Tuesday, August 22, 2017

අවබෝධය

දින ගණනාවකට පස්සේ ගමේ පන්සලේ හාමුදුරුවන් හමුවෙලා කතාබස් කරන්න වෙලාවක් ලැබුණා. උන්වහන්සේ හැමදාම අලුත් දෙයක් අළුත් අත්දැකීමක් කතා කරනවා. පසුගිය දිනවල ප්‍රදේශයේ පවතින ප්‍රධාන රෝහලක සිදුකරපු  වැඩක් ගැනයි උන්වහන්සේ පැවසුවේ. එනම් නොසැලකිල්ල සහ වෙනත් නොයෙකුත් හේතු නිසා භාවිතයෙන් ඉවත්කර ඇති රෝහල් උපකරන ආම්පන්න ආදිය කාර්මිකයන් ගෙන්වලා නැවත ප්‍රතිසංස්කරණය කරළා දෙන වැඩක්. හාමුදුරුවන් තමන්ගේ හිතේ උත්තරයක් තියාගෙන ඇසුවේ ඒ ගැන අදහස. ඒ වගේ වැඩසටහන් වලට කියන්න පුළුවන් අදුරට සාප කර කර ඉන්නේ නැතුව එක් පහනක් හෝ දැල්වීම කියලයි. ප්‍රශ්නය වන්නේ මේ වැඩසටහන් කොයි තරම් දුරට පවත්වාගෙන යා හැකිද කියන එක. අනෙක් පැත්තෙන් සමාජයේ ඒක් එක් කණ්ඩායම තමන්ගේ භූමිකාව හදුනාගෙන ඒ තුල ක්‍රියාත්මකවීම වැදගත්. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියොත් හැමදාම අවුලක්. විවිධ සංවිධාන මගින් දුෂ්කර ගම්මාන වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න යාමත් මේ වගේ වැඩක්. ඒ ඇති කරන වත්කම් නඩත්තු කරන්න අයිතිකාරයෙක් නැතිවීම එහි එක ප්‍රශ්ණයක් විතරයි. සැලසුම් නැතැයි කියා විවේචනයට ලක්වන රජයේ ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් යම් තරමකට හෝ අවුල් වීම හා ඒ තුලින් ගමට එන්න තිබුණු වඩා ස්ථිර ප්‍රතිලාභ නොලැබී යාම හෝ ප්‍රමාද වීම ආදී කරුණු බොහොමයක් අත්දැකීම් හරහා කියන්නට පුළුවනි.  

ධර්මය දැනගැනීම සහ පිළිපැදීම නැත්නම් නියම වශයෙන් තේරුම් ගැනීම ආදිය ගැන අපේ හාමුදුරුවන් කතා කළා. අවබෝධ කරගැනීම යන්නට බුදුන් වහන්සේ පද කිහිපයක් යොදාගෙන තියනවා. සම්ප්‍රජානය සහ ඊට ලගින් යන පද කිහිපයක් උන්වහන්සේ කියුවා. (NOTE BOOK එකක් අරන් යන්නේ නැති හන්දා ඒවා ලියා ගන්නට බැරි වුණා.) මේවයෙන් කියවෙන්නේ යමක් අවබෝධ කරගැනීමේ එක් එක් මට්ටම් ගැන. උදාහරණයක් හැටියට අද ඉන්න බොහෝ හාමුදුරුවන් ධර්මය විෂයක් හැටියට දන්නා නමුත් එය නිසි ලෙස අවබෝධ කරගන්න උත්සාහයක් නැහැ. ඒත් සමහරවිට මාර්ගඵලයක් ලැබූ කෙනෙක් වුනත් සමහර ධර්ම කරුණු ගැන විෂයක් හැටියට විස්තර කරන්න නොදැන ඉන්න පුළුවන්. මේවා ගැන උන්වහ්සේ තව බොහෝ විස්තර කළා.

ඔලුව ටිකක් අවුල් වෙලාවකට පන්සලට ගිහින් හාමුදුරුවන් සමග කතා කරන්න ලැබීම හරහා ශාන්තියක් සිතට දැනෙනවා. ඒක කෘතිමව නැතුව ඉබේම වාගේ කෙරෙනවා නම් තමයි එහෙම වෙන්නේ. හාමුදුරුවන් සමග කතාබහ කරන අතර උපාසක උපාසිකාවන් ඇවිත් නොයෙකුත් වත් පිළිවෙත් පංසලේ කරනවා අපට පෙනෙනවා සහ ඇහෙනවා.  

සමහර වෙලාවට නිදහසේ පුංචි අඩියක් ගහන්න තැනක් තිබුනා නම් ඒකත් අර වගේම ප්‍රයෝජන වෙන්න ඉඩ තිබුණා. ඒත් එහෙම තැන් අපේ වටපිටාවේ අඩුයි. කොහොම වුනත් පන්සලට යාම සහ හාමුදුරුවන් සමග කතා කිරීම පුංචි අඩියක් ගහනවට වඩා හොද බව යථා අවබෝධයෙන්ම තේරුම් ගන්න පුළුවන් නම් හොදයි.



No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...