට යන්න පුළුවන් වුනත් මම බ්ලොග් එකේ ලියන දේ වලට සමානව තමයි එහෙම ලියුවත් ලියවෙන්නේ. සංඛ්‍යා ලේඛණ ආදිය වැඩිපුර හවුල් කරගන්නට පුළුවන්. මොකවත්ම නොකර ඉන්නවට වඩා මේකවත් (බ්ලොග් එක) ලියන එකෙන් යම්කිසි තරමකට ලිවීමේ ආසාව සන්සිදෙනවා. කියවන ඉතාම ස්වල්පදෙනෙක් හරි ඉන්න එක අනිත් හේතුවයි.

අපේ පුරාවිද්‍යා කණ්ඩායම ඊයේ පෙරේදාත් රයිගම ගවේෂණයට ගියා. මගේ ස්ථාන මාරුවත් සමග දැන් මට එහි යන්න ඉස්පාසුවක් නැහැ. ඒ ගැන සියුම් කණගාටුවක් තියෙනවා. මම මේ ගවේෂණයට සහභාගී වීමෙන් මට තේරුම් ගිය දෙයක් තමයි රටේ උරුමය තබා අපේ ගම වටපිටාවේ ඇති  ඓතිහාසික උරුමය පවා දැකබලා ගන්න කුඩා කාලේ අපට අවස්ථාවක් නොවූ බව. මම කලිනුත් සටහනක් කර ඇති ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඩී බී කුරුප්පු මහතාගේ පොතක එන පරිදි ඔවුන් කුඩාකාලේ පසලෙන් ගිය චාරිකාවකදි හොරණ ඇල්ලෙ කන්දේ තියෙන වනහාමිගේ ගල් ගුහාව බලන්න ගොස් තිබුණා. (ඔහු මුලින් අකුරුකර තිබුණේ හොරණ කිට්ටුව උඩුවේ පාසලක) වනහාමිගේ ගුහාව ප්‍රාග් ‍‍ ඓතිහාසික ලෙනක්. ඒ තබා වීදියගොඩ පංසල, වල්ගම වැව, පොකුණුවිට පංසලේ සෙල්ලිපිය හා බිතුසිතුවම් සහ රයිගම රාජධානියට අදාල බොහෝ තැන් මම දැක්කේ මේ ගවේෂණයෙදි. රමුක්කන පංසල වගේම ගුංගමුවේ ලෙන් විහාරය සහ ලෙනවර පන්සල්ද ඉතා වැදගත් බව අපේ කට්ටිය මට කිව්වා. මෙකී නොකී සේරම ටික එකතු කරළා හෙරිටේජ් ට්‍රේල් එකක් හදලා බ්‍රෝචර් එකක් නිර්මාණය කරන්නයි අපි හිතාගෙන ඉන්නේ. ඒකෙන් බාල පරම්පරාවට මේවා බලන්න රුකුලක් වන්න පුළුවන් වගේම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයටත් පිටිවහලක් වේවි. දකුණු අධි‍වේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව මගින් මේ ස්ථාන වලට පහසුවෙන් ප්‍රවේශ වෙන්නත් පුළුවන්.

ජපානයේ එක්තරා ග්‍රාමීය දුම්රියපලක් පවත්වාගෙන යන්නේ එය පාවිච්චි කරන එකම එක පාසැල් දැරියක් නිසා බව පසුගියදා වාර්තා වුණා. අපේ දුම්රිය සේවයෙත් දුම්රිය ස්ථාන අතර ඇති සමහර නැවතුම්පල මේ වගේ මගීන් වෙනුවෙන් නිල නොවන වශයෙන් භාවිත වුණු බව අප අසා තිබෙනවා. (ඒ ගැන වැඩිය විස්තර කතා කරන එක හොදද මන්දා? ) විශේෂයෙන් ප්‍රධාන දුම්රිය වලට අමතරව දිවෙන මන්දගාමී දුම්රිය. මෙයින් සමහරක් නැවතුම්පල ඈත අතීතයේදී ‍තේ ආදී නිෂ්පාදිත පටවා ගන්න භාවිතා වුණු ඒවා.

 

Tuesday, January 5, 2016

නාගරීකරනය

මහාචාර්ය ගංගානාත් දිසානායකගේ පැණි වළලු 3 සම්පූර්ණයෙන් වගේ කියලා ඉවර කළා. ඉතාම රසවත් සහ හෘදයාංගම ලියවිල්ලක්. ටික දවසක් නිකන් ඉන්න එක කම්මැලියි. ඒත් එක වෙලාවකට හිතෙනවා ඇයි මෙච්චර වැඩ වැඩි කන්තෝරුවක වැඩ කරන්න තෝරා ගත්තේ කියළා. කූල් එකේ ඉන්න පුළුවන් තැන් කොච්චරවත් තියෙද්දිත්. අනික වැටුපෙත් වෙනසක් වෙන්නෙත් නැහැ වැඩි වන තැනුත් තියෙනවා. ඒත් ඒ වගේ තැනකට ගිහින් වැඩ කරද්දි වැඩ වැවෙයි.  ඒ හන්දා වැඩ හිතන තරම් අඩු වෙන එකක් නැහැ. අනික ඒක කොච්චර තෘප්තිමත් වෙයිද කියන එකත් ප්‍රශ්ණයක්. ඒ කියන්නේ දැන් තෘප්තිමත්  කියන එකද? මම හරියටම දන්නේ නැහැ. රටේ සිද්ධ වෙන දේවල් වල යම් මට්ටමක හෝ කොටස් කාරයෙක් වීමද රැකියාවේ තෘප්තිය?
පරන කන්තෝරුවේදි අතපසු වෙලා තිබුනු වැඩ කිහිපයක් අරන් ආවා කරන්න. හිමින් කරගෙන යනවා. ඒ අතරේ පත්තරේ ගිය ලිපියක් කියවූවහම ලිපියක් ලියන්න ඕනයි කියලා හිතුවා. බොහොම ටිකයි ලිව්වේ. එහෙම පටන් අරන් අත ඇර දාපු ලිපි බොහොමයි. බ්ලොග් එකේ ලියන දේවල් ගැන වුනත් වෙලාවකට හිතෙනවා so what කියලා. නිම් වළලු පො‍තේ ලියැවුණු දේත් කාලයක් ලියාගෙන බලාගෙන හිටියා නම් හිතෙයි සෝ වට් කියළා.


කොහොම වුනත් පත්තරේ තිබ්බ ලිපිය නාගරීකරණය ගැන. පරිපාලනමය සීමා නීර්ණය මත දැනට ලංකාවේ නාගරික ජනගහනය සියයට 18 යිලු. එත් නවීන ගනන් හැදීම් අනුව (චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගි කොට ගෙන) එය සියයට 47-48 ක් පමණ වේලු. ඒක ඇත්ත වෙන්න ඕනා. පසුගිය කාලෙදී ලංකාවේ අර්ධ නාගරීකරනය තදින් සිදුවුණු බව පේනවා. රිබන් ටයිප් එකෙන් තරමක් ඈත්වෙලා ජනාවාස පෙරිපරියට පෙනිටේට් වෙලා වගේ. නාගරීකරනය සංවර්ධනයට ධනාත්මකව සහසම්බන්ධ බව ලිපියේ කියවුණා. ඒ අනුව ක්‍රමයෙන් මුළු රටම නාගරීකරනය කරන්නද අපි යන්නේ. ආර්ථිකයක නාගරික අංශයට සහ ග්‍රාමීය අංශයට පැවරනු නිශ්චිත කාර්යභාරයක් තියනවා. උදාහරනයක් හැටියට සිංගප්පූරුවේ ආර්ථිකය තුළ ග්‍රාමීය අංශයට කාර්යභාරයක් නැහැ. ග්‍රාමීය අංශය මූලිකවම නියෝජනය කරන්නේ ආර්ථිකයේ ප්‍රාථමික අංශයයි. සරළවම ගත්තහම මහපොලවට සෘජුවම (මම කලින් වැරදියට කියව්වේ ස්රුජුව කියා මගේ විශ්ව විද්‍යාල සිසුවියක තමයි මට ඉගැන්නුවේ එය ශබ්ද කරන්නේ රිජු ව කියා.) සම්බන්ධ සියළුම ක්‍රියාකාරකම් ප්‍රාථමික යයි සලකන්නට පුළුවන්. කෘෂිකර්මය, පතල් කැනීම හා ධිවර කර්මාන්තය ඒ අතරින් ප්‍රධානයි. ඒ අනුව දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රාථමක අංශයට හිමි තැන සලකන්න අවශ්‍යයි. කෘෂිකර්මාන්තය සැලකුවහම ලංකාවේ නම් සියයට 10 ක් විතර නියෝජනය කරනවා. අනෙක් රටවලත් දල දේශීය නිෂ්පාදිතයේ ආංශික සංයුතිය සහ නාගරික සහ ග්‍රාමීය ජනගහන ප්‍රතිශත සංසන්දනය කරලා බලන්න ඕනා. කොහොම වුනත් ක්‍රමවත් නාගරීකරනය සංවර්ධනයට ධනාත්මකව සහසම්බන්ධ බව හිතන්න පුළුවන්. ඒ අනුව අපටම ආවේනික මොඩලයක් හදා ගන්නට පුලුවන් වේවි. මගේ හිතේ මැවෙන්නේ ක්ලස්ටර් මොඩල් එකක්. අපේ අවේනිකතාව ඉතුරු වන. හැබැයි කාලයට අනුව පරිනාමනය නැත්නම් අනුගත වන්න පුළුවන්. කොහොම නමුත් මම කලිනුත් ලියා ඇති පරිදි ග්‍රාමීය අංශයේ ඵලදායිතාව වගේම එහි වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වයත් ඉහළ නංවන්න ඕනා.  

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...