Sunday, May 29, 2016

විලම්බීත

අද ටී.බී. ඉලංගරත්න සූරීන් ගේ විලම්බීත නවකතාව ඇසුරින් නිර්මාණය කරපු විලම්බීත DVD පටය නරඔන්න ඉඩ ලැබුණා. විලම්බීත කතාව අපේ ජීවිත වලට බොහොම කිට්ටුයි. විලම්බීත නවකතාවෙන් කියැවෙන්නේ වඩාත් රසගන්වපු ටී.බී. ඉලංගරත්නයන් ගේ ජීවිත කතාවේ ළමා කාලය වෙන්න ඇති. අපට මේ කතාව කිට්ටු වන්නේ අපේ තාත්තගේ පොත් එකතුවේ තිබුණු සහ අපි ඉතා කුඩා කාලෙම කියවපු පොත් වලින් එකක් මෙය වූ හන්දාත් කතානායක තිලක මුහුණ දෙන බොහෝ අත්දැකීම අපටත් පොදු වන හන්දාත්. පොත කියවලා තිබුණත් පහේ ශිෂ්‍යත්වය පාස්වෙලා කොළඹ ඉස්කෝලේ නේවාසිකාගාරයට එනකොට තිලකට වගේම අපටත් තිබුණු අළුත් තැනකට යන එකේ කුතුහලය. එහෙත් ජීවිතේ පළමු වරට ගෙදරින් පිටවෙලා අළුත්ම නුහුරු පරිසරයක ආගන්තුක එහෙත් අඩුවැඩි වශයෙන් සමාන අත්දැකීම් ලබන යහළුවන් සමග එකට දුක සැප බෙදා හදාගන්න එක ලෙහෙසි වුනේ නැහැ. තිලක වගේම ඒ දවස්වල අපි හිටියේ සිකුරාදා වෙනකන් බලාගෙන. ගෙදර යන්න. පවුලේ අය සමග ඇති බැීම කොයි තරම්ද කියළා අපට තේරුණේ නේවාසිකාගාරේ ඉන්න වුනහම. ජීවිතයටම ආයිත් පාරක් පරන විදිහට එකට ගෙදර ඉන්න බැරිවෙයි කියළා හිතුනහම ඇ‍‍ඩෙන්න තරම දුකක් ඇතිවුනේ. මොකද ඉස්කොලෙන් පස්සේ විශ්ව විද්‍යාලෙ ඊට පස්සෙ, රස්සාව ..... ඉතින් ඉස්සර වගේ ආයිත් අම්මා උයන කෑම ගෙදර හැමෝම එකට කාලා, වෙල ල ලිදෙන් නාගන්න, වත්ත පිටියේ පැන දුවන්න, තාත්තත් එක්ක කුඹුරුට බැහැලා මඩ නාගන්න අහල පහල ළමයි එක්ක සෙල්ලම් කරන්න මේ ආදි සියළු දේ වලින් ඈත් වනවා කියා සිතීම දරාගන්න බැරිතරම්. පෝය නිවාඩුවක් සති අන්තයට කිට්ටුවෙන්න තිබුනොත් අපි එදාට ගෙදර හිටියේ. අම්මත් එක්ක අපි ඔක්කොම කට්ටිය පෝය හ යටින් පන්සල් යනවා  පන්සලේ හුන්කූරු සුවත්, පොල්තෙල් පහන් දැල්වෙනකොට එන සුවත් මල් සුවත් එකතු වුනහම සිත බොහොම සැදැහැවත් වෙනවා. බුදුගේ වටේ තියන ජාතක කතා වල පින්තූර දැක්කහම ගෙදර අය එක්ක හැමදාම මේ විදිහට ඉන්න බැහැනේද කියන සිතුවිල්ල ඇති වෙන්න නේවාසිකාගාරේ ඒ දිනවල සිටි එක හුක්ම හේතු වන්න ඇති.

මම ඇත්තමට තාත්තගේ විලම්බීත පොත නේවාසිකාගාරයටත් අරන් ගියා. ඒක මහරගම සමන් මුද්‍රනාලයේ අච්චු ගහපු ඉතා හො නිමාවෙන් තිබුණු පොතක්. අපේ සයනාගාරේ හැමෝම වගේ එය කියවන්න ඇති. අන්තිමට අපි මාරයා කියපු ගම්පහ ඉදන් ආපු මාරසිංහ නම් අපේ කාමරේ හිටපු ඉතා දඩබ්බර ලමයා අතින් ඒ පොත නැතිවුණා. ඔහු සාමාන්‍යයෙන් කිසිම දෙයක් ගනන් ගන්න කෙනෙක් නෙමෙයි. ඒත් පොත නැතිවුණ එක ගැන මම කම්පා වුන හැටි ඔහුට හැුනා වෙන්න ඇති දින කිහිපයකින් ඔහු විලම්බීත වෙන මුද්‍රනයක් මට ගෙනත් දුන්නා මොකුත්ම නොකියා. මම හිතන්නේ ඔහු එය පුස්තකාලෙන් නැත්නම් වෙන කාගෙන් හරි හොරකම් කර ගත්තු එකක්.මෑතක් වෙන තුරු අපේ මහගෙදර තිබුනේ මාරසිංහ ගෙනත් දුන් ඒ පොතයි.


මුල් කාලෙදි තාත්තා ආවා බසයෙන් අපව ගෙදර එක්ක යන්න. බොහෝ ඈතින් පැමිණි ළමුන් හැම සති අන්තයකටම ගෙදර ගියේ නැහැ. තාත්තා අපව රැගෙන යන්න එන්නේ පාසලේ එදිනට උගන්වන කටයුතු අහවර කරලා. ඒ හන්දා හවස හතරට පහට තමයි අපි මරදානෙන් ගෙදර බලා එන්නේ. සිකුරාදාට තාත්තා එනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්න වෙලාව මට තාමත් මතකයි. තාත්තට වැඩක් යෙදිලා එන්න බැරි වෙයිද කියන බය අපට තිබුණා. නේවාසිකාගාර අත්දැකීම් මට වගේම බොහෝ දෙනෙක්ට විලම්බීත හි තිලකගේ අත්දැකීම වලට සමාන ඇති. ගමේ ඉස්කොලෙට ගිහින් පවුලේ පළමු වරට කෙනෙක් කොළඹ පාසලකට යන කොට මුහුණ දෙන දේ බොහෝ සමානයි. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...