Sunday, August 19, 2018

අගෝස්තු


ඔගස්ටස් විනයාගරත්න ගැන කලින් ලීයූ බව මතක් වුණාමයි තේරුණේ අගෝස්තු මාසය ලැබුවා කියන එක. මාස දහයක්ව තිබූ කැලැන්ඩරයට ජූලියස් සීසර් ජූලි මාසය එබ්බුවාට පස්සේ ඊළඟට පැමිණි ඔගස්ටස් සීසර්ටත් මාසයක් ඇති කරන්න හිතිලා අගෝස්තු මාසය ඇතුලත් කළ බවයි කියවෙන්නේ. සිංහලෙන් නම් මේ නිකිණි මාසය. නිකිණි මාසය හා බැඳී තියෙන්නේ නිකිණි වැස්ස. මට තේරෙන විදිහට ඒකෙන් කියවෙන්නේ  අකලට බට මහ වරුසාවක් ගැන. දවස් කීපෙකට පෙර එහෙම වැස්සක් වැටී තිබුණා. කර්කශව වියළී ගිය පරිසරය එකපාරටම ප්‍රානවත් වුණු බව පෙනුනා.

දුම්රිය සේවකයින්ගේ වැඩ වර්ජනය හන්දා ජන ජීවිතයට සෑහෙන බලපෑම් සිදුවුණා. මේ රටේ ආයතන වල සහ රජයේ සේවකයින් වැඩි හරිය තමන්ගේ සේවා ස්ථානයෙන් ඈත ගම් නියම් ගම් වල සිට පැමිණෙන එහෙම නැත්නම් රට පුංචි හන්දාම සේවා ස්ථානය නිසා නවාතැන තාවකාලිකව හෝ වෙනස් කරන එක තේරුමක් නැහැ කියලා හිතන අය හන්දා මේ වගේ වර්ජන සෑහෙන ප්‍රශ්ණයක් වන බව පේනවා. දුම්රිය නැති වන කොට පාරේ වාහන වැඩි වුණා. මේ වැඩ වර්ජනය හන්දා වැඩියම කරදරයට පත්වුණ කට්ටියක් තමයි මෙවර උසස්පෙළ විභාගය ලියන දරුවන්. උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කනත් කඩුගන්නාවත් අතර පිහිටි ඉහල කෝට්ටේ හෝ බලන වගේ තැන්වල ළමයින්ගේ ප්‍රධාන හෝ එකම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය කියා හිතන්න පුළුවන්.

කල්පනා කරලා බලන කොට මේ රට බෙහොම අපූරු රටක්. අපිට පොතක් පතක් ගන්න කියවන්න පුළුවන් වෙලාවට පුස්තකාල වහලා. අපිට බැංකුවට යන්න පුළුවන් වෙලාවට බැංකු වහලා. වැඩ ඉවර වෙලා එලියට බහින කොට කඩ ඹක්කොම වහලා. සුපර් මාර්කට් නම් රෑ එකොලහ පමණ වෙනකන් ඇරලා තියෙනවා. සියළුම දුම්රිය ස්ථාන වල වේදිකාවන් පැමිණෙන පුංචිම දුම්රියටත් වඩා දිගින් අඩුවට ඇති රටවල් තවත් තියේද කියා හොයා බලන්න වටිනවා. සාරි ඇඳගත්තු කාන්තාවන් පවා වේදිකාවක් නැති බිමට පඩි දිගේ අමාරුවෙන් බැහැලා ලඟ ඇති යකඩ වැටෙන් උඩට පැනලා පාරට එන එක උදේට ගාලු පාරේ සාමාන්‍ය දසුනක්. මේ ලිස්ටුව තව බොහෝ දිගට ලියන්න පුළුවන්

No comments:

Post a Comment

ආයෙත් ලියමු

බොහෝ කාලෙකින් කිසිම දෙයක් ලීව්වේ නැහැ. නිම් වළලු පොත ලියන කාලය ගත්තත් හිතේ එහෙමට සාමයක් තිබ්බ කාලයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත්තාම හිතේ සහනය...