Thursday, January 5, 2017

මෙවලම් මොකටද මෙතරම්

ඊයේ පෙරේදා දවසක ගමේ ගිය වෙලාවේ හාමුදුරුවන් හමුවුණු බව මා කලින් ලියුවා. මම ඒ වෙලාවේ උන්වහන්සේට විස්තර කළා මෑත දිනයකදී අප කළ ක්ෂේත්‍ර චාරිකාවකදී අත්දුටු දේවල්. අපි ගියේ කුරුණෑගල අවට පිහිටි නිදහස් වෙළද කලාප දෙකකට. මේවා ඒ තරම් ලොකු කලාප නොවෙයි. අක්කර 50 -100 වගේ ඒවා. දැනට කර්මාන්ත ශාලා 10 -15 ක් පමණ පිහිටා තියෙනවා. මේවායේ පවතින ප්‍රධාන ප්‍රශ්ණය තමයි පවතින පුරප්පාඩු පිරවීමට නොහැකි වීම. උදාහරණයක් හැටියට ඇඟළුම් කර්මාන්ත ශාලාවල machine operator තනතුරු වල විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. මේවාට විශේෂයෙන් තරුණ තරුණියන් එන්න මැලිකමක් දක්වනවා. එයට විවිධ හේතු බලපාන බව පේනවා. එකක් තමයි වැටුප් ප්‍රමාණය මදි වීම. අනෙක් එක මේ වගේ රක්ෂාවකට රටේ ඇතිවී තිබෙන ප්‍රතිරූපය. විශේෂයෙන් ගැහැණු ළමයින්ට එය බලපානවා. මා කලිනුත් ලියා ඇති පරිදි බොහෝ දෙනෙක් විවාහ වීමෙන් පසු රක්ෂාව නවත්වනවා. එක් අතකින් මෙය සහකරුවකු සොයා ගැනීමේ මාධ්‍යයක්. ඊට අමතරව රක්ෂාවේ ඉහලට යන මගක් නොපෙනීමත් හේතුවක්. පවුල් බැදීම් නිසා ගෙදරින් ඈත්වීමට ඇති අකමැත්තත් හේතුවක් බව පේනවා.

අදාල කම්හල් වල මානව සම්පත් කළමණාකරුවන් හමුවූ වෙලාවේ මෙයට විසඳුම් ගැන සාකච්ඡා වුණා. එක ක්‍රමයක් තමයි පුළවන් තරම් mechanized නැත්නම් automate කරන එක. එය වියදම් අධිකයි. තවත් ක්‍රමයක් තමයි cluster ක්‍රමයකට ගිහින් outsource කරන එක. බංග්ලාදේශ් වල pharmaceuticals  පවා cottage industry එකක් හැටියට පවත්වා ගෙන යන බව අහන්නට ලැබෙනවා.  ජපානයේ කාර් නිෂ්පාදනයෙදීත් මෙය භාවිතාවන බව අප දැක්කා. ඉන්දියාවේ බස්රථ නිෂ්පාදනයෙදීත් මේ ක්‍රමය යොදා ගෙන තියෙනවා. හමු වුණු කළමණාකරුවන් කිව්වේ ඇඟලුම් සඳහා quality ප්‍රශ්ණ මත එය අමාරුයි කියළා.  ඇඟලුම් සඳහා එය කරන විදිහ අපටම සොයා ගන්න වෙයි. මේ විකල්ප වලට ගියේ නැත්නම් අපිට ක්ෂේත්‍රෙය් ඉන්න බැරි වෙයි.


මෙවලම් නැත්නම් යාන්ත්‍ර සූත්‍ර භාවිතය අපේ ජාතික පුරුද්දක් නොවේද මන්දා. හාමුදුරුවන් කිව්වේ උන්වහන්සේගේ සහෝදරයා පොඩියට ආරම්භ කරපු පාන් පෝරණුව ඇල්මැරී තියෙන කාලේ උන්වහන්සේගේ උපදෙස් මත යාන්ත්‍රීකරණය කිරීමෙන් පසුව ලොකු දියුණුවක් ලබපු බවයි. ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක කියවුණේ භාර දානයක් දෙන කතාවක්. එයට අනුව ගැබිනි මව්වරුන් කැඳවලා ඹවුන්ගේ බරට සරිලන කිරිපිටි, වියළි ආහාර ආදිය ලබා දෙනවා. ඒක කළේ විශාල තරාදියක් කඹ වලින් සාදා එක පැත්තක මව වාඩි කර අනෙක් පැත්තට ආහාර දැමීමෙන්. සමහර වෙලාවට බර වැඩිවෙලා මව උඩ යනවා. ටිකක් එහා මෙහා වුනොත් ගැබිනි මවුවරුන් බිම වැටිලා ලොකු කරදරයක් වෙන්නත් තිබුණා. ගමේ හැම ක්ලිනික් එකකම කරන විදිහට බිම තියෙන තරාදියෙන් මවගේ බර කිරා, බඩු කිරන තරාදියකින් අදාල ප්‍රමාණයට භාණ්ඩ දෙන්න තිබුණා වගේම එය පරිස්සම්. අපි අපේ අවට සුලභව තියෙන යන්ත්‍ර වුනත් භාවිතා නොකරන බවට උදාහරණයි මේ. 

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...