Monday, August 7, 2017

රාළද ගෝනි පඩංගුවේ ඉන්නේ

බොහොම කාලෙකට පස්සේ අපේ ගමේ තරමක වැඩිහිටියකු සමග කතාබහක යෙදෙන්න වෙලාවක් ලැබුණා. එහිදී කියවුනේ හැත්තෑව දශකය දක්වා ගම ආශ්‍රිතව පැවැති කරත්ත නැතිනම් ගැල් සංස්කෘතිය ගැන. ඒ කාලේ භාණ්ඩ ප්‍රවාහනය කරන්නට ගැල් විශාල වශයෙන් භාවිතා කළ බව දැනගන්නට තියෙනවා. ඉංග්‍රීසි ආණ්ඩුව පැවති කාලයේ තමයි පානදුර සිට නාර්තුපාන දක්වා සහ පසුව රත්නපුර දක්වා පාර තනා ඇත්තේ. ඒ අදාල ප්‍රදේශ වලින් එහි නිපදවෙන භාණ්ඩ කොළඔට ප්‍රවාහනය කරන්නයි.  ඒ තරම් මතකයක් නැතත් (හැට හැත්තෑව දශකවල) පානදුර හොරණ පාරේ ඒ දිනවල මහ රෑටත් මිණි ගෙඩි හඩ පතුරමින් ගැල් ගමන් කළ බව කියැවෙනවා. ගැල් ගැන කියනකොට වර්ග කිහිපයක් දකින්නට පුළුවන් වුනා. අපේ පලාතේ තිබුණේ බරබාග සහ තනි ගොනා බදින කරත්තයි. ඊට අමතරව තිරික්කලද දකින්නට ලැබුණා. බරබාගය පාවිච්චි කළේ කෙටිදුර භාණ්ඩ ප්‍රවාහනයට. වඩා දුර යන ගමන් වලට කරත්ත පාව්ච්චි කළා. තිරික්කල බම් පසුකාලීනව දකින්නට ලැබුණේ අවුරුද්දට පවත්වන තිරික්කල රේස් වලදී. මෝටර් රථ මගින් ආදේශවීමට පෙර ගම්වල යමක් කමක් ඇති අය ගමන් බිමන් යාමටයි තිරික්කලය පාවිච්චි කලේ. කරත්තකරුවා සහ ගොනා අතර බැදීමත් ඉතා සමීපයි. අපේ ගමේ තිබුණු කරත්තය අනතුරකට මුහුන දී ගොනාට තුවාල වුනහම අයිතිකරු විලාප තියා අඩන්න ගත්තා.    

රයිගම හන්දියට නුදුරින් මේ ගොනුන්ට ලාඩම් ගහන කම්මලක් තිබූ බව බොහෝ දෙනෙක් කියනවා. ඊට අමතරව ගැලනිගම හන්දියට ඒ කියන්නේ අදනම් දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරුවට නුදුරින් තැබෑරුම් වත්ත නම් වත්තක් ඇති බව තමයි කියවුනේ. ඒ නම ලැබී ඇත්තේ ගැල්කරුවන්ගේ නවාතැන්පොලක් එහි තිබූ හන්දා. එහි එක අංගයක් තමා තැබෑරුම. ඒ විදිහට බැලුවහම ගැලනිගම යන නම ලැබී ඇත්තේ ගැල්-ඇණි-ගම යන්නෙන් කියා හිතන්න පුළුවන්. මේ වගේ ආදී කාලේ ගම් වල නම් ඉතාම ව්‍යක්ත භාෂාවෙන් යෙදී ඇති බව පේනවා. භාන්ඩාර ග්‍රාම - බණ්ඩාරගම, ගුමු ගුමුව - ගුංගමුව, ආලෝකපිල - ලෝකපිල, රාජ ග්‍රාම - රයිගම මේ සියල්ල ඊට උදාහරණයි.


අනෙක් පළාත් වලිනුත් මේ වගේ උදාහරණ ඕනාතරම් සොයා ගන්න පුළුවන්. සරුවන්කෙත - හගුරන්කෙත, මහතලාව - මාතලේ, මහීඅංගනය - මහියංගනය එකපාරට මතක්වුනු උදාහරණයි.    

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...